Loading...

ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය සහ ජනමාධ්‍ය


ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්තී‍්‍රභාවය (Femininity) සහ පුරුෂභාවය  (Masculinity) යන්න ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පයේ මූලිකත්වය ගන්නා අතර කාන්තාව සහ පිරිමියා විසින් සමාජය තුළ නිරූපනය කරන භූමිකාවන් ඒ හරහා නිරූපනය වේ.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනය 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. ඈන් ඔස්ලේ වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසු කාලීනව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වර්ධනය විය.

ස්තී‍්‍ර-පුරුෂ සමාජභායව (Gender) සහ ලිංගිකත්වය යනු (Sex) එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. ලිංගිකත්වය හුදෙක් ජීව විද්‍යාත්මක සහ මානව ප‍්‍රජනනය සම්බන්ධ කාරණයකි.

මෙම සංකල්පය පුළුල් ලෙස ව්‍යාප්ත වූයේ බටහිර සන්දර්භයේය. බටහිර සමාජ වටිනාකම් ඔස්සේ ව්‍යාප්ත වූ සංකල්පයක් බැවින් ආසියාතික, අප‍්‍රිකානු සහ ලතින් ඇමරිකානු සමාජ සන්දර්භය සතු වටිනාකම් අවබෝධ කර ගැනීමෙන් තොරව මෙම සංකල්පය හදුන්වාදීමට දරන ලද උත්සහයන් නිසාවෙන් ගැටළු නිර්මානය විය.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ ආරම්භයේ සිට විද්‍යාමාන වන එළැඹුම වූයේ එය පුරුෂාධිපත්‍යට එරෙහි සංකල්පයක් ලෙසිනි. පුරුෂාධිපත්‍යය යන්න කවර සමාජ ක‍්‍රමයක සම්භවය වූ සංකල්පයක්ද යන්න නිෂ්චිතව හදුනාගැනීමට අපහසුය. පීතෘ මූලික සමාජයක පුරුෂයා කෙරෙහි ආධිපත්‍ය බල රටාවක් ගොඩ නැගූ බව පුරුෂාධිපත්‍යය සංකල්පයේ ඓතිහාසික මතවාද විමසුමට ලක් කිරීමේදී පැහැදිලි කෙරේ. 

මීට අමතරව මහාචාර්ය මෝටිමෝ වීලර්, දික්ෂිත් වැනි පුරාවිද්‍යාඥයින් මොහෙන්දජාරෝ, හරප්පා ශිෂ්ටාචාර ආශ්‍රිත කැනීම් ඇසුරෙන් මව් දෙවඟන සංකල්පය එම ශිෂ්ඨාචාර තුළ පැවැති බව හදුනාගෙන තිබේ. ඒ අනුව ඒවා පුරුෂාධිපත්‍ය සමාජ ක‍්‍රමයන්ට පෙර කි‍්‍රයාත්මක වූ ස්ත‍්‍රිය මූලික කරගත් සමාජ ක‍්‍රමයක් වශයෙන් විශ්වාස කෙරෙයි.  

ලෝකයේ බොහෝ නව මතවාදයන් ව්‍යාප්ත වූ සමයක ස්ත‍්‍රිත්වය පිලිබදව නව්‍යවාදී දෘෂ්ඨිකෝනයකින් විග‍්‍රහ කළ රසෑන් අයිස්ලර් ස්වකීය විග‍්‍රහයේදී අර්ථකතනය කරන්නේ පේ‍්‍රමය සහ සමාව පිළිබඳ ඉගැන්වෙන ආගමක් වශයෙන් ක‍්‍රිස්තියානි ධර්මය තුළින් හෝ පෘථීවිය මත ස්ත‍්‍රීත්ව සංකල්පය සාධාරනීකරනය කර නොමැති බවයි. ශුද්ධ වූ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ලෝකෝත්පත්ති කථාවේ ලෝකයේ මැවීම පිළිබද සංකල්පයේදී ගැහැණියට ද්විත්ව ස්ථානය ලබා දී තිබෙන බව අයිස්ලර්ගේ අදහසයි. 

පුරුෂාධිපත්‍ය සමාජ ක‍්‍රමය වඩ වඩාත් ස්ථාවරවත්ම කාන්තාවගේ ස්ථානය මව් දෙවඟනගේ සිට උපයෝගීතා භාණ්ඩයක මුහුණුවර දක්වා විකාශනය විය. ජනමාධ්‍ය, වෙළඳ දැන්වීම්, සිනමාව ආදීමේ බොහෝ කේෂ්ත‍්‍රවල කාන්තාව උපක‍්‍රමික අරමුණු සහිතව භාවිතකෙරෙන්නක් බවට පත්විය. කාන්තාව සහ මාධ්‍ය භාවිතය සම්බන්දයෙන් ප‍්‍රථම වරට ජාත්‍යයන්තර අවධානය යොමු වූයේ 1982 වසරේ පැරීසියේ පැවති කාන්තාව හා ජනමාධ්‍ය සමුළුවේදීය.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ කාන්තාව පිළිබදව සාකච්ඡා කිරීමේදී ප‍්‍රධාන ලක්ෂන 02 ක් හදුනා ගැනිමට පිලිවෙන. පළමුවැන්න කාන්තාවන් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා ආශ‍්‍රිතව නියැලමේ ප‍්‍රතිශතය අඩු වීමයි. දෙවැන්න එසේ වුවද ස්ත‍්‍රී රූපය මාධ්‍ය තුල බෙහෙවින් දැකිය  හැකි වීමයි.  

වර්තමාන ලෝකය තුළ ප‍්‍රවෘත්ති, දැනුම සහ විනෝදාස්වාද යන මානව සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ කිරිමෙහිලා මූලිකම දායකත්වය ජනමාධ්‍ය විසින් සපයනු ලැබේ.  ඕනෑම සමාජ ස්ථරයක පවුල් ඒකකයක් තුළ පුවත්පත අතිශය වැදගත් ස්ථානයක් හිමිවන අතර ගුවන්විදුලිය, රුපවාහිනිය වැනි සෙසු ජනමාධ්‍යවලටද එලෙසම වැදගත්කමක් හිමිවේ.

මහජනතාව විවිධාකාර කාරණා පිළිබඳ තම මතය ගොඩනගා ගන්නේ ඔවුනට ලැබෙන තොරතුරු තෝරා බේරා ගැනීමෙන් සහ අවබෝධකර ගැනිමෙනි. ඒ කාර්යය ඉටුකිරීම හරහාම ජනමාධ්‍ය මඟින් බොහෝ මතවාදයන් සමාජගත කරනු ලබයි. මාර්ෂල් මැක්ලූහාන් විසින් 1964 වර්ෂයේ ලියූ ‘The Medium is the message’ ග‍්‍රන්ථයේ සඳහන් කළ ආකාරයට ප‍්‍රවෘත්ති සහ විනෝදාස්වාදය ලබාදීම හැරුණුකොට ජනතාවගේ මතවාද, ආකල්ප සහ විශ්වාසයන් සකස් කිරිමටද එය කටයුතු කරයි. ඒ අනුව මහජන මතය සකස් කිරීමට හෝ වෙනස් කිරිමට ජනමාධ්‍ය සතුව අසීමිත බලයක් ඇත. 

ගැහැණිය සහ පිරිමියා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාද පැතිරවිමට සහ ඒවා ශක්තිමත් වීමට වැඩියෙන්ම බලපානු ලබන්නේ ජනමාධ්‍යයි. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජනමාධ්‍යයේ හැසිරීම පුරුෂාධිපත්‍ය තුළ කාන්තාවට හිමි ද්විතීය ස්ථානය සාධාරණීකරණය කරන සහ එය ප‍්‍රචලිත කරන ආකාරයේ එකක් බව අතිශය පැහැදිලිය. 

උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යනාංශයේ ආචාර්ය ජූලියා T. වුඩ් ප‍්‍රකාශ කරන ආකාරයට ජනමාධ්‍ය ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබද ජනමතය  හසුරවන්නට දායකවන ආකාර 03 ක් ඇත.

01. කාන්තාව අවතක්සේරුකරණය කිරිම. 
02. කාන්තාව සහ පුරුෂයාට සමාජයේ පිළිගත් මතය තුළ හිමි ප‍්‍රතිරූප දිගින් දිගටම ප‍්‍රචාරණය කිරීම.
03. කාන්තාව පුරුෂයාට වඩා අඩු වැදගත් බවින් පෙන්විම

ජූලියා වුඩ් සඳහන් කරන ආකාරයට පුවත්පතක ලිපි හා දැන්වීම් තුල, රූපවාහිනි ප‍්‍රවෘත්ති හෝ වෙනත් වැඩසටහන්වලදි වඩා වැදගත් කාර්යය පිරිමියාට පැවරීම සහ වැඩසටහනෙහි වැඩි අවධානය පිරිමියාට පැවරීම සෑමවිටම පාහේ සිදුවේ. මේ තුළ කාන්තාවට වඩා පුරුෂයා හැකියාව සහ ප‍්‍රතිරූපය අතින් ඉදිරියෙන් සිටින්නේයැයි අදහසක් ගම්‍යකරන බව ඇගේ අදහස විය.

කාන්තාවට වඩාත් සුදුසු ඉවුම්පිහුම්, රූපලාවන්‍ය වැනි කාර්යයන් මිස දේශපාලනය වැනි වඩාත් සංකිර්ණ මාතෘකා නොවේයැයි කියාපෑමටත් එය තහවුරුකිරිමටත් සිය වැඩසටයන්වල නිවේදන හෝ නිරූපන ශිල්පීන් තෝරාගැනීමේ කාර්යය හරහා මාධ්‍යය දායක වෙන බව ඇය තව දුරටත් කියා සිටියි.

ජනමාධ්‍ය තුලින්  ස්ත‍්‍රීය සහ පුරුෂයා නිරූපනය කිරීම පිලිබදව සලකා බැලීමේදී ගමක නායකයා, වනාන්තරයේ සතුන්ගේ රජු ආදී වශයෙන් වඩාත් බලවත් සහ ඉදිරිපෙළ චරිතය පිරිමි චරිත වීමත් කාන්තාවට හිමිවන්නේ රැුවටීමට ලක්වන්නන්ගේ හෝ අහිංසක චරිතය බවත් හදුනා ගැනීමට හැකි වේ.

වෙළඳ ප‍්‍රචාරණය කාර්යයන් තුළ බොහෝවිට කාන්තාව පෙනී සිටින්නේ ඉවුම් පිහුම් හෝ රෙදි සේදීම සිදුකරන ගෘහණියගේ චරිතයටයි. එසේ නොවන අවස්ථාවල වෙළඳ දැන්වීම් විසින් ගැහැණියගේ සරාගී ඉරියව් දක්වමින් හෝ ඇයගේ සිරුරේ අඟපසඟ ඉස්මතු කරමින් ඇයව නිරූපනය කරන අතර ඒ හරහා ලිංගිකත්වය උත්තේජනය කරන්නියක වශයෙන් ඇය පිළිබඳ ඇති සම්ප‍්‍රදායික ප‍්‍රතිරූපය වර්ධනය කරන්නට කටයුතු කරයි. ජනමාධ්‍යවල පලවන කාන්තාවන් පිළිබඳ සාරාගික දර්ශන සහ කාමය අවුස්සන සුලු දර්ශන ස්තී‍්‍ර දූෂණ සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් වර්ධනය වීම කෙරෙහි සෘජුව බලපාන බව බොහෝ සමාජවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් අනාවරණයව ඇත. 

කාන්තාව උපයෝගීතා භාණ්ඩයක් වශයෙන් සමාජගතකිරීම හැරුණුකොට ජනමාධ්‍ය විසින් කාන්තාවට අත්කරන භයානකම තත්ත්වය නම් කාන්තාව සහ පුරුෂයා අතර සම්ප‍්‍රදායික සබඳතාවයේ උසස් බව පෙන්වා සිටීමට සහ කාන්තාවට එරෙහි හිංසනය සහ ප‍්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණයකිරීමට කටයුතුකිරීමයි. 

රූපවාහිනි නාට්‍ය හෝ රූපවාහිනිය මගින් ප‍්‍රචාරණය වන චිත‍්‍රපටි  හරහා ගැහැණිය පිරිමියාගේ ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන ආකාරය හා ඇය එවැනි හිංසනයන් තනිව දරා සිටින ආකාරය ආදිය පෙන්වා සිටී. කාන්තා හිංසනයන් නිරූපනය කරන මුත් එයින් පිරිමියාගේ ආධිපත්‍ය ගම්‍යකිරීම හැර කාන්තාව එයට විරුද්ධව නැගී සිටින ආකාරය හෝ ඇය ඒවාට විරුද්ධව නීතිය ඉදිරියට යන ආකාරය බොහෝ විට මෙම නාට්‍ය/චිත‍්‍රපට තුල දර්ශනය නොවේ. ඒ හරහා පිරිමියාගේ ඇති අධිපතීත්වය තහවුරු කරන්නටත් පිරිමි ආධිපත්‍ය හමුවේ කාන්තාව ප‍්‍රතිචාරය දැක්විය යුත්තේ හුදෙක්ම නිහඬතාවයෙන් පමණකැයි ඒත්තු ගන්වන්නටත් මාධ්‍ය දායකවේ. 

