Loading...

ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාවක්.


වසර 12 ක කාලයක් දේශපාලන පොරපිටියේ පස මිතුරන් ලෙස කි‍්‍රයාකළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත්දා අතට අතදී සාකච්ජාවට ලක් කරන ලද්දේ ආගමික සංහිඳියාව ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් යන්න පෙරදැරිවය. දකුණු ආසියානු ප‍්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනයේ සභාපතිනිය ලෙසින් කටයුතු කරන හිටපු ජනාධිපතිණිය ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පැහැදිලි කරන ලදි. දේශපාලන ගමන් මගෙහි පරස්පර විරෝධී අදහස් දැරූ මොවුන් දෙපලට එකම වේදිකාවක එකට සිට සාකච්ජාවට ලක් කරන්නට තරම් ආගමික සංහිඳියාව පිළිබඳ ගැටලුවක් ලංකාව තුළ පවතීද? 





නිර්මාල් රන්ජිත් දේවසිරි
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ අංශ ප‍්‍රධානී, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති. 


ඇත්තෙන්ම, ලාංකීය සමාජය තුළ ආගමික සංහිඳියාවක් ඇති කළ යුතුයි. පසුගිය වසර කිහිපයක කාලය තුළ විවිධ ආගමික කණ්ඩායම් රට තුළ ආක‍්‍රමණශීලීව හැසිරෙනවා. ඒ අය බෞද්ධ ආගමට, කතෝලික ආගමට, ඉස්ලාම් ආගමට අයිති විවිධ නිකායන්ට ගැතිවුණු මිනිස්සු. සමහර අවස්ථාවල බෞද්ධ ආගම තුළත් ගැටුම් ඇතිවී තිබෙනවා. බොදු බල සේනාව, රාවණා බලය වැනි සංවිධානවල භික්ෂූන්වහන්සේලා හැසිරෙන්නේ නොහික්මුණු පිරිසක් වගේ. ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, ඉත්තෑපානේ ධම්මරක්ඛිත හිමි වැනි භික්ෂූන් ඉස්ලාම් ආගමට, කතෝලික ආගමට විරුද්ධව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නිකුත් කරනවා. 

ඇත්තටම මේ පසුබිම යටතේ ආගමික සංහිඳියාව පිළිබඳව ලංකාව තුළ ප‍්‍රශ්නයක් තියෙනවා, නමුත් රට තුළ එවැනි ප‍්‍රශ්නයක් තියාගෙන එවැනි ප‍්‍රශ්නයක් නැහැ කියන එක නෙවෙයි කළ යුත්තේ. පසුගිය දිනෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අතර මේ පිළිබඳ සාකච්ජාවක් ඇති වුණා. ඒක වැදගත්. දේශපාලනය තුළ මේ පිළිබඳව සාකච්ජාවට ලක්වීම ඉතා කාලෝචිතයි. 


පූජ්‍ය, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති


අපි ආගමික සංහිඳියාව ඇති කර ගැනීම ගැන කතා කරන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි. ඈත අතීතයේ ඉඳලා අපි මේ ගැන කතා කරනවා. ලංකාව නිදහස ලබා ගත්තාට පස්සේ ආගම් අතර සමගියෙන් කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වුණා. ආගමික වශයෙන් බෙදී වෙන්වෙලා ගැටුම් ඇතිකර ගැනීම රටේ දියුණුවට බාධාවක්. ඒ නිසාම අපි තුළ ආගමික සංහිඳියාවක් තිබීම ඉතාම වැදගත්. 