1883 දී ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද දණුඩ නීති සංග‍්‍රහය මගින් සහ 2005 වසරේදී සම්මත වූ ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැලැකිවීමේ පනත මඟින් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය වළක්වාලීම සඳහා ඉඩකඩ සලසා ඇත. එසේ වුවද නීතියේ පරාසයන්ට හසු නොවන්නා වූ මනෝවිද්‍යාත්මක කි‍්‍රයාකාරීත්වයක් හරහා පුරුෂාධිපත්‍ය තහවුරුකිරීමත් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම්කරගත් හිංසනය සාධාරණීකරණයකිරීමත් සිදුවන බව පැහැදිලිය. 

ජනමාධ්‍ය හරහා ප‍්‍රතිනිරූපනය වන්නේ පවතින සමාජයෙහිම තවත් එක් හරස්කඩකි. ඒ අනුව කාන්තාව සහ පුරුෂයා පිළබඳ සම්ප‍්‍රදායික අදහස් නඩත්තු කිරීමට ජනමාධ්‍ය යොමුවීම සමාජය තුළ තවමත් ඒ තත්ත්වය එලෙසින්ම පවතින නිසා සිදුවූවක් මිස අන් හේතුවක් මත සිදුවන්නක් නොවේ. 

කොකාකෝලා සමාගම විසින් වෙළඳපොලට හඳුන්වාදුන් Fairlife නම් කිරි ආශි‍්‍රත නව නිශ්පාදනයක් පිළිබඳ දැන්වීම් මාලාවක් 2014 නොවැම්බර් මාසයේ එක්තරා දිනෙක පළවිය. මෙම දැන්වීම් මාලාවට යොදා තිබූ මූලික සිරස්තලය "ඇය ඇඳන් ඉන්න දේ ඔබ බොන්න." යනුවෙන් අර්ථ දෙන්නක් විය. එම දැන්වීමෙහි නිරූපිකාවගේ කෙටි ඇඳුම නිරූපනය වී තිබුනේ කිරිවලින් තැනුන ආකාරයෙනි. 


80 ව දශකයේ වඩාත් ජනප‍්‍රිය පෝස්ටර් සිතුවමක් වූ ‘Pin Up Girls චරිත ආදර්ශයට ගනිමින් සකසා තිබූ මෙම දැන්වීම් ලෝකයේ බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්විය. ගාර්ඩියන් වැනි පුවත්පත් පවා මෙම දැන්වීම පිළිබඳ එදිරිව කතා කරනු දැකිය හැකිවිය. ස්ත‍්‍රී අඟ පසඟ වඩ වඩාත් ඉස්මතුව පෙනෙ ආකාරයට දැන්වීම නිර්මාණයකිරීමට නිරමාණකරුවන් වෙහෙසව තිබෙනු එහිලා දැකිය හැක. දැන්වීමේ පැහැදිලි අරමුණව ඇත්තේ කාන්තා ශරීරය හරහා ලිංගික ආකර්ෂණය ඇතිකර වෙළඳ ප‍්‍රචාරණය සිදුකිරීමයි. ව්‍යාපාරිකයා විසින් ඇය ඇද සිටින ඇදුම පාරිභෝගිකයාට පානය කරන ලෙස ආරාධනා කරයි. එසේකිරීමෙන් ඇය නිරුවත් වන බව එහි යටි අර්තයයි.


කාන්තාව යන වචනය සහ ඇගේ රූපය සිතුම් පැතුම් හා ආකල්පවලට බලපෑම් කිරීමට හැකි වචනයක් ලෙස මාධ්‍ය ලෝකයේ  සැලකේ. ස්ත‍්‍රිය යනු පොදු ජනයාගේ ආකල්ප මත නිර්වචනයවන්නකි. එහි අර්ථය නම් අවශ්‍ය නම් සමාජයට ස්ත‍්‍රිය ලිංගික භාණ්ඩයක් වශයෙන් සැලකිය හැකි බවත් නැතහොත් සමාජයට එය පිරිමින් සහ සමතැන්හි ලා සැලකිය හැකි බවත්ය. වෙනස ඇත්තේ ස්ත‍්‍රිය පිළිබඳ සමාජයේ මේ ආකල්ප හැඩගැසීමට ජනමාධ්‍ය විසින් සෘජු කාර්යයක් සිදුකිරීම තුළය. 

සන්නිවේදන අර්බුද සඳහා වන ජාත්‍යන්තර කොමිසම විසින් සකසනු ලදුව 1980 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් ප‍්‍රසිද්ධ කළ ‘Many Voices One World  හෙවත් මැක්බ‍්‍රයිඩ් වාර්තාවට අනුව  ප‍්‍රචාරණය සහ ආකාර්ෂණය සඳහා ජනමාධ්‍ය විසින් කාන්තාව බහුලව භාවිතවුවද එකී ජනමාධ්‍යම කාන්තාවන් සදහා සංවේදී වන සංස්කෘතික, දේශපාලනික හෝ ආර්ථිකමය කරුණු ආවරණයකිරිම සඳහා යොමුකරනුයේ අතිශය පටු අවධානයකි. පුවත්පත් සඟරා ලිපි සහ දැන්වීම් ඇතුලු බොහෝ ජනමාධ්‍ය සන්නිවේදන කි‍්‍රයාකාරකම් තුළ කාන්තා චරිත පිරිමියාට යටත්ව සිටින, බුද්ධි හීනබවින් යුත්, මිත්‍යා විශ්වාස දරන, අසාමාන්‍ය ලෙස හැඟීම්බරව හැසිරෙන, බොහෝ විට ගෙදර වැඩපල සම්බන්ධයෙන් පමණක් වගකීම දරණ සහ කාමුක හැඟීම් දනවන පරිද්දෙන් නිරූපනය වේ. 

ඒ අනුව ලෝකයේ කිසිම තැනෙක ජනමාධ්‍ය හා කාන්තාව අතර සම්බන්දතාවය මෙන්ම කාන්තාවගේ සිතුම් පැතුම් හැඩගැස්වීමෙහිලා ඒවා විසින් සිදු කර ඇති බලපෑම ද ධනාත්මක මානයෙන් හදුනාගත නොහැකිව ඇත. 

1995 පැවැත්වූ ලෝක කාන්තා සමුළුවේ ප‍්‍රතිපලයක් ලෙස සැකසුනු ගෝලීය ක‍්‍රියාකාරී සැලැස්ම පදනම් කරගෙන 1996 දී මෙරට රජය විසින් කාන්තාවන් වෙනුවෙන් ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් සකස්කරන ලදී. කාන්තාවන්ට එරෙහි හිංසනය, කාන්තාව සහ මානව හිමිකම්, කාන්තාව සහ යුධ ගැටුම්, අධ්‍යාපනය හා පුහුණුව, ආර්ථික කටයුතු සහ දිළිදුකම, පරිසරය සහ තීරණ ගැනීම ආදී වශයෙන් අවධානය දැක්විය යුතුයැයි ඉහත වාර්තාවෙන් විශේෂණය කර තිබූ කේෂ්ත්‍ර අතර ගැහැණු දරුවා සහ මාධ්‍ය යන්න වඩාත් ප්‍රමුඛ එකක් විය. 1996 දී එවැන්නක් ක්‍රියාකාරී සැලැස්මක් යටතට ගැණුන නමුත් මේ දක්වාත් රජය විසින් එ් සම්බන්ධයෙන් ගනු ලැබූ පැහැදිලි පියවරක් හදුනාගන්නට නොමැත. 

ජනමාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පුහුණු ආයතනවලට ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ ක‍්‍රමානුකූලව දැනුවත්කිරීමක් අවශ්‍යව ඇති අතර පොදු සමාජය තුළ ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ ඇති වැරදි මත ඉවත් කිරීමට කටයුතුකිරීමත් තම මාධ්‍ය භාවිතය තුළින් සිදුවිය හැකි එවැනි වැරදි මත තහවුරු කෙරෙන ආකාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ස්වයං වාරනයක් සහිතව ක‍්‍රියාකිරීමත් ජනමාධ්‍ය සතු වගකිමකි.

(Images were taken from; respectively - GQ Magazine, indephendent.co.ukpsfk.com )

චීන පුනරුදයේ පුරෝගාමී දාර්ශනිකයා - හූ ෂීහ්


හූ ෂීහ් 1891 දෙසැම්බර් 17 සහ 1962 පෙබරවාරි 24 කාලය තුළ චීනයේ වාසය කළ විද්වතෙකි. බටහිර සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත දාර්ශනික ලෝකය තුළ හූ ෂීහ් සැලකෙනුයේ පෙරදිග නැවුම් දැනුම ලෝක දාර්ශනික කේෂ්ත්‍රයන් තුළට සම්මිශ්‍රණය කළ විද්වතෙකු වශයෙනි. දාර්ශනික කේෂත්‍රය තුළ හූ ෂීහ්ගේ ඉගැන්වීම්වලට හිමිවන වැදගත්භාවය නිසාම ඔහු සහ ඔහුගේ ඉගැන්වීම් පිළිබඳ පුළුල් තොරතුරු  සමූහයක් සම්පාදනයකිරීමට මා උත්සාහ දැරූවෙමි. මෙය මා පෙර ලිවූ ඇතැම් ලිපි මෙන් එක හුස්මට කියවාගෙන යා හැක්කක් නොව ශාස්ත්‍රීය කරුණු සහිත දීර්ඝ ලිපියකි. ජනමාධ්‍ය විෂය, විචාරවේදය සහ දර්ශනය වැනි විෂය කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නට ප්‍රයෝජනවත් විය හැකි නිසාවෙන් මෙම ලිපියට ඒ ඒ විෂයට අදාළවන ශාස්ත්‍රීය කරුණු ගණනාවක් ඇතුළත් කරන ලදි. 

හූ ෂීහ් චීන ලිබරල්කරණයේත්, භෂා ප‍්‍රතිසංස්කරණයේත් මූලිකත්වය ගෙන කටයුතු කළහ. එසේම ඔහු චීන නව පුනරුදයේ සහ නව සංස්කෘතික ව්‍යාපාරයේ නායකත්ව භූමිකාවක් ඉටු කළ අයෙකි. 1919 මැයි 04 වනදා චීනයේ ශිෂ්‍ය උද්ඝෝෂණ හරහා පැන නැගි මැයි 04 ව්‍යාපාරය (May Fourth Movement) තුළ විද්වතෙකු හා ප‍්‍රතිසංස්කරණවාදියෙකු වශයෙන් ඔහුගේ බලපෑම ඉතා ඉහළ විය. විශේෂයෙන්ම සන්නද්ධ කණ්ඩායම් සහ ෂිචුආන්, ෂැන්ෂි, ක්වින්ග්හායි, නින්ග්ෂියා වැනි අභ්‍යන්තර චීන කලාප අතර යුධ ගැටුම් පැවති 1916 - 1928 චීන භීම සමය (Warlord Era) තුළ දේශපාලන සහ සමාජයීය ප‍්‍රතිසංස්කරණ ඇතිකිරීමෙහිලා හූ ෂීහ්ගේ කාර්යභාරය කැපී පෙනේ.

1938 - 1942 කාලය තුළ එක්සත් ජනපදය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපතිවරයා වශටෙයන් කටයුතු කළ හූ ෂීහ් ඉන් අනතුරුව වර්ෂ 1946 - 1948 කාලය තුළ ප‍්‍රධාන පෙළේ චීන විශ්වවිද්‍යාලයක් වන පීකිං විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය හෙබවීය. 1957 වර්ෂයේ දී චීන තායිපේ රාජ්‍යයේ ජාතික විශ්වවිද්‍යාලය වන ඇකඩමියා සිනීකා (Academia Sinica) හි සභාපති පදවියට පත්වූ හූ ෂීහ් 1962 වර්ෂයේ මරණයට පත්වන තෙක්ම එකී තනතුරේ කටයුතු කළහ. 

1939 වර්ෂයේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා හූ ෂීහ් ද නිර්දේශ විය. සාහිත්‍ය, ඉතිහාසය, ග‍්‍රන්ථ විචාරය සහ ශික්ෂණ විද්‍යාව ආදී කේෂ්ත‍්‍ර ගණනාවක ප‍්‍රවීණයෙකු වූ හූ ෂීහ් Dream of the Red Chamber නම් ග‍්‍රන්ථය පිළිබඳ පුළුල්ව අධ්‍යනය කළ විද්වතෙකි. දේශපාලනය, සාහිත්‍යය සහ අධ්‍යාපනය යන කේෂ්ත‍්‍ර තුළ චීන පුනරුදයේ පියා වශයෙන් ද සැලකේ.

සම්පරීක්ෂණවාදය (Experimentalism) වශයෙන් ෂීහ් විසින්ම හඳුන්වන ලද උපයෝගීතාවාදී සංකල්ප (Pragmatism) සම්බන්ධයෙන් සප‍්‍රමාණික දැනුමකින් හා අවබෝධයකින් යුතු වූ චීන දාර්ශනිකයෙකු වශයෙන් මෙන්ම චීන ස්වභාෂාවන් පදනම් කරගනිමින් ලිඛිත චීන භාෂාවේ මානයන් වෙනස් කළ විද්වතෙකු වශයෙන්ද චීනය වෙනුවෙන් දේශපාලන ලෝකය තුළ පුරෝගාමී මෙහෙවරක් කරන ලද රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු වශයෙන්ද හූ ෂීහ් සැලකිය හැක. 

හූ ෂීහ්ගේ දාර්ශනික ඉගැන්වීම් සහ ජනමාධ්‍ය 

වෝල්ටර් බෙන්ජමින් සහ මාර්ෂල් මැක්ලූහාන් වැනි විද්වතුන්ගේ අධ්‍යයනයන් සහ ශාස්ත‍්‍රීය දර්ශනයන් හරහා 20 වන සියවසේ අවසාන භාගයේ පටන් මාධ්‍ය විෂය කේෂ්ත‍්‍රය දැවැන්ත වෙනසකට ලක්වනු දැකිය හැකිවිය. මාධ්‍ය කේෂ්ත‍්‍රය තුළ සිදුවූ වේගවත් වර්ධනයන් මෙන්ම විවිධාකාර තාක්ෂණික භාවිතාවන්හි සිදුවූ වෙනස්කම් නිසාවෙන් මාධ්‍යය සහ වෙනත් සන්නිවේදන මාර්ගයන්හි ඉතිහාසය, සන්දර්භය සහ බලපෑම යන කරුණු ප‍්‍රමාණවත් පරිදි අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය මතුවන අතර මේ අවශ්‍යතාවයන්ට න්‍යායික පිළිතුරක් සැපයීමේ උත්සාහය තුළ දාර්ශනික සංකල්ප භාවිත වීම හරහා මාධ්‍ය දර්ශනවාදය (Philosophy of Media) විෂයක් වශයෙන් වර්ධනය වේ.

ඒ අනුව හූ ෂීහ් විසින් විද්වත්භාවයන් දැරුවාවූ දාර්ශනික කේෂ්ත‍්‍ර සහ මාධ්‍ය දර්ශනවාදය අතර පුළුල් සම්බන්ධතාවයක් ඇත. හූ ෂීහ් විශේෂඥභාවය දැරුවාවූ උපයෝගීතාවදය සහ සම්පරීක්ෂණවාදය මෙන්ම ලිබරල්වාදයද නූතන ජනමාධ්‍ය භාවිතය විග‍්‍රහ කිරීමේදී සෘජුවම අදාළ කරගන්නා න්‍යායික සන්දර්භයන්ය.

හූ ෂීහ් පිළිබඳ ජීවන තොරතුරු

1891 දෙසැම්බර් මස 17 වනදා චීනයේ අන්හුයි ප‍්‍රාන්තයේ පිහිටි ජික්ෂි නම් කුඩා උප නගරයේදී හූ ෂීහ් උපත ලබා ඇත. ඔහුගේ පියා හූ චුආන් වශයෙනුත් මව ෆෙන්ග් ෂුන්ඩි වශයෙනුත් සඳහන් වේ. හූ ෂී කුඩා කලදීම ඔහුගේ පියා මියගිය බව ඔහුගේ ජීවන තොරතුරු හා සම්බන්ධ වාර්තාවල සඳහන් වේ. පියා අහිමිවීමෙන් පසු හූ ෂීහ්ගේ චරිතය හැඩගැස්සවීම සඳහා ඔහුගේ මව ප‍්‍රබල බලපෑමක් සිදු කර ඇත, හූ ෂීහ් තුළ සම්ප‍්‍රදායික චීන වටිනාකම් සහ අගයන් පිළිබඳ පක්ෂපාතීත්වයක් ඇතිවන පරිද්දෙන් කටයුතු කරන අතරම සිය පුතුට නවීන අධ්‍යාපනයක් ලබා දෙන්නටද ඇය කැපවී කටයුතු කළ බව චීන පුනරුදය හා සම්බන්ධ වාර්තාවල සඳහන් වේ. ජික්ෂි නගරයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ හූ ෂීහ් සිය මවගේ පෙළඹවීම මත චීනයේ ෂැංහයි නගරයට ගොස් එහිදී වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වේ.

ෂැංහයි නගරයේ සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන කාලය අතරතුර ඔහු සංශයවාදය (Skepticism) සම්බන්ධ පොත්පත් පරිශීලනය කරමින් ඒ සම්බන්ධවද අධ්‍යනයන්හි නිරතව ඇත. මෙහිලා ඔහු භාවිතා කර ඇති මූලිකම ඉගැන්වීම් වනුයේ චීනයේ සොන්ග් පරම්පරාවට අයත් විද්වතෙකු සහ ඉතිහාසඥයෙකු වන සිමා ගුඇන්ග් (කි‍්‍ර.ව. 1019 – 1086) විසින් කළ ශ‍්‍රාස්තී‍්‍රය ග‍්‍රන්ථ සහ අධ්‍යනයන්ය. එසේම ෂැංහයි නගරය තුළ ගතකල කාලය තුළ චීනයේ ක්වින්ග් රාජ යුගය සහ පූර්ව සමූහාණ්ඩු යුගයේ ජීවත්වූ දාර්ශනිකයෙකු, ප‍්‍රතිසංස්කරණවාදියෙකු සහ මාධ්‍යවේදියෙකු වන ලියෑන්ග් කිවුචාවෝ (Liang Quchao,  කි‍්‍ර.ව. 1873 - 1929) සහ චීනයට ඩාවීනියානුවාදය සහ ස්වාභාවික වරණවාදය පිළිබඳ ඉගැන්වීම් හඳුන්වාදුන් විද්වතෙකු සහ භාෂා පරිවර්තකයෙකු වන යැන් ෆූ (Yan Fu, කි‍්‍ර.ව. 1854 - 1921) යන අයගේ සමාගමය ලබන්නට ද හූ ෂීහ් සමත්විය. 

හූ ෂීහ් තුළ ගොඩනැගුණු පුනරුදවාදී අදහස් සහ බටහිර දාර්ශනික සංකල්පයන්හි ප‍්‍රභවය ලැබුණේ මෙම විද්වතුන් දෙදෙනාගෙන්ය යන්න පැහැදිලිය. 
   
බටහිර දර්ශනයන් සහ ප‍්‍රතිසංස්කරණවාදී සංකල්පයන්ට තවදුරටත් විවෘතවීමට හූ ෂීහ් හට අවස්ථාව ලැබෙනුයේ ඉන් අනතුරුවය. ඒ චීන විද්‍යාර්ථීන් සඳහා එක්සත් ජනපදයේ අධ්‍යාපනය හැදෑරීමට මග පාදන Boxer Indemnity Scholarship Program නම් වැඩසටහන යටතේ පිරිනැමෙන ශිෂ්‍යත්වයක් හූ ෂීහ්ට හිමිවීම හරහායි. 1910 අගෝස්තු 16 වනදා හූ ෂීහ්ට ඉහත ශිෂ්‍යත්වය හිමිවනුයේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පිහිටි කොර්නේල් විශ්වවිද්‍යාලය තුළ කෘෂිකර්මය විෂය අධ්‍යනය කිරීම සඳහායි. කොර්නේල් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන හූ ෂීහ් 1912 වර්ෂයේදී කෘෂිකර්ම අධ්‍යයන විෂය ධාරාව අතහැර ඒ වෙනුවට දර්ශනය සහ සාහිත්‍ය විෂයන් තෝරා ගනුයේ දාර්ශනික සංකල්ප සම්බන්ධයෙන් ඔහු ආශක්තව ඇති තරම පැහැදිලි කරමිනි. දර්ශනය විෂය ධාරාවෙන් සිය ප‍්‍රථම උපාධිය සම්පූර්ණ කරන හූ ෂීහ් ඉන් අනතුරුව එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේම පිහිටි කොලොම්බියා සරසවිය වෙත යොමුවේ. 

ලෝකයේ අධ්‍යාපන සහ සමාජමය ප‍්‍රතිසංස්කරණයන් සඳහා අදහස් අතින් සැලකිය යුතු දායකත්වයක් සැපයූවාවූ ඇමරිකානු දාර්ශනිකයෙකු, මනෝ විද්‍යාඥයෙකු, සහ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවාදියෙකු වන ජෝන් ඩේවි (John Dewey,  කි‍්‍ර.ව. 1859 - 1952) මේ කාලය තුළ කොලොම්බියා සරසවියේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළහ. උපයොගීතාවාදයේ මූලික න්‍යායන් සම්බන්ධයෙන් මෙන්ම ප‍්‍රායෝගික මනෝවිද්‍යාව සම්බන්ධයෙන්ද ජෝන් ඬේවි  කළ අධ්‍යනයන් සහ ඉගැන්වීම අදටද එකී කේෂ්ත‍්‍ර තුළ භාවිතා වේ. 

එක්සත් ජනපදය තුළ සිය අධ්‍යන කටයුතු අවසන් කළ හූ ෂීහ් 1917 වර්ෂයේදී නැවත චීනයට පැමිණේ. චීනය තුළ ඔහු සිය රාජකාරි දිවිය ආරම්භ කරනුයේ පීකිං විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ආචාර්යවරයා වශයෙනි. 

චීනයේ නව සංස්කෘතික ව්‍යාපාරයේ නායකයෙකු වශයෙන් හූ ෂීහ්ගේ කි‍්‍රයාකාරීත්වය ඇරඹෙනුයේ මින් අනතුරුව ඔහු New Youth නම් විකල්ප මතධාරී පුවත්පත හා සම්බන්ධව කටයුතු කරන ලදි. කි‍්‍ර.ව. 1910- 1920 කාලය තුළ චීන නව සංස්කෘතික ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමෙහිලා මෙන්ම මැයි 04 ව්‍යාපාරය පිළිබඳ අදහස චීනය තුළ පැතිරවිමෙහිලාත් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කළ මේ පුවත්පත හරහා නව සංස්කෘතික ව්‍යාපාරය තුළත් පසු කලෙක මැයි හතර ව්‍යාපාරය තුළත් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නට හූ ෂීහ් සමත්විය.

චීන සාහිත්‍යයට සහ අධ්‍යාපනයට හූ ෂීහ් අතින් සිදුවූ සුවිශාලම වැදගත් කාර්යය වනුයේ සම්ප‍්‍රදායික චීන අක්ෂර මාලාව වෙනුවට ස්වදේශීයව භාවිත වෙමින් පැවති චීන අක්ෂර ලේඛණ කාර්යය සඳහා භාවිතයට ගැනීමට ප‍්‍රචලිත කිරීමයි. මෙම කි‍්‍රයාවලිය තුළ හුදෙක් සම්භාව්‍ය චීන අක්ෂර කලාව දැනහැඳින සිටි උගත් චීන ජාතිකයන්ට පමණක් සීමාවී තිබූ චීන සාහිත්‍ය සාමාන්‍ය ප‍්‍රජාව වෙත ව්‍යාප්ත වීම ආරම්භ වූ අතර චීන නව සංස්කෘතික ව්‍යාපාරය තුළ සාහිත්‍ය ප‍්‍රචලිත වීමේ වේගයද වැඩිවිය. 

චීන සංස්කෘතික පුනරුදය බටහිර සංකල්ප සහ පිළිගැනීම් මත පදනම්ව පවත්වාගෙන යනවා වෙනුවට සම්ප‍්‍රදායික චීන සංස්කෘතිය පදනම් කරගනිමින් නව සංස්කෘතික ප‍්‍රතිසංස්කරණයන් ගෙන ඒමට හූ ෂීහ් වෙහෙස විය. ඊට අමතරව සම්භාවනීය චීන සාහිත්‍ය ග‍්‍රන්ථයන් සම්බන්ධව සුවිශිෂ්ඨ විචාරයන් සපයන්නටද හූ ෂීහ් කටයුතු කළහ. 

හූ ෂීහ් සම්බන්ධයෙන් කළ අධ්‍යනයන් තුළ ඔහු විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු කළාවූ සහ ඔහු විද්වත්භාවයක් දැරුවාවූ දාර්ශනිකමය සහ ශාස්ත‍්‍රීය කේෂ්ත‍්‍ර 04 ක් හඳුනාගත හැකිවිය. 

01.   ලිබරල්වාදය (Liberalism)
02. Dream of the Red Chamber කෘතිය පිළිබඳ විචාරවේදය (Redology)
03. උපයෝගීතාවාදය (Pragmatism)
04. සම්පරීක්ෂණවාදය (Experimentalism)

ලිබරල්වාදය (Liberalism) සහ හූ ෂීහ්ගේ ඉගැන්වීම් 

නිදහස සහ සමානාත්මතාවය පිළිබඳ මූලික සංකල්ප මත පදනම්වූ දේශපාලන දර්ශනය/මතවාදය ලිබරල්වාදය වශයෙන් මූලිකව හඳුනා ගත හැක. ලිබරල්වාදය මූලික වශයෙන්ම පෝෂණය වූයේ අදහස් ප‍්‍රකාශ කිරීම සහ භාෂණයේ නිදහස සඳහා වන අයිතීන් දිනා ගැනීමට මානව ඉතිහාසය තුළ සිදුවූ නොයෙක් ආකාර අරගල හරහාය.

බි‍්‍රටැනිකා විශ්වකෝෂය තුළ ලිබරල්වාදය යන්න නිර්වචනයවී ඇත්තේ "දේශපාලනයේ අවධානය යොමුවන මධ්‍ය ලක්ෂය ලෙස පුද්ගල නිදහස ආරක්ෂා කිරීම සහ එය අභිවර්ධනය කිරීම අරමුණු කරගත් දේශපාලන න්‍යාය ලිබරල්වාදයයි" යනුවෙනි. 