සෑම පල්ලියකම, පන්සලකම, කෝවිලකම දැල්වෙන්නේ එකම පහනක් කියලා ආර්. පේ‍්‍රමදාස මහතා අගමැතිධූරය දරන කාලයේ එක්තරා ප‍්‍රකාශයක් කළා. ඒක වැරදි පණිවිඩයක්. ඒ කොයිතැනදිත් යහපත් මිනිස්සු, සදාචාර සම්පන්න මිනිස්සු ඇති කිරීමට කටයුතු කරන පොදු කරුණු කාරණා තියෙනවා තමයි, උදාහරණයක් විදියට ඉවසීම, කරුණාව, මෛති‍්‍රය, අපරාධවලින් සහ දුෂ්චරිතවලින් ඈත්වෙලා කටයුතු කිරීම වගේ දේවල්. නමුත් එක් එක් ආගම්වල ඉගැන්වීම් අතර මූලික වෙනස්කම් තිබෙනවා. 

දැනට අවුරුදු 15 ක පමණ කාලයක ඉඳලා අපි ආගමික සමුළුවක් පිහිටුවාගෙන තිබෙනවා. රටේ යම් ගැටලූවක් ඇතිවුණු වෙලාවට අපි ඒ ගැන කතා කරනවා. එවැනි ආගමික සංහිඳියාවක් ඇතිවීම ඉතාම වැදගත්. ඒ නිසා අපි ආගමික සංහිඳියාව ගැන තව තවත් කතා කළ යුතුයි, නමුත් අපි ඒ ගැන කතා කරනවා කියන්නේ ආගමික සංහිඳියාව මේ රටේ නැහැ කියන එක නෙවෙයි. ඇතැම් අවස්ථාවල යම් යම් ආගමකි ගැටලූ පුද්ගලික හේතු මත ඇතිවෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ආගම්වලට බඳවා ගැනීම මේ අතර තිබෙන එක ප‍්‍රශ්නයක්. 

පසුගිය කාලයේ හලාල් පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවුණා. මේක මුස්ලිම් අය විසින් මේ සමාජය පිට බලෙන් පටවන්න ගත්ත උත්සාහයක්. මේ රටේ 70% ක් ඉන්නේ බෞද්ධයෝ, ඒ වගේම හින්දු භක්තිකයන් සහ කි‍්‍රස්තියාන් භක්තිකයනුත් ඉන්නවා. ඒ අයට මේ හලාල් ලාංඡුනයට ගහපු භාණ්ඩ අවශ්‍යවන්නේ නැහැ. මුස්ලිම් ආගමිකයන් හැම භාණ්ඩයකම හලාල් සහතිකයක් ගහන්න ඕන කියලා සංවිධානයක් හදාගෙන ඒකට මුදල් අයකිරීමට කටයුතු කරනවා. ඒකට විරුද්ධව ලොකු විරෝධතාවයක් ඇති වුණා, නමුත් ඒක මුස්ලිම් අයට විරුද්ධව ඇතිවුණු විරෝධතාවයක් නෙවෙයි. එක් ඒ අයගේ ඒ කාර්යයට විරුද්ධව ආපු එකක්. මේ වගේ වැඩ සෞදි අරාබිය, කුවේට් රාජ්‍යය වැනි රටවල ඇතිවුණාට කමක් නැහැ. මොකද ඒ රටවල 90% පමණ ජීවත් වෙන්නේ මුස්ලිම් භක්තිකයන්. කොහොම හරි අපි ඒ ගැටලූව තව දුරටත් දිග්ගැස්සෙන්න කලින් සාකච්ජා කරලා විසඳගත්තා. ඒ අය ඒකට තරමක එකත්වයක් පළ කළා.