ඒ අනුව බාහිර තර්ජනවලින් පුද්ගලයා ආරක්ෂා කර ඔහුගේ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික දියුණුව සැලසීම, පුද්ගල නිදහස ආරක්ෂා වන පරිදි නීතියේ සමානාත්මතාවය පවත්වා ගැනීම සහ පාලනය විෂයෙහි පුද්ගල සහභාගීත්වය වර්ධනය කිරීම රාජ්‍යයේ කාර්යය යැයි ලිබර්ල්වාදීහූ විශ්වාස කරති. 

හූ ෂීහ් තුළවූ ලිබරල්වාදී අදහස් වර්ධනය වීමට කොලොම්බියා සරසවිය තුළ ජෝන් ඬේවි යටතේ ගතකල කාල සීමාව පැහැදිලිව බලපාන්නට ඇත. 1919 - 1921 කාලය තුළ චීනය පුරා සංචාරයක කරමින් අධ්‍යාපනය සහ දේශපාලනය සම්බන්ධයෙන් චීන ජනතාවට දේශන මාලාවක්ම පවත්වන්නට ජෝන් ඬේවි කටයුතු කළහ. ජෝන් ඩේවිගේ මේ කාර්යය සඳහා චීන භාෂා පරිවර්තකයා ලෙස දායක වූයේ හූ ෂීහ්ය. ජෝන් ඩේවි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ දැක්වූ ලිබර්ල්වාදී අදහසක් චීන ජනතාවට හඳුන්වාදෙනු ලැබුවේද මෙම දේශන මාලාව තුළය, එයට අනුව පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කරගත හැක්කේ හුදෙක් ඡන්ද අයිතිය ව්‍යාප්ත කිරීමෙන් නොවේය. ඒ සඳහා බල ගැන්වුනු මහජන අදහස් යාන්ත‍්‍රණයක්ද අනිවාර්යයෙන් අවශ්‍ය වන අතර පුරවැසියන්, විවිධ කේෂ්ත‍්‍රවල ප‍්‍රවීණයන්, සහ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමෙහිලා වගකිවයුතුවන්නාවූ දේශපාලනඥයන් අතර සාර්ථක සන්නිවේදන ජාලයක්ද කි‍්‍රයාත්මක විය යුතුය.

දේශපාලනය පිළිබඳ ලිබරල්මය අදහසක් වන ජොන් ඬේවිගේ ඉහත සංකල්පය පැහැදිලිවම හූ ෂීහ්ගේද පිළිගැනීම වන්නට ඇත. හූ ෂීහ්ගේ මරණයෙන් ඉතාම කෙටි කලකට පසුව The China Quarterly සඟරාවට Hu Shih and the Chinese Renaissance: Liberalism in the Chinese Revolutionනමින් ලිපියක් සම්පාදනය කරන ජෙරෝම් බී. ගයිඩර් නම් ලේඛකයා හූ ෂීහ් තුළවූ ලිබර්ල්වාදී අදහස්වල ස්වභාවය පැහැදිලි කරමින් කියා සිටිනුයේ,

"සාමාජය තුළ ඇතිවිය යුතු වෙනස පිළිබඳ ඔහු අනුගමනය කළාවූ නවීන සහ විප්ලවීය ප‍්‍රවේශය, දේශපාලන සංසිද්ධියක් වශයෙන් නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක වීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ ඔහු තුළවූ විශ්වාසය, සමාජය තුළ පුද්ගලයාගේ කාර්යභාරය සහ පුද්ගලයා වෙනුවෙන් රාජ්‍යයට පැවරෙන වගකීම පිළිබඳ ඔහුගේ දැක්ම තුළ ඔහු පුළුල් අර්ථයකින් යුතුව දේශපාලන ලිබරල්වාදියෙකු වශයෙන් හැඳින්විය හැක.” යනුවෙනි.


ලිබරල්වාදය සහ මාධ්‍ය භාවිතය

අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස උදෙසා සිදුවූ අරගලවලින් පෝෂණය වූ නිසාවෙන්ම මුල් ලිබරල්වාදය තුළ මාධ්‍ය භාවිතා වූයේ පැරණි ආගමික, දේශපාලනික සහ ආර්ථික කඳවුරුවලට විරුද්ධව කරන නැගීසිටීමේ සන්නිවේදන සහකරුවෙක් වශයෙන් පමණි. ‘ජන මාධ්‍ය’ යන නමින් මාධ්‍යයේ භූමිකාව නවීකරණය වීම සිදුවනුයේද ලිබරල්වාදී ඉගැන්වීම් මූලික කරගත් ලිබරල් රාජ්‍යයන්ගේ බිහිවීමත් සමගය.

එහෙත් අද වනවිට ලිබරල්වාදය ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් වර්ධනයව ඇති සන්දර්භයක් තුළ ජනමාධ්‍ය හුදෙක් සන්නිවේදන කාර්යය ඉටු කරන ව්‍යූහයක තත්ත්වය ඉක්මවා ගොස් මිනිසාගේ පුද්ගලික සහ සමාජයීය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් සිදුකරන මට්ටමකට වර්ධනයවී ඇත. ජනමාධ්‍ය පිළිබඳ ලිබරල්වාදී අදහසට අනුව කිසියම් රටක කවරාකාර හෝ ජනමාධ්‍ය මර්දනයක් සිදුවන්නේ නම් එය පැහැදිලිවම නිදහස පිළිබඳ ලිබරල් අවශ්‍යතා ඉක්මවා යන ඒකාධිපති පාලනයකි. වඩා සුවිශේෂී කාරණයවී ඇත්තේ ලිබරල්වාදී සංකල්ප යටතේ හතරවන ආණ්ඩුවක මට්ටමට සිය බලය වර්ධනය කරගන්නට ජනමාධ්‍ය සමත්ව තිබීමයි. 

ඒ අනුව අද වනවිට පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ අභිලාෂ මත ජනමධ්‍යයන්ට හැසිරීමට සිදුවීම, දේශපාලන පක්ෂපාතීත්වය, දැවැන්ත වාණිජ සමාගම්හි අවශ්‍යතාවයන් මත කටයුතු කිරීම, සමාජයීය සුබසාධනය වැනි ගැටළු කෙරෙහි අවධානය දක්වනවා වෙනුවට රාජ්‍යයේ හෝ දේශපාලන පක්ෂවල උවමනා එපාකම් මත කටයුතු කිරීම ආදී කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන වෙත චෝදනා එල්ලවන තත්ත්වයක් නිර්මාණයවී ඇත. 

එහෙත් ජනමාධ්‍යයේ භූමිකාව සම්බන්ධයෙන් පක්ෂව කරුණු දක්වන්නන්ගේ මූලිකම අදහස වනුයේ අදටද පොදු ජන විඥාණය සකස් කිරීමෙහිලා මෙන්ම ජනතා මතය සහ ආකල්ප ගොඩනැගීමෙහිලාත් ජනමාධ්‍ය ප‍්‍රධාන පෙළේ භූමිකාවක් ඉටු කරන බවයි. ජනමාධ්‍යයේ භූමිකාව, එහි බලය සහ ජන විඥාණය සකස්කිරීමෙහිලා එයට ඇති හැකියාව පිළිබඳ ලිබරල්වාදී සංකල්පයේ න්‍යායික සහ ප‍්‍රායෝගික වැරදි ඉස්මතු කරමින් එය අභියෝගයට ලක් කරන මූලිකම මතවාද දෙකක් වශයෙන් ජනමාධ්‍ය භාවිතය පිළිබඳ මධ්‍යස්ථ මතවාදය සහ මාක්ස්වාදය හැඳින්විය හැක. 

ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ලිබරල්මතවාදය අභියෝගයට ලක්කරන මධ්‍යස්ථ මතධාරීන් ජනමාධ්‍යයක අයිතිකරුගේ අභිලාෂයන්ට නතුව කි‍්‍රයාකාරන්නට මෙන්ම රාජ්‍යයට පක්ෂපාතීවන්නටද මාධ්‍යයට සිදුවන බව පිළිගනී. මධ්‍යස්ථ මතධාරීන් මතුකර පෙන්වන වැදගත්ම කාරණය නම් එවැනි පක්ෂපාතීත්වයක් දැක්වූවා වුවද ඡුන්දදායකයා තවමත් ජනමාධ්‍ය සිය තොරතුරු සහ සන්නිවේදන මූලාශ‍්‍රය වශයෙන් සලකන බව ආචාර්ය මික්හයිල් ස්ටෙවානෝව් සඳහන් කරයි. 

අන්තර්ජාලය ඇතුළු නව මාධ්‍යයන්ගේත් විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාලාවන්හි වර්ධනය හමුවේ පෞද්ගලික අයිතිකරුවන් යටතේ හෝ රාජ්‍ය අයිතිය යටතේ පවතින මාධ්‍ය ජන විඥාණය කෙරෙහි දක්වන බලපෑම දුර්වල කෙරී තිබෙන බව මේ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වේ. 
ජනමාධ්‍ය භාවිතාව පිළිබඳ ලිබරල් සහ මධ්‍යස්ථ මතය යන දෙකම විවේචනය කරන මාක්ස්වාදය මාධ්‍ය යනු මුළුමනින්ම ධනපති පංතියේ කි‍්‍රයාකාරකම් සාධාරණය කරන සහ නිර්ධන පංතියේ පිබිදීමක් ඇතිවීම වැලැක්වීම අරමුණු කරගනිමින් පවත්වාගෙන යන ව්‍යූහයක් වශයෙන් දකියි. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන යනවා යැයි එක්සත් ජනපදය විසින් කළ චෝදනා, එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම, ඉරානය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් වැරදි ප‍්‍රතිරූපයක් ඇති කරන්නට ගත් උත්සාහය ආදී බොහෝ සිදුවීම්වලදී ජනමාධ්‍යයේ කාර්යභාරය වූයේ ධනපති ආණඩුවට පක්ෂව ඒ සිදුවීම් සාධාරණීකරනය කිරීමට කටයුතු කිරීමයැයි මාධ්‍ය සම්බන්ධයෙන් පළ කෙරුණු නූතන මාක්ස්වාදී ශාස්ත‍්‍රීය ලිපි තුළ චෝදනා එල්ල විය. නිදහස් ජනමාධ්‍යයේ පැවැත්ම පිළිබඳ ලිබරල් අදහසට මුළුමනින්ම විරුද්ධව යන මාක්ස්වාදී න්‍යායන්ට අනුව නිදහස් මාධ්‍ය යනු අහෝසි කළ යුතු කි‍්‍රයාකාරීත්වයකි. 

Dream of the Red Chamber කෘතිය පිළිබඳ හූ ෂීහ්ගේ විචාරයන්

Redology නමින් හැඳින්වෙන මෙම අධ්‍යන කේෂ්ත‍්‍රය සම්පූර්ණයෙන්ම අරමුණු කරගනුයේ කි‍්‍ර.ව. 1715 -  1764 යුගය තුළ ජීවත්වූ චීනයේ ක්වින්ග් වංශයට අයත් සම්භාවනීය ලේඛකයෙකු වන කාවෝ ෂීකුයින් රචිත Dream of the Red Chamber නම් ග‍්‍රන්ථයේ සන්දර්භය, සාහිත්‍යයමය අගය, සාහිත්‍ය ක‍්‍රමවේදය ආදිය අධ්‍යනය කිරීමය.

Dream of the Red Chamber ග‍්‍රන්ථය චීනය තුළ බිහිවූ සුවිශිෂ්ඨතම සම්භාවනීය ග‍්‍රන්ථ 04 අතුරින් එකක් වශයෙන් සැලකේ. මේ ග‍්‍රන්ථය සම්බන්ධයෙන් අධ්‍යනයක කරන්නාවූ විචාරකයන් පොදුවේ කොටස් 04 කට බෙදා දැක්වේ. ඒවානම්, අර්ථකතා/අටුවා සපයන්නන් (Commentators), සුචි සකස්නන් (Indexers), සන්දර්භ විචාරකයන් (Textual critics) සහ සාහිත්‍ය විචාරකයන් (Literary critics) යනුවෙනි. 

මෙයින් හූ ෂීහ් අදාළ වනුයේ එකී ග‍්‍රන්ථය පිළිබඳව සන්දර්භ විචාරකයන්ගේ ගණයටය. විශේෂයෙන්ම හූ ෂීහ් විසින් 1921 දී චීන භාෂාවෙන් ලියා පළ කළ Textual Research of the Dream of the Red Chamber යන අර්ථය දෙන ග‍්‍රන්ථය තුළින් එතෙක් මෙම කෘතිය පිළිබඳ පැවති විචාරවේදය නව මානයකට පත්වූ බවත් ඒ හරහා කෘති ය පිළිබඳ නව විචාරවේදය (New Redolog) බිහිවූ බවත් සැලකේ. 

හූ ෂීහ් විසින් ග‍්‍රන්ථය පිළිබඳ සිදු කළ විචාරය ඒ පිළිබඳ වූ තවත් විචාර්ත්මක කණ්ඩායමක් වන නිහඬ අර්ථ පිළිබඳ ගුරුකුලයේ (්‍Hidden meaning school) අදහස් ප‍්‍රතික්ෂේප කරන ආකාරයේ එකක් විය. 1921 පමණ කාලයේදී පැන නැගුණු නිහඬ අර්ථ පිිළිබඳ ගුරුකුලයේ මූලිකම අදහස වූයේ Dream of the Red Chamber ග‍්‍රන්ථය මූලික වශයෙන්ම එහි ලේඛකයා විසින් ලබා දෙන්නට අදහස් කළ පණිවිඩය වඩාත් හොඳින් ලබාදෙනු වස් සංඥා, සංඛේත සහ සැඟවුණු අර්ථ ආදිය භාවිතා කර ඇති බවයි. 

කායි යුනාපේයි (Cai Yunapei,  කි‍්‍ර.ව. 1868 - 1940) වැනි විද්වතුන් විසින් ප‍්‍රචලිත කළ සංඥාර්ථවාදී පදනමකින් යුත් ඉහත කී නිහඬ අර්ථ පිළිබඳ ගුරුකුලයේ අදහස් ඉක්මවා ගිය හූ ෂීහ් මූලික වශයෙන්ම ග‍්‍රන්ථය කතුවරයාගේ ස්වයං චරිතාපදානයක්ය යන පදනමේ සිට සිය විචාරය සිදු කරන ලදි. එහිලා ඔහු එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන කාලයේදී හුරුවූ බටහිර සංකල්ප, දාර්ශනික න්‍යායන් මෙන්ම සාහිත්‍ය විචාර ක‍්‍රමවේදද භාවිතා කරමින් වඩාත් විද්‍යාත්මක සහ තාර්කික සාහිත්‍ය විචාරයක් Dream of the Red Chamber ග‍්‍රන්ථය සම්බන්ධයෙන් සිදුකරන්නට සමත්වූ බවත් ඒ හරහා එම ග‍්‍රන්ථය සම්බන්ධ විචාරවේදය නව මානයකට යොමුවූ බවත් සැලකේ. 

උපයෝගීතාවාදය (Pragmatism) සහ හූ ෂීහ්ගේ ඉගැන්වීම්

1870 පමණ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ දාර්ශනික සංකල්පයක් වශයෙන් උපයෝගීතාවාදය හැඳින්විය හැක. ක්‍ගීග පියර්ස් සහ විලියම් ජේමිස් යන විද්වතුන්ගේ ඉගැන්වීම් මත පදනම්වූ මෙම දාර්ශනික සංකල්පය න්‍යායන් සහ විශ්වාසයන්හි ප‍්‍රායෝගික සාර්ථකත්වය දක්වා ගොස් ඒවා ඇගයුමට ලක් කරන ආකාරයේ ප‍්‍රවේශයක් වශයෙන් ඉතා සරලව වටහා ගත හැක.  සිතුවිලිවල මූලික කාර්යය වනුයේ යමක් විස්තර කිරීම, ඉදිරිපත් කිරීම සහ සත්‍යය ප‍්‍රතිරූපනය කිරීම යන සම්ප‍්‍රදායික අදහස ප‍්‍රතික්ෂේප කරන උපයෝගීතාවාදය සිතුවිලි යනු පුරෝකථනය, කි‍්‍රයාව, සහ ගැටලු නිරාකරණය යන ප‍්‍රායෝගික අරමුණ සඳහා කි‍්‍රයාත්මකවන්නක් වශයෙන් දක්වයි. ඒ අනුව දේශපාලනය විෂයෙහි මහජන සහභාගීත්වය සහ මහජන අදහස් භාවිතා කිරීම දේශපාලනය තුළ උපයෝගීතාවාදය කි‍්‍රයාත්මක කිරීමක් වශයෙන් විග‍්‍රහ කළ හැක. 

ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රිසි ශබ්දකෝෂය Pragmatism යන්න විස්තර කර ඇත්තේ, "යමක් පිළිබඳ න්‍යායත්මක අංග ලක්ෂණ ඉක්මවා ගොස් ඒවා සම්බන්ධ ප‍්‍රායෝගික ප‍්‍රවේශයකින් යුතුව සජීවීව සහ යථාර්ථවාදී ලෙස කටයුතු කිරීම" වශයෙනි.

Pragmatism යන  වචනය ගොඩනැගෙන ඡුර්ටප්එසජ යන වදන 16 වන සියවසේදී පමණ ‘කරුණු හා සම්බන්ධ’ යන අර්ථය දෙන ඡුර්ටප්එසනදි යන ග‍්‍රීක වචනයෙන් බිඳී ඉංග‍්‍රීසි භාෂාවට එක්වූවකි. 

හූ ෂීහ්ගේ දාර්ශනික භාවිතාවන් සහ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරීත්වය අලලා දර්ශන විෂය සඳහා සිය ආචාර්ය උපාධි නිබන්ධනය රචනා කළ, වර්තමානයේ ලුසියානාහි නිකොලස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ සහකාර මහාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ර්යා බටර්ෆීල්ඞ් හූ ෂීහ් හඳුන්වනුයේ "ඇමරිකානු උපයෝගීතාවාදය චීනයට ගෙන ආ තානාපතිවරයා"  යනුවෙනි. 

1920 පමණ කාලයේ සිට හූ ෂීහ් සහ ජෝන් ඩේවිගේ චීන අනුගාමිකයන් දේශපාලන වෙනසක් සඳහා සිය කි‍්‍රයාපිළිවෙල තුළට උපයෝගීතාවාදී සංකල්ප අන්තර්ගත කරන්නට උත්සාහ කළහ. China's Pragmatist Experiment in Democracy  නම් ග‍්‍රන්ථය රචනා කරන සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු සහකාර මහාචාර්ය ටැන්-සෝර් හූන් මහත්මිය හූ ෂීහ් විසින් අනුගමනය කළ උපයෝගීතාවාදී ප‍්‍රවේශය පිළිබඳ සඳහන් කරමින් කියා සිටිනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කරගත හැකි ක‍්‍රමවේදය වනුයේ න්‍යායික පදනමකින් යුත් දේශපාලනයට වඩා ප‍්‍රායෝගික භාවිතයකින් යුතු අධ්‍යාපනය තුළින් යැයි හූ ෂීහ් විශ්වාස කළ බවයි. 

චීනය තුළ එවකට පැවති දේශපාලන වියවුල්කාරීභාවය අවසන් කිරීමේ හූ ෂීහ්ගේ ප‍්‍රතිසංස්කරණ යෝජනා මුළුමනින්ම උපයෝගීතාවාදී පදනමකින් යුක්ත විය. ඔහුට අනුව දේශපාලනය විෂයෙහි මහජන සහභාගීත්වය වැඩි කිරීම  ඕනෑම ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක මූලික අවශ්‍යතාවය වනු ඇති බවයි. 
චීන සංස්කෘතික පුනරුදයෙහිලා හූ ෂීහ්ගේ ප‍්‍රධානම අභිලාෂය වූයේ පෙරදිග ඵිහිටි චීනය සහ බටහිර ලෝකය අතර සංස්කෘතිකමය සහ න්‍යායාත්මක පාලමක් ගොඩනැගීමයි. චීනයේ බුද්ධිමය සහ සංස්කෘතිකමය සම්ප‍්‍රදායන් බටහිර ලෝකයට විවෘත කිරීම සහ එයට සමාන්තරව උපයෝගීතාවාදී බටහිර සංකල්ප චීන දේශපාලනයට, සංවර්ධනයට සහ සංස්කෘතියට බද්ධ කිරීමට ඔහු උත්සාහ කළහ. 

උපයෝගීතාවාදී න්‍යාය සහ ජනමාධ්‍යය 

උපයෝගීතාවාදය සහ මාධ්‍ය අතර සහසම්බන්ධය මූලික වශයෙන්ම ගොඩනැගෙනුයේ මාධ්‍ය යනු කුමක්ද? යන ගැටලුවට පුළුල් පිළිතුරක් සෙවීමට කරන උත්සාහය තුළ යැයි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය වික්හයිල් ස්ටෙවනෝව් සඳහන් කරයි. 

මාධ්‍ය පිළිබඳ මාර්ෂල් මැක්ලූහන් විසින් දක්වන අදහස්ද මාධ්‍ය අධ්‍යනයන න්‍යායික පදනම්වලින් ඔබ්බට ගොස් ප‍්‍රායෝගික භාවිතයක් දක්වා පැමිණිය යුතුයැයි යෝජනා කරන උපයෝගීතාවාදී අදහස් සමූහයකි. 1964 දී ඔහු විසින් රචනා කරන ලද Understanding Media: The Extensions of Man නම් ග‍්‍රන්ථයෙන් ඔහු සඳහන් කරනුයේ මාධ්‍ය පිළිබඳ කෙරෙන අධ්‍යනයන්හි මූලික අවධානය යොමුවිය යුත්තේ මාධ්‍ය වෙත මිස එහි සංදේශය වෙත නොවන බවයි. ඒ අනුව රූපවාහිනිය සහ ගුවන්විදුලිය එකම සංදේශය සන්නිවේදනය කළා වුවද ඒ දෙක සමාජය තුළ ඇති කරන බලපෑම දෙයාකාර වේයැයි මැක්ලූහන් විස්තර කරයි. 

සමාජය කෙරෙහි බලපෑම් සහගත වීමට අන්තර්ගතයේ අදාලත්වයකින් තොරව මාධ්‍යයට හැකියාව ඇත යන්න මැක්ලූහන් විසින් පැහැදිලි කරනුයේ විදුලි බල්බයක උදාහරණය මතය. ඔහුට අනුව රූපවාහිනියක මෙන් ප‍්‍රවෘත්ති හෝ වෙනත් අන්තර්ගතයක් නොමැති මුත් විදුලි බල්බය අඳුර දුරු කර එළිය ලබා දීම හරහා බලපෑමක් ඇති කරයි. එලෙසම විකාශය කරන වැඩසටහන කවරක්වුවද පළ කරන සංදේශය කවරක් වුවද රූපවාහිනිය සහ පුවත්පත වෙන වෙනම සමාජ බලපෑමක් කළ හැකි මාධ්‍ය දෙකකි. 

මයික් ස්ටෑන්ඩ්බෝත් වැනි විද්වතුන් මාධ්‍ය හා සම්බන්ධව උපයෝගීතාවාදී සංකල්ප භාවිත කරමින් ප‍්‍රකාශ කරනුයේ මාධ්‍යයේ අවශ්‍යතාවය සමාජයීයව සහ ඓතිහාසිකව ගොඩනගාගන්නා ලද්දක් බවයි. ඒ අනුව මානව අන්තර් කි‍්‍රයාකාරකම් හි සහසම්බන්ධය පවත්වාගෙන යන එකී අන්තර් කි‍්‍රයාකාරකම්හිම කොටසක් වන උපකරණයක් වශයෙනි ස්ටෑන්ඩ්බෝත් මාධ්‍ය යන්න විස්තර කරනුයේ.

මාධ්‍ය පිළිබඳ උපයෝගීතාවාදී අදහස් වඩාත් ක‍්‍රමානුකූල කිරීමට හූ ෂීහ්ගේ ගුරුවරයා වූ ජෝන් ඩේවිගේ අදහස් බොහෝ දුරට හේතු විය. ජෝන් ඩේවි විසින් ලියන ලද Experience and Nature සහ Art as Experience යන ග‍්‍රන්ථ දෙක ඒ සඳහා බොහෝ දුරට දායක වූවා යැයි ආචාර්ය ස්ටෙවනෝව් සඳහන් කරයි. ජෝන් ඩේවිගෙ අදහස් ද මූලික කරගනිමින් මාධ්‍ය පිළිබඳ උපයෝගීතාවාදී පැහැදිලි කිරීම්වල ප‍්‍රධාන කරුණු 04 ක් දැක්විය හැක. 

01. මාධ්‍ය යනු හුදෙක් තාක්ෂණික උපකරණයන් නොවේය. ඒවා මනුෂ්‍යයා සමග සෘජු සබඳතාවයකින් යුක්ත කි‍්‍රයාකාරකම් සහ වෙනස්වීම්වලින් සමන්විත අඛණ්ඩ කි‍්‍රයාකාරකම් සමූහයක් වන අතර ‘මාධ්‍ය අත්දැකීම්’ වශයෙන් ඒවා හඳුනාගත හැක. 

02. මිනිසාගේ සමාජ-ඓතිහාසික සන්දර්භය තුළ මාධ්‍ය ආරම්භවන අතර මාධ්‍යයේ වර්ධනයට මිනිසාගේ දේශපාලනික හැසිරීම සෘජුවම බලපානු ලැබේ. 

03. මාධ්‍යය යනු වෙනස්කම්වලට සහ පරිවර්තනයන්ට විවෘත ව්‍යූහයකි. මාධ්‍යය මිනිස් පරිසරය සහ මිනිසා යන සාධක දෙක මත රඳා පවතී.

04. මාධ්‍ය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයනයන් සහ පර්යේෂනයන් පිළිගත් මතවාද මත පදනම්වූ ඒවාටම සීමාවූ අධ්‍යනයන් නොවිය යුතුය. 


සම්පරීක්ෂණවාදය (Experimentalism) සහ හූ ෂීහ්ගේ ඉගැන්වීම්

සම්පරීක්ෂණවාදය (Experimentalism) යනු අනූභූතිකවාදය (Empiricism) මත පදනම්ව පැන නගින දාර්ශනික සංකල්පයකි. එය ඉන්ද්‍රීයගෝචර සහ ප‍්‍රායෝගික මූලධර්ම මත පදනම්වූ ගවේෂණාත්මක ක‍්‍රමවේද සහිත න්‍යායයක් හෙවත් ගවේෂණාත්මක ක‍්‍රමවේද හරහා නිරාවරණය කරගත් සාක්ෂිමය දත්තයන්හි අවශ්‍යතාවය අවධාරණය කරන්නාවූ න්‍යායක් වශයෙන් සම්පරීක්ෂනවාදය හඳුනාගත හැක. 