මෙවැනි අය තුළ ආගමික සංහිඳියාව ඇති කිරීමට සිවිල් සමාජ නායකයන්, ආගමික නායකයන් සහ දේශපාලනඥයන් මූලික වෙලා කටයුතු කළ යුතුයි. බෞද්ධ ආගම කියලා කියන්නේ බොහෝම මැදහත් සහනශීලී ආගමක්. ශී‍්‍ර ලංකාවේ හෝ ලෝකයේ කිසිම තැනෙක බුද්ධාගම නාමයෙන් යුද්ධ කරලා නැහැ. මුස්ලිම් ආගමේ සහ වෙනත් ආගම්වල නම් ආගම මුල් කරගෙන එවැනි ගැටුම් ඇතිවෙලා තියෙනවා. මුස්ලිම් ආගම සම්බන්ධයෙන් ජිහාඞ්, අල් කයිඩා සංවිධානය වගේ දේවල් උදාහරණ විදියට පෙන්වලා දෙන්න පුළුවන්. ලංකාවේ සමහර අවස්ථාවල මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ආදියට යම් යම් හිරිහැර සිද්ධවුණා වියහැකියි. නමුත් එය සමස්ත බෞද්ධයන් විසින් කරපු දෙයක් නෙවෙයි. යම් යම් අවස්ථාවල යම් යම් පිරිස් අති ධාවනයේ කටයුතු කරනවා දකින්න තිබෙනවා තමයි. අපි ඒවා හැකිතාක් සාමකාමීව විසඳාගැනීමට කටයුතු කළ යුතුයි. ඒ නිසාම ආගමික සංහිඳියාව ඇති කිරීමට ජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි. එහෙම කටයුතු කිරීම මම දකින්නේ වැරැද්දක් විදියට. නමුත් අපි ආගමික සංහිඳියාව ගැන කතා කිරීම තුළ කියවෙන්නේ නැහැ අපේ රටේ ආගමික සංහිඳියාවක් නැහැයි කියලා. රටක් බහු ආගමික වුණාම ඒ රටේ පොඩි පොඩි ගැටුම් ඇතිවිය හැකියි. ඒක සාමාන්‍ය දෙයක්. එහෙම දෙයක් ඇති නොවෙනවානම් මේ ලෝකේ ජීවත්වන ඔක්කොම මිනිස්සු රහත් වෙලා ඉන්න ඕන. 


ජාවේඩ් යූසුෆ්
සෞදි අරාබි රාජ්‍යයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති 


2009 මැයි මාසයේ LTTE සංවිධානය පරාජය කළාට පස්සේ දෙමළ ජනතාව යම් ආකාරයකට මානසිකව ඇද වැටුණා. ඒකෙන් කියවෙන්නේ නැහැ හැම දෙමළ පුරවැසියෙක්ම සම්පූර්ණයෙන්ම LTTE එකට උදව් කළා කියලා. නමුත් ඔවුන් මානසිකව ඇදවැටුණා. එහෙම මානසිකව ඇදවැටුණු අයව නගා සිටුවීමට කටයුතු කළ යුතුයි. නමුත් බොදු බල සේනා සහ රාවණ බලය වැනි සංවිධාන කටයුතු කරන්නේ මීට වෙනස් ආකාරයකට. ඔවුන් මුස්ලිම් ජාතිකයන් සහ ඉස්ලාමී භක්තිකයන් පිළිබඳ සිංහල මිනිස්සුන්ගේ සිතේ විකෘති මතයක් ඇති කළා, වෛරය සහ අවිශ්වාසය ඇති කළා. මේ නිසා වෙනත් ආගම් අදහන ජාතීන් තුළ තමන් පිළිබඳ අස්ථාවර හැඟීමක් ඇති වුණා. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අතර මීට දින කිහිපයකට පෙර ආගමික සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ජාවට මමත් සහභාගී වුණා. එහිදී දේශපාලනය පිළිබඳව කොහෙත්ම කතාවට ලක් වුණේ නැහැ. ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් ආගමික සහජීවනය ඇති කිරීම පිළිබඳවයි එතැනදී අවධානයට ලක් වුණේ. ඊට අමතරව වාසුදේව නානායක්කාර වැනි දේශපාලනඥයන් සමග මේ පිළිබඳව සාකච්ජා කරන්නත් අපි කටයුතු කළා, තවත් ඉදිරියට විවිධ දේශපාලනඥයන් සමග දිගින් දිගටම සාකච් කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් රට තුළ පුළුල් සංවාදයක් ගොඩනැගීම ඉතා වැදගත් කියන දේ තමයි අපේ විශ්වාසය වෙන්නේ. 