සම්පර්ක්ෂණවාදය පිළිබඳ හූ ෂීහ්ගේ දැනුම ඔහුගේ ගුරුවරයා වන ජෝන් ඬේවි විසින් උපයෝගීතාවාදය පිළිබඳ කළ ඉගැන්වීම් මත පදනම් විය. ඩේවි සහ හූ ෂීහ් යන දෙදෙනාම සම්පර්ක්ෂණවාදය පිළිබඳ කළ විස්තර කිරීම්වලට ඩාවිනියානුවාදය සම්බන්ධ කරගත්හ. ඔවුන්ට අනුව පරිණාම කි‍්‍රයාවලිය තුළ එක් ජීව පුරුකක් ඔහු වෙසෙන පරිසරයේ වෙනස්කම්වලට අනුගතවීම හරහා ඔහුගේ ජෛව පද්ධතිය වෙනස්කම් වලට ලක්ව එයින් ඊළඟ ජීව විශේෂය බිහිවීම සිදුවේ. එලෙසම  ඕනෑම කාරණයක් එයට අදාළ වන්නාවූ පරිසරයේ වෙනස්කම් මත වෙනසට ලක්වේ. උදාහරණයක් ලෙස මිනිසා සතුන් දඩයම් කරගෙන ජීවත් වූ ගෝති‍්‍රක යුගයේදී පිළිගත් සම්ප‍්‍රදායන් ශිෂ්ඨයැයි සම්මත වර්තමාන යුගය තුළ ප‍්‍රතික්ෂේප වේ. එයට හේතුව මිනිසා ජීවත්වන පරිසරය වෙනස්වීම තුළ මිනිස් මූලධර්මද වෙනස්ව තිබීමයි.

The routledge history of Chinese philosophy නම් ග‍්‍රන්ථයේ විස්තර කෙරෙන ආකාරයට සම්පරීක්ෂණවාදය පිළිබඳ හූ ෂීහ් පහත මූලික කරුණු 04 පෙන්වා දී ඇත.

01. එය නිශ්චිත කරුණු සහ සිද්ධීන් සඳහා අදාළ වේ.
02. සම්පරීක්ෂණවාදයට අනුව සියලුම න්‍යායන් සහ පිළිගැනීම් සත්‍යයන් නොවන අතර ඒවා විද්‍යාත්මකව තහවුරු කළ යුතු උපකල්පනයන් පමණක් වේ. 
03. සම්පරීක්ෂණවාදයට අනුව සියලු න්‍යායන් සහ දැනුම ගවේෂණාත්මකව තහවුරුවිය යුතුය.

චීන පුනරුදය සහ ප‍්‍රතිසංස්කරණයන් සාධාරණීය කරන්නට හූ ෂීහ් විසින් මූලික වශයෙන්ම භාවිතා කළේ ඉහත කී න්‍යායන්ය. ඔහුට අනුව එවකට චීනය තුළ දේශපාලනික සහ සමාජ-ආර්ථික පරිසරය වෙනස් වෙමින් පැවති බැවින් චීන ජනතාව සම්ප‍්‍රදායික පරිසරයට ඔබින සම්ප‍්‍රදායික වටිනාකම් තවදුරටත් පවත්වාගෙන යාම නතර කළ යුතු බවයි. එසේම ඒ වෙනුවට නව නිෂ්පාදන සහ ප‍්‍රවේශයන් සකසා ගැනීම හරහා පැරණි වටිනාකම් සමකාලීන සමාජයට ඔබින පරිදි වෙනස් කරගැනීමට කටයුතු කළ යුතු බව හූ ෂීහ්ගේ අදහස විය. 

සම්පරීක්ෂණවාදය සහ ජනමාධ්‍ය

නූතන මාධ්‍ය භාවිතය තුළ ඇති සීඝ‍්‍රයෙන් වෙනස්වන ස්වභාවය  ඕනෑම දෙයක් එයට අදාළ පරිසරයේ ඇතිවන වෙනස්කම් මත වෙනස්වනු ඇතැයි යන ජොන් ඬේවිගේ අදහස තහවුරු කරන්නකි. 

නූතන ජනමාධ්‍ය සම්පූර්ණයෙන්ම මිනිස් පරිසරයේ ඇතිවන වෙනස සමග ආකාර දෙකකින් සම්බන්ධව කටයුතු කරයි. ඉන් එක් මාර්ගයක් නම් මිනිස් පරිසරයේ ඇතිවන වෙනස්කම් ආරම්භ කිරීමට මාධ්‍ය දායක වීමයි. අනෙක් කාරණය නම් මිනිස් පරිසරයේ ඇතිවන ස්වභාවික වෙනස්කම් මත මාධ්‍ය භාවිතය වෙනස්වීමයි.

මාධ්‍යයේ මේ ස්වභාවය පැහැදිලි කරන මූලිකම සංසිද්ධියක් වශයෙන් CNN Effects යනුවෙන් මාධ්‍ය විශේෂඥයන්ගේ අවධානයට ලක්වන කාරණය දැක්විය හැක. එය දේශපාලන විද්‍යාව තුළ මෙන්ම මාධ්‍ය අධ්‍යනයන තුළද අවධානයට ලක්වන කරුණක් වන අතර රාජ්‍ය ප‍්‍රතිපත්ති සැකසීමෙහිලා රාජ්‍ය බලධාරීන් සහ මහජනතාව පෙළඹවීමට මාධ්‍ය ආයතනයට ඇති හැකියාව පිළිබඳ එයින් අදහස් වේ. කිසියම් සංසිද්ධියක් හෝ කරුණක් පිළිබඳ වාර්තාකිරීම හරහා ඒ කරුණට රාජ්‍ය බලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේද අවධානය යොමුවන තැනට කටයුතු කර රාජ්‍ය ප‍්‍රතිපත්ති හෝ දේශපාලනමය සංසිද්ධීන් කෘතිමව පැන නගින තැනට කටයුතු කිරීමට මාධ්‍යයකට හැකියාව ඇත. 

නිදසුනක් වශයෙන් බැංකු කේෂ්ත‍්‍රයේ සේවකයන් විසින් සිදු කරන වැඩ වර්ජනයක් දිගින් දිගටම වාර්තා කිරීම හරහා බැංකු කේෂ්ත‍්‍රයේ කඩා වැටීමක් පිළිබඳ කියා සිටින්නටත් ඒ හරහා සිය තැන්පතු ආපසු ලබා ගන්නා තැනට ගනුදෙනුකරුවන් මෙහෙයවන්නටත් මාධ්‍යයකට හැකියාව ඇත, එයින් ආණ්ඩුවක් මූල්‍ය අර්බුදයකට යොමු කරන්නට හෝ ආණ්ඩුවේ බලධාරීන් බැංකු සේවක ප‍්‍රශ්න විසඳීමට වහාම මැදිහත් වීම වැනි ප‍්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කරන්නට මාධ්‍යයට හැකියාව ඇත. 

සන්නිවේදනය තුළ විල්බර් ශ‍්‍රාම්, හැරල්ඞ් ඞී. ලැස්වෙල්, ඬේවිඞ් කේ. බර්ලෝ, බෲස් වෙස්ට්ලි සහ මැක්ලිනීන් වැනි විද්වතුන් විවිධ සන්නිවේදන ආකෘති ඉදරිපත් කර තිබේ. නමුත් ප‍්‍රායෝගික සන්නිවේදන කි‍්‍රයාකාරීත්වය තුළ එම ආකෘති කි‍්‍රයාත්මක කිරීම අපහසුය. 

මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වනුයේ අන්තර්ජාලය ඇතුළු නව මාධ්‍යන්ගේ වර්ධනය හමුවේ සම්ප‍්‍රදායික මාධ්‍ය භාවිතයේ සීමාවන් තවදුරටත් වලංගු නොවීමයි. අරාබි වසන්තය වැනි ජනමත පිබිදීමකට පදනම ඇති කරමින් ඊජිප්තුවේ තහීර් චතුරස‍්‍රයෙන් පැන නැගි විප්ලවකාරී කි‍්‍රයාකාරකම්වලට පදනම වැටෙනුයේ ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවියක් හරහා වීම තුළ මේ තත්ත්වය මැනවින් පැහැදිලි වේ.

හූ ෂීහ් පෙන්වා දෙන පරිදි උපයෝගීතාවයට අනුව සංකල්පමය ආකෘති තුළ කි‍්‍රයාත්මක වීමට වඩා ප‍්‍රායෝගික සන්නිවේදනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පැහැදිලි වෙනස්කම් රාශියක් පවතී. වෙළඳ දැන්වීම්කරණය සහ මාධ්‍ය භාවිතය, මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය හිමිකාරීත්වය යනාදිය මගින් බොහෝ සංදේශ වාරණයට ලක්වීම ගැටලුවකි. රටකින් රටකට සන්නිවේදන ආචාරධර්මයන් වෙනස් ආකාරයට කි‍්‍රයාත්මක වීම තවත් ගැටලුවකි.

හූ ෂීහ්ගේ දාර්ශනික භාවිතයන් ලාංකීය සන්නිවේදන කි‍්‍රයාවලියට යොදාගැනීමේදී යම් සීමාවන්ට යටත් වීමට සිදුවේ. ඊට හේතුව වන්නේ සන්නිවේදනය යන්න ගතික කි‍්‍රයාවලියක් වීමයි. 

රටක සාමාජයීය සහ සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික පදනම සහ ආකෘතිය මත සන්නිවේදනය පැහැදිලිවම වෙනස්වේ. හූ ෂීහ් බටහිර දර්ශනයන් සහ ප‍්‍රතිසංස්කරණාවදී සංකල්පයන් තුළ චීනය ගොඩනගන්නට න්‍යායික දැනුම සැපයූවෙකි. ඔහුගේ දර්ශනය එවකට චීන භීම සමය තුළ ගොඩනැගී තිබූ දේශපාලනික, ආර්ථික සහ සාමාජයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ බලාපොරොත්තු හරහා මතුවූවකි. නමුත් එකී මතවාදයන් ලාංකීය සමාජයීය, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික පදනමට සමීප කිරීම ප‍්‍රායෝගිකව ගැටලු සහගතය. 

නිදසුනක් ලෙස වර්තමාන ශී‍්‍ර ලංකාව තුළ පූර්ණ ලිබරල්වාදී මාධ්‍ය භාවිතයක් කි‍්‍රයාත්මක කිරීම අපහසුවීම දැක්විය හැක. ඊට හේතුව මාධ්‍යය ආයතන දේශපාලනීකරණය වී තිබීමයි. එසේම වර්තමාන ලාංකීය ජනමාධ්‍ය තුළ උපයෝගීතාවාදී මාධ්‍ය භාවිතයක් දක්නට නොලැබේ. ඊට හේතුව සෑම මාධ්‍යක්ම තම හිමිකාරීත්වය සහ රටේ දේශපාලන බලය හිමි පාලන පංතියේ අභිලාෂයන්ට අනුව කි‍්‍රයාත්මක වීමයි. 

මරණයේ වෙළෙන්දාගේ ත්‍යාගය



1888 වර්ෂයේ එක්තරා දිනෙක ප‍්‍රංශ පුවත්පතක් ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නමැත්තෙකුගේ මරණය පිළිබඳ පුවතක් මුල් පිටුවෙහි පළ කර තිබුණි. ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ලෝකය එතෙක් නොදුටුව විරූ ආකාරයේ කාර්යක්ෂම පුපුරණ ද්‍රව්‍යයක් නිර්මාණය කරමින් අවි අයුධ සහ යුධ තාක්ෂණ කේෂ්ත‍්‍රය පණ ගන්වන්නට මූලික වූවායැයි සඳහන් කළ අදාළ පුවත්පත ‘වඩාත් වේගෙයෙන් මිනිසුන් මරා දැමිය හැකි ක‍්‍රම සොයාගත් ඇල්ෆ‍්‍රඩ නොබෙල් ඊයේ මියයන ලදි’ යැයි ද එහි සඳහන් කර තිබිණි. 

කෙසේ නමුත් පෙරකී ප‍්‍රංශ පුවත්පතට සිය ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් මූලිකම කාරණයක් වැරදී තිබිණි. නොබෙල් නමින් අයෙකු සැබවින්ම මියගොස් තිබුණා වුවද ඒ මියගිය තැනැත්තා ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නොවුණි. මියගොස් තිබුණේ ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ සහෝදරයෙකි.

ලෝකය තමා හඳුනාගන්නා ආකාරය සහ අනාගත ලෝකය තමාව සිහි කරනු ඇති ආකාරය පිළිබඳ සැබෑ වැටහීමක් ලබාගන්නට ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ට මේ වැරදීමකින් පළවූ පුවත්පත් ලිපිය ඉවහල් විය. පුවත්පතේ සඳහන් වූ ආකාරයටම තමා ලෝකයට පුපුරණ ද්‍රව්‍ය විකිණූ ‘මරණයේ වෙළෙන්දා’ පමණක් ම නොවේදැයි කල්පනා කළ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ලෝකය වෙනුවෙන් තමාට කළ හැකි වඩාත් යහපත් යමක් තිබේදැයි කල්පනාකිරීම ඇරඹීය. 