ගරු බෙනඩික් ජෝශප් පියනම
ජාතික කතෝලික සමාජ සන්නිවේදන කවුන්සිලයේ මාධ්‍ය ප‍්‍රකාශක 

ලංකාව වැනි රටක ජීවත්වීම පිළිබඳව අපි ගොඩාක් සතුටු විය යුතුයි. ලෝකයේ ප‍්‍රධානතම ආගම් 04 ක බැතිමතුන් මේ ශී‍්‍ර ලංකාවේ ජීවත් වෙනවා. ඔවුන් ආගමානුකූලව ජීවත් වීමට අතීතයේ සිටම සැදී පැහැදී සිටියා. නමුත් කාලයත් සමග විවිධ පුද්ගලයන් පක්ෂ දේශපාලනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේදී මත ගැටුම් ඇතිවුණා. අද එය බොහෝ දුරදිග ගිය බවක් දක්නට ලැබෙනවා. ඒ නිසාම මේ තත්ත්වය අපේ අවධානයට ලක් වීම අත්‍යවශ්‍යයි. 

අපි මොන තරම් සංවර්ධනවනවා කීවත්, දියුණු වනවා කීවත් ඒ සියල්ලේම සැබෑ අඩිතාලම ලෙස සැලකිය හැක්කේ ජාතීන් සහ ආගම් අතර සමගියයි. එය අමතක කරනවා නම් අපිට රටක් හැටියට සමගියෙන් ජීවත්වීමට හැකිවේද යන කාරණය නැවත සිතා බැලිය යුතුයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව තමන් කැමති ආගමකට අනුව ජීවත් වීමට අයිතිවාසිකමක් තිබෙනවා. එයට බලපෑම් කිරීමට කිසිම කෙනෙකුට බැහැ. විවිධ කණ්ඩායම් එකතුවෙලා විවිධාකාරයේ අදහස් උදහස් වපුරන එක, වෙනත් ආගමිකයන්ගේ පිළිගැනීම් අභියෝගාත්මකව ප‍්‍රශ්න කිරීම ආදිය නිසා අනවශ්‍ය ගැටලූ ඇතිවෙනවා. ආගමානුකූලව ජීවත්වීමේ දී ආගම් අතර තරකාරීත්වයන් ඇතිවිය යුතු නැහැ, වාද භේද ඇතිවීමට හේතුවක් නැහැ.

අනෙත් කාරණය, කිසිවෙකුගේ ඇදහිල්ලක් හාස්‍යයට ලක් කිරීම, ඒ ඇදහිලි ක‍්‍රම අනුව ජීවත්වීම පහත් යැයි හැඳින්වීම, එහෙමත් නැත්නම් ඒ ඇදහිලි අනුව ජීවත් වීම පිළිකුල් කිරීම නොගැලපෙන කාර්යයක් බව අපි පිළිගත යුතුයි. මෙහිදී රජය හෝ වෙනත් ආයතනයක් හෝ වේවා කල්පනා කළ යුත්තේ යම් ගැටුමක් ඇතිවූ විට එය වඩාත් හොඳින් විඳදරාගෙන පොදු හැ`ගීමෙන් කටයුතු කිරීමයි. නමුත් අද විවිධ කණ්ඩායම් ලෙස ස්ථාපිත වෙලා යම් යම් දේ ගැන සමාජයේ ඇති කරපු මතයන් නිසා විරුද්ධවාදී හැ`ගීම් පළ කරන තැනට සමාජය පත්වෙලා තිබෙනවා. එම වැඩපිළිවෙලට සහාය ලබාදීම රට නැවත අරාජික තත්ත්වයට පත් කිරීමක්. ඒ නිසාම ආගමක සංහිඳියාව පිළිබඳව කතා බහට ලක්වීම කාලෝචිතයි කියන මතය තමයි මම දරන්නේ. 