මේ කල්පනාව අවසන් වූයේ 1895 වසරේ නොවැම්බර් මස 27 වනදා එතෙක් ඔහු විසින් ලියා තිබූ ඔහුගේ අවසන් කැමති පත‍්‍රය වෙනස් කරන්නට ඔහුම කටයුතු යෙදීමෙනි. ලෝකයේ විවිධ කේෂ්ත‍්‍රයන් තුළ මානව වර්ගයා උදෙසා ඉහළම සේවයක් සිදුකළ විශිෂ්ඨතමයන් අගයකරමින් දෙන ත්‍යාගයක් ආරම්භකිරීම සඳහා තමාගේ සියලූ වත්කම් යොදාගන්නැයි පැරීසියේ දී ලියන ලද සිය නව අවසන් කැමති පත‍්‍රයේ සටහන් කරන්නට ඇල්ෆ‍්‍රඩ් නොබෙල් කටයුතු කළහ. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ වත්කමින් රජයට අයවිය යුතු බදු මුදල් සහ වෙනත් ගෙවීම් අයකරගත් පසුව ඉතිරිවූ 94% ක ප‍්‍රමාණයක් ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් ආරම්භ කරන්නැයි කී සුවිශිෂ්ඨතා ත්‍යාගය වෙනුවෙන් වෙන් විය. මේ මුදල් ප‍්‍රමාණය ස්වස් ක්‍රෝන 3,122,500 ක් හෙවත් එවකට අගයෙන් බි‍්‍රතාන්‍ය පවුම් 1,687,837 ක් තරම් සුවිශාල අගයක් විය.

ඇල්ෆ‍්‍රඩ් නොබෙල් සිය අවසන් කැමති පත‍්‍රයෙන් ආරම්භ කරන්නට කටයුතු යෙදුණු ඉහත කී සම්මාන ත්‍යාගය පිරිනැමීම 1901 වසරේදී ආරම්භ විය. ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමති පත‍්‍රයේ ඉල්ලා තිබූ ආකාරයට රසායන විද්‍යාව, සාහිත්‍ය, සාමය, භෞතික විද්‍යාව, කායික හෝ වෛද්‍ය විද්‍යාව යන විෂය කේෂ්ත‍්‍රයන්ට විශේෂිතව මානව වර්ගයා වෙනුවෙන් විශිෂ්ඨ දායකත්වයක් දැක්වූවන් උදෙසා මෙම ත්‍යාගය පිරිනමන්නට තීරණය විය. එවැනි ත්‍යාගයක් සම්බන්ධයෙන් අදහස ඉදිරිපත්කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් සැපයීම ද ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිදුකළ බැවින් ඔහුට ගෞරවයක් ලෙසින් එකී ත්‍යාගයට 'නොබෙල් ත්‍යාගය' යන නම යෙදීමට තීරණය විය.

ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමති පත‍්‍රයේ සඳහන් කාරණා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ඔහු වෙන් කළ මුදල් සහ සෙසු වත්කම් නිසි පරිදි කළමණාකරණයකිරීම උදෙසා 1900 වසරේ ජූනි මස 29 වන දා නොබෙල් පදනම (Nobel Foundation) නම් ආයතනය පෞද්ගලික ආයතනයක් වශයෙන් ආරම්භවේ. නොබෙල් ත්‍යාගය සම්බන්ධයෙන් මෙම නොබෙල් පදනම විසින් සිදුකරන කාර්ය හුදෙක්ම ආයෝජන සමාගමක කාර්යයට සමාන වේ. ඒ විසින් ආරම්භයේදී ඇල්ෆ‍්‍රඞ් නොබෙල් විසින් වෙන් කරන ලද මුදල විවිධ ආයෝජන සහ වත්කම් ඉපැයීම් මාර්ගවල යොදවමින් නොබෙල් ත්‍යාගය වසරක් පාසා ප‍්‍රදානය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යම ස්ථාවරත්වය පවත්වාගෙන යාමත් සෙසු පරිපාලන කාර්යයන්හි නිරතවීමත් සිදුකරයි. ඒ හැරුණුකොට ත්‍යාගය හිමිවන්නන් තීරණයකිරීම සම්බන්ධයෙන් නොබෙල් පදනම සම්බන්ධවීමක් සිදුනොවේ. 

ඒ ඒ විෂය කේෂ්ත‍්‍රයට අදාළව නොබෙල් ත්‍යාගය ලැබීම සඳහා සුදුසු පුද්ගලයන් නිර්දේශකිරීමට තීරණය කළ යුත්තේ කුමන ආයතනද යන්න ද ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිය අවසන් කැමති පත‍්‍රයෙහි සඳහන් කර තිබේ. ඒ අනුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, විෂය කේෂ්ත‍්‍රයන්හි නොබෙල් ත්‍යාගය සඳහා වන නොබෙල් අනුස්මරණ ත්‍යාගය සඳහා විශිෂ්ඨතමයන් නිර්දේශකිරීමත් ස්වීඩන් රාජකීය විද්‍යා ඇකඩමිය විසින් සිදුකරනු ලබයි. මීට අමතරව ආර්ථික විද්‍යා කේෂ්ත්‍රයන්හි විශිෂ්ඨයන් සඳහා පිරිනැමෙන නොබෙල් අනුස්මරණ ත්‍යාගය සඳහා පුද්ගලයන් නිර්දේශකිරීමේ වගකීමද රාජකීය විද්‍යා ඇකඩමිය විසින් දරන ලැබේ (ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් අනුස්මරණ ත්‍යාගය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිය අවසන් කැමති පත‍්‍රය හරහා නිර්මාණය කළ එකක් නොවේ. එය 1968 වර්ෂයේදී ස්වීඩන් මහ බැංකුව විසින් ස්ථාපිත කරන ලද්දකි). කායික විද්‍යා හෝ වෛද්‍ය විද්‍යා කේෂ්ත‍්‍රයෙන් නොබෙල් ත්‍යාගය ලබාදීම කැරොලින්ස්කා අධ්‍යාපන ආයතනයෙහි නොබෙල් පර්ෂදය විසින් සිදුකරනු ලබයි. සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය සඳහා සුදුස්සන් නිර්දේශකිරීම ස්වීඩනයේ පැරණිතම රාජකීය විද්‍යායතනයක් වන ස්ටොක්හෝම්හි ස්වීඩන් ඇකඩමිය විසින් සිදුකරනු ලබයි. නොබෙල් සාම ත්‍යාගය ලැබීම සඳහා සුදුසු පුද්ගලයන් නිර්දේශකිරීම සහ තෝරාගැනීම නෝර්වීජියානු පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් සිදුකරනු ලබයි.

අද වනවිට අවස්ථා 573 ක දී පුද්ගලයන් ආසන්න වශයෙන් 870 දෙනෙකුට මෙකී නොබෙල් ත්‍යාගය හිමිව ඇත. ඒ අතරින් පුද්ගලයන් 821 දෙනෙකු පිරිමි අයවලුන් වන අතර නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත්ව ඇති කාන්තාවන් ගණන 49 කි. මේ සෑම සම්මාන ලාභියෙකුටම ග‍්‍රෑම් 48 ක බරින් යුත් කැරට් 24 රන් පදක්කමක් සහ නොබෙල් පදනම විසින් තීරණය කරනු ලබන ත්‍යාග මුදලක්ද ප‍්‍රදානය කෙරේ. මේ වනවිට සම්මානලාභියෙකුට හිමිවන මුදල ස්ව්ස් ක්‍රෝන මිලියන 08 ක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක අගයකි.

1901 වර්ෂයේ පිරිනැමුණු ප‍්‍රථම නොබෙල් ත්‍යාගය පුද්ගලයන් 06 දෙනෙකුට පිරිනමන ලදි. විල්හෙල්ම් කොන්රඩ් (Wilhelm Conrad Rontrgen) භෞතික විද්‍යා කේෂ්ත‍්‍රය සඳහාත් ‍ජාකෝබස් හෙන්රිකස් (Jacobus Henricus) රසායන විද්‍යා කේෂ්ත‍්‍රය සඳහාත්, එමිල් ඇඩෝල්ෆ් (Emil Adolf) වෛද්‍ය විද්‍යා කේෂ්ත‍්‍රය සඳහාත් ජීන් හෙන්රි (Jean Henry) සහ ෆෙඩ්‍රික් පාසි (Fedric Passy) යන අයවලුන් ලෝක සාමය සඳහාත් ප‍්‍රථම නොබෙල් ත්‍යාග දිනාගන්නා ලදි.

රවීන්ද්‍රනාත් තාගෝර් නොබෙල් ත්‍යාගය හිමිකරගත් ප‍්‍රථම ආසියාතිකයා වේ. සාහිත්‍ය කේෂ්ත‍්‍රයට කළ සේවය වෙනුවෙන් 1913 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය එතුමාට හිමිවිය. එක්වරකට වඩා නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා වන්නේ සුප‍්‍රසිද්ධ විද්‍යාඥවරියක වූ මාරි කියුරි මැතිණියයි. රේඩියම් මූලද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් කළ කාර්යභාරය වෙනුවෙන් 1903 වසරේ භෞතික විද්‍යාව සඳහා පිරිනැමුණු නොබෙල් ත්‍යාගයේ සම හිමිකරුවෙකු වන්නට ඇයට හැකිවිය (රේඩියම් මූලද්‍රව්‍යය සම්බන්ධයෙන් වූ විවිධ පර්යේෂණ සිදුකර තිබූ ඇන්ටෝනියෝ හෙන්රි බෙකරල් සහ පියරි කියුරි යන අය ඒ වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයේ සෙසු සම හිමිකරුවන් විය). පොලෝනියම් නම් විකිරණශීලී මූලද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙක් කළ කාර්යභාරය වෙනුවෙන් මාරි කියුරි මහත්මියට 1911 වසරේදී රසායන විද්‍යාව සඳහා පිරිනැමුණු නොබෙල් ත්‍යාගය ද හිමිවිය. 

2007 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවන් බවට පත්වන්නට එවකට ඇමරිකානු උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඇල්බර්ට් ආර්නෝල්ඞ් ගෝර් (අල් ගෝර්) මහතා සහ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන අන්තර්රාජ්‍ය පැනලය (Intergovernmental Panel for Climate Change - IPCC) සමත්විය. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන පැනලය (මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය ආශ‍්‍රිතව කි‍්‍රයාත්මක බුද්ධි මණ්ඩලයකි) වෙනුවෙන් නොබෙල් ත්‍යාගය භාරගැනීමේ අවස්ථාව එවකට එහි උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ශී‍්‍ර ලාංකිකයෙකු ද පිළිගත් භෞතික විද්‍යාඥයෙකු හා ආර්ථික විද්‍යාවේදියෙකු ද වන මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට හිමිවිය. සංවර්ධන උපක‍්‍රමවලදී දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් අවධානය දැක්විිය යුතු ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රතිපත්ති සම්පාදනයකිරීමෙහිලා මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා දැක්වූ දායකත්වය IPCC ආයතනය වෙත නොබෙල් ත්‍යාගය දිනාදීමට මූලිකවම හේතු වූවායැයි සැලකේ. ඒ අනුව නොබෙල් සම්මානයේ ගෞරවයට ශී‍්‍ර ලාංකිකයෙකු පාත‍්‍රවූ ප‍්‍රථම සහ මේ දක්වාත් එකම අවස්ථාව වශයෙන් 2007 නොබෙල් සාම ත්‍යාගය සැලකිය හැක. 

*        *        *        *  

ඇල්ෆ‍්‍රඩ් බර්නාඩ් නොබෙල් ‘නොබෙල් ත්‍යාගයේ’ නිර්මාතෘවරයා වෙයි. ඔහු ස්වීඩන් ජාතිකයෙකු වන අතර 1833 වර්ෂයේ ඔක්තෝබර් මස 21 වන දින ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ උපත ලබා ඇත. සාමාජිකයන් 08 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නාව උපත ලද ඇල්ෆ‍්‍රඩ් කුඩා කල පටන්ම ඉංජිනේරු තාක්ෂණ ශිල්පය වෙත වැඩි නැඹුරුවක් දැක්වූවෙකැයි සඳහන් වේ.

18 වන සහ 19 වන සියවස් ඝන, ද්‍රව සහ වායු සංඝටකයන්ගේ මිශ‍්‍රවීම් සහ ඒවායේ ප‍්‍රතිඵලයන් පිළිබඳව පර්යේෂණාත්මකව සෙයා බැලීමට මිනිසුන් වඩාත් උනන්දුවූ යුගයකි. ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ උපත සිදුවනුයේ මානව ඉතිහාසයේ එවැනි පසුබිමකය. 

ඇල්ෆ‍්‍රඩ්ගේ පියා ඉමෑනුවෙල් නොබෙල් ද එවැනි අත්හදා බැලීම්වල නිරත වූ ඉංජිනේරුවරයෙකු වූ අතර වෘතියෙන් අවිආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලා හිමියෙකු විය. කි‍්‍රමියානු යුධ සමයේදී (1853 - 1856) එංගලන්ත රාජකීය නාවික හමුදාව රුසියාවට ඇතුල්වීම වැලැක්වීම සඳහා ඉමෑනුවෙල් නොබෙල් විසින් රුසියානු හමුදාවට අවිආයුධ සපයන ලදි. වෙරළ තීරයන්හි වළලන ලද කුඩා ලී පෙට්ටිවල වෙඩි බෙහෙත් අසුරා නිර්මාණය කරන ලද බිම්බෝම්බ සහ දිය යටදී පුපුරුවා හැරිය හැකි බෝම්බ රුසියානු හමුදාව වෙත සැපයීම ඉමෑනුවෙල්ගේ අවි කම්හල් විසින් සිදුකරන ලදි. ඉමෑනුවෙල් නොබෙල් විසින් නිර්මාණය කරන ලද නොයෙක් පුපුරණ ද්‍රව්‍ය යුධ සමය නිසාවෙන්ම ඉහළ අලෙවියකින් යුක්ත විය. කෙසේ වෙතත් යුධ කාල සීමාවෙන් පසුව යුධෝපකරණ ගිවිසුම් අහෝසිව යාමත් සමග ඉමෑනුවෙල් නොබෙල්ගේ කර්මාන්ත ශාලා වැසී යන තත්ත්වයට පත්වේ. 