සමන් රත්නප‍්‍රිය
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්

ඇත්තටම අපේ රටේ ආගමික සංහිඳියාව පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක් තිබෙනවා. විවිධ ආගමික සංවිධාන මේකට මූළික වෙලා තම ආගමේ බලය යොදාගෙන අනෙත් ආගම්වලට බලපෑම් කරනවා. ඒක රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන ආගමික නිදහස අප රට තුළ කි‍්‍රයාත්මක වෙනවාද යන ගැටලූව තිබෙනවා. මෙහිදී බලපෑම්කාරී කි‍්‍රයා සිදු කරන සහ අන්‍ය ආගම් සහ මහජනතාවට පීඩාකාරීවන ආකාරයට හැසිරෙන ඇතැම් ආගමික කණ්ඩායම්වලට දේශපාලඥයන් විසින් යම් යම් සහයෝගයන් ලබා දෙන අවස්ථාවන් දක්නට ලැබෙනවා. ඒ නිසාම අනෙත් ආගම් තුළ මේ පිළිබඳව යම් කැළඹීමක් ඇතිවෙලා තිබෙනවා. රට තුළ නිදහසේ ජීවත් වීමට සෑම ආගමකම මිනිසුන්ට අවස්ථාව නැති බව විවිධ මාධ්‍ය හරහා විදේශවලටත් ප‍්‍රචාරය වෙමින් තිබෙනවා. මේ තත්ත්වය රටට හොඳ දෙයක් නෙවෙයි. 

මේ සමස්ත කාරණා දිහා බැලූවාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නීතිය නිවැරදිව කි‍්‍රයාත්මක විය යුතුයි යන්න තමයි මගේ අදහස. කිසිම ආගමක් තවත් ආගමකට වඩා පහත් හෝ උසස් වන්නේ නැහැ. හැම ආගමක්ම සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. තමන්ගේ ආගම නිදහසේ අදහන්නටත් ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්නටත් සියල්ලන්ටම අවස්ථාව ලබා දිය යුතුයි. 

*   *   *   *   *   *
ආගමික සංහිඳියාව පිළිබඳව නිරන්තර කතිකාවට ලක්විය යුතු බව සමාජ කි‍්‍රයාකාරීන්, විද්වතුන් හා ආගමික නායකයන්ගේ මතය විය. 

මානව නීතිවලට තැනක් නොමැතිවන තරමට අවි ආයුධවලින් මිනිසුන් සන්නද්ධ වූ සෑම විටෙකම මානව නීතිය ඉටු කිරීමේ ප‍්‍රබලම මාර්ගය ආගම වේ යැයි ගියාම්බැටිස්ටා විකෝ නම් ඉතාලියානු දේශපාලන චින්තකයා ප‍්‍රකාශ කළහ. සමාජය තුළ ආගමට හිමි ස්ථානය ඉහත ප‍්‍රකාශය තුළින් ගම්‍ය වූවද ආගම් මූලික කරගෙන ශී‍්‍ර ලාංකික සන්දර්භයෙහි මෑත කාලීනව ඇතිවූ ඇතැම් සිදුවීම් වටහා ගත හැක්කේ ඒ ප‍්‍රකාශය උඩු යටිකුරු කර බැලීමෙන් පමණකි. එනයින් මෑත කාලීන ශී‍්‍ර ලංකාවේ සිදුවූයේ අවි ආයුධ අබිභවා ආගම පෙරට පැමිණිම නොව ආගම වෙනුවෙන් අවි ආයුධ පෙරට පැමිණිමයි. එවැනි සමාජ පරිසරයක් තුළ ආගමික සංහිඳියාව පිළිබඳව නිරන්තර කතිකාවක් සිදුවීම ඉතා වැදගත් කාරණයකි. එමගින් මිනිසුන් තුළ යහපත් හැඟීම් ඇති වීමටත් ආගමික සහජීවනය ඇතිවීමටත් ඉඩකඩ සැකසෙනු ඇත. ආගමක් යනු මිනිස් ජීවිත යහපත් කරගන්නට මග පෙන්වන ඉගැන්වීම් සමූහයක් මිස තවකෙකුගේ ජීවිතය විනාශ කරන්නට හේතුවන අවියක් නොවිය යුත්තේය.
author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top