මේ කාල සීමාව වනවිට තරුණ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් තිබූ අතර පුපුරණශීලීතාවය ඉහළ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන පර්යේෂණාත්මක අධ්‍යනයන් වෙත ඔහු යොමුව තිබිණි. එක්සත් ජනපදයේ ගත කළ කාලයෙන් පසුව රසායන විද්‍යාව පිළිබඳ තවදුරටත් හැදෑරීමට ප‍්‍රංශය බලා යන ඔහු එහිදී ප‍්‍රථම වරට නයිට්‍රෝග්ලිසරින් නම් රසායන ද්‍රව්‍ය පිළිබඳ අවබෝධය ලබාගනී. 1847 වසරේදී ඇස්කොනිඩ් සොබ්රිරෝ නම් රසායන විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලද මෙම දහනකාරක රසායනිකය පුපුරණ ද්‍රව්‍යයක් වශයෙන් අතිශය පළදායී වූවත් පරිහරණයකිරීමත් ප‍්‍රවාහණයකිරීමත් ඉතා අසීරු කාර්යයක් විය. 

නයිට්‍රෝග්ලිසරින් ආශ‍්‍රයෙන් වඩාත් කාර්යක්ෂම සහ පරිහරණයට පහසු පුපුරණ ද්‍රව්‍යයන් නිර්මාණය කිරීමෙහිලා දිගින් දිගටම අවදානම් සහිත පර්යේෂණ රාශියක නියුතු වූ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ඒවා අතරතුර මරණීය අනතුරු කිහිපයකට ද මුහුණ දෙන ලදි. මෙවන් එක අනතුරක ප‍්‍රතිඵලයක් වශයෙන් ඇල්ෆ‍්‍රඩ්ගේ එක් සහෝදරයෙකු වූ එමිල් නොබෙල් ද මරණයට පත්විය. මේ සිදුවීම් නිසාවෙන් ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නයිට්‍රෝග්ලිසරින් ආශ‍්‍රයෙන් පරිහරණයට පහසු පුපුරණ ද්‍රව්‍යයන් නිර්මාණයකිරීම කෙරෙහි වඩවඩාත් යොමුවිය. 

ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ මේ පර්යේෂණ 1867 වර්ෂයේදී සාර්ථකත්වයට පත්වේ. පරිහරණයට පහසු නයිට්‍රෝග්ලිසරින් සංයෝගයක් නිෂ්පාදනයකිරීමට මේ වසරේදී ඔහු සමත්වේ. ඔහු නිෂ්පාදනය කළ මෙම සංයෝගය මූලික සංඝටක 03 කින් සැදුම් ලද්දකිි. එහි නයිට්‍රෝග්ලිසරින් සංඝටකයත්, මැටි ආශි‍්‍රත පාංශු සංඝටකයක් සහ සෝඩියම් කාබනේට් සංඝටකයක්ද ඇතුළත් විය. මෙම රසායනික මිශ‍්‍රණය ආරම්භයේදී හඳුන්වන ලද්දේ ‘නොබෙල්ගේ පුපුරණ කුඩු’ යන නමිනි.

ගී‍්‍රක භාෂාවෙන් ‘බලය’ යන අර්ථය දෙන ඩයිනමයිට් යන නම ඒ සඳහා ඉන් අනතුරුව යෙදිණි. එම වසරේදීම ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිය නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබාගන්නා ලදි. ලෝක කාර්මික පුනරුදයේ ආරම්භය වූ මේ අවධියෙහිදී ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ ඩයිනමයිට් නිෂ්පාදනය වාණිජ වශයෙන් අතිශය සාර්ථකවේ. 

පතල් කැණීම් මෙන්ම ඛණිජ ආශී‍්‍රත සෙසු කර්මාන්තවලටද මහා මාර්ග ෂහ උමං මාර්ග ඇතුළු ඉදිකිරීම් කේෂ්ත‍්‍රවලත් පිරිවැය අවමකිරීමට සමත්වන ඩයිනමයිට් සංයොගය ඒ කේෂ්ත‍්‍රයන්හි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්වේ. අවිආයුධ නිෂ්පාදන කේෂ්ත‍්‍රය පෙර නොවූ විරූ තරම් ප‍්‍රබලව නැග එන්නට ඩයිනමයිට් ප‍්‍රබල දායකත්වයක් සපයයි. ලෝක සංග‍්‍රාම කිහිපයකම අතිශය විනාශකාරී කාර්යයන් සිදුකළ ඩයිනමයිට් ලෝකයේ භාවිත වන පුපුරණ ද්‍රව්‍ය අතරින් පෙරටම එන්නටද සමත්ව ඇත. ඒ හරහා ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ ඩයිනමයිට් නිෂ්පාදනය ලෝකයට මරණය ගෙන එන නිෂ්පාදනයක් බවටත් ඇල්ෆ‍්‍රඩ් නොබෙල් මරණයේ වෙළෙන්දා බවටත් පත්විය.

ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් දිගින් දිගටම කළ පර්යේෂණයන්හි ප‍්‍රථිඵලයක් වශයෙන් 1876 වසරේදී ජෙලග්නයිට් නමැති ප‍්‍රබල දහනකාරක රසායනිකය සොයාගන්නට ද ඔහු සමත්වේ. වර්තමානයේ පවා රොකට් එන්ජින්වලට යොදාගන්නා දුම් රහිත දහනකාරකයක් වන බැලිස්ටයිට් නම් රසායනික සංයෝගය නිෂ්පාදනයට පවා ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ ඉහත පර්යේෂණ දායකව ඇත. 

ලෝකයේ බොහෝ නිපැයුම්වලට මාර්ගය සකසන්නට කටයුතු කළ මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන්නන් දිරිමත් කරන්නටත් තම පෞද්ගලික ධනය කැප කරමින් ලෝකය තුළ සදාතනිකව සිහිකරනු ලබන්නෙකු බවට පත්වූ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10 වන දින ඉතාලියේදී මියයන ලදි.




(Images were taken from; respectively - iflscience.com and nobelprize.org)

බිඳුණු කැමරාවෙන් කියැවුන යුද්ධයේ අැතුළාන්තය



අලුත ඉපදුනු තම පුතාගේ උපන් දින උත්සව වීඩියෝ කිරීමට පලස්තීන ගැමියෙකු වන එමාඩ් කැමරාවක් ගෙන එයි. නමුත් නොදැනුවත්වම ඔහු අතින් වීඩියෝ ගත වන රූප රාමු වෙනස්ම කථාන්දරයක් නිර්මානය කරයි. හුදෙක් තම පෞද්ගලික අරමුණක් ඉටු කර ගැනීමට ගෙනෙන කැමරාවක් ඔහු වෙසෙන සමාජ කන්ඩායමේ ඉරණම කවරක්දැයි අනිත් අයට කියා දෙන ප‍්‍රකාශන මාධ්‍යයක් බවට පත් වේ. 

අවස්ථා 05 කදී එමාඩ්ගේ කැමරාව ප‍්‍රහාරයන්ට ලක්ව විනාශ වේ. නමුත් නැවත ඔහු එම කැමරාව පිළිසකර කර ගනිමින් තම එදිනෙදා ජීවිතය රූපගත කරන්න කටයුතු කරනවා. අතරින් පතර රූප ගත කෙරෙන අසංවිධානාත්මක රූප රාමු තුල එමාඩ් ඇතුලු බහුතරයකගේ ජීවිත පැතිකඩ 5 Broken Cameras වාර්තා චිත‍්‍රපට මාධ්‍ය තුළ ප්‍රතිනිර්මානය කෙරෙනවා. 


කථාවේ බොහෝ සිදුවීම් සිදුවීමට බලපාන ප‍්‍රධාන සාධකය වෙන්නේ පලස්තීනය හා ඊශ්‍රායාලය අතර ඉදිවෙන දේශසීමා තාප්පය. මේ බාධකයට ගොඩනැගීම ආරම්භයේ සිට අවසානය දක්වා දේශසීමාවේ වෙසෙන වැසියන් තම සරු බිම් ඉල්ලා උද්ඝෝෂන වල නියැලෙනවා. එහි ප්‍රතිඵලය ප‍්‍රදේශවාසීන් හා දේශසීමා ආරක්ෂක හමුදාව අතර අැතිවන නිරන්තර ගැටුම්. සෑම ගැටුම්කාරී මොහොතකටම පෙර ඔවුන් සියල්ලෝම පල්ලියට ගොස් ආගම සිහිකිරීම සිදු කරයි. ඒ වගේම සටනට නායකත්වය දෙන පිරිස ප‍්‍රහාරයන්ට ලක්ව ජීවිතක්ෂයට පත් වූ විටත් ඔවුන් සියල්ලෝම යළිත් පල්ලිය තුළට එක් වී ශෝකය බෙදා ගන්නවා. පලස්තීන කුඩා දරුවන් පවා මෙම සටනේම කොටසක්. එක්තරා අවස්ථාවක එමාඩ් ගේ අවුරුදු තුනක් වයසැති කුඩාම පුතු පවා තම භූමිය ඉල්ලා කෙරෙන උද්ඝෝෂනයන්ට එක් වී කදුලු ගෑස් ප‍්‍රහාරයට ලක් වෙනවා. දැන් මේ සටන් කිරීම නැවැත්විය යුතුයි පේ‍්‍රක්ෂකයාට හැඟුනද දැනුනද පලස්තීන අරගලකරුවන් සහ ඊශ‍්‍රායල හමුදාව සටන් නැවැත්වීමක් සිදු කළේ නැහැ.  

අතරින් පතර වැඩුණු ඔලිව් ගස් සහ එමාඩ්ගේ පවුලේත් ගම් වැසියන් අතරත් ඉතාම සමීප සම්බන්දයක් පැවතුනා. ඒ නිසාමදෝ තම ගම්වැසියන් බොහෝමයකගේ ජීවිත විනාශ වෙද්දිත් ඔලිව් ගස් බේරා ගැනීමටත් ගිනි තබා විනාශ කල ඔලිව් ගස් වෙනුවට අළුත් ඔලිව් ගස් හිටවීමටත් ඔවුන් නොනවතින සටනක යෙදෙනවා. 

එමාඩ් එම සටනේදී රූපරාමු හසු කරගැනීමට තම කැමරාව ඔසවාගෙන සෑම තැනකටම ගමන් කරද්දි එකම ප‍්‍රදේශයක අයිතිය වෙනුවෙන් දෙරට අතර නිරන්තරයෙන් ඇතිව තිබුන අර්බුදයත් ජීවිත රාශියක් විනාශ කරදමමින් ඉදිරියට ගමන් කරා.

1948 වර්ශයේ මැයි මස 15 දින තෙක් ලෝක සිතියමේ සටහන් නොවූ ඊශ‍්‍රායලය යුදෙව්වන් සදහා වෙන් වූ රටක් ලෙසින් ලෝක සිතියමට එක් වීම මේ අර්බුදයේ ආරම්භය. පළමු ලෝක යුද්ධ සමයේ ජර්මනියට එරෙහිව ප‍්‍රංශයට සහයෝගය ලබා දෙමින් පලස්තීන වැසියන් යුදෙව්වරුන්ට පලස්තීන භූමියේ රුකවරණය ලබා දෙන ලදී. ඉන් අනතුරුව ප‍්‍රංශය මූලිකව පලස්තීනයෙන් කොටසක් ඊශ‍්‍රායලය ලෙස නම්කිරීමත් එය යුදෙව් ජාතිකයන්ගේ නිජබිම ලෙසින් ප‍්‍රකාශයට පත් කිරීමත් සිදුවෙනවා. නිජබිමක් වෙනුවෙන් ගැටෙන පලස්තීන්වරුන් සහ ඊශ‍්‍රායල්වරුන්ගේ ඓතිහාසික සටන ඇවිලෙන්නේ ඉන් අනතුරුව. 

5 Broken Cameras චිත‍්‍රපටය තුළ කියා පාන්නේ පලස්තීන්වරුන් තම සරු බිම් ඉල්ලා කෙරෙන නොනවතින සටනේ අැතුළාතන්තය. වෘතාන්ත චිත‍්‍රපටයකින් වාර්තා චිත‍්‍රපටයක් (Documentary film) වෙනස් වන නිසඟ ලක්ෂණ මේ තුළ අන්තර්ගත වන අාකාරයට සත්‍ය සිදුවීම් පාදක කර ගෙන රූප ගත කරන්නට එමාඩ් නැමැති පුද්ගලයා සමත්ව තිබෙනවා

1980 වර්ෂයේ නිකුත් වූ The International film encyclopedia වෙහි සඳහන් වන පරිදි වාර්තා චිත්‍රපටයක් යනු සැබෑ මිනිසුන් සහ සත්‍ය සිදුවීම් අලාලා නිර්මිත චිත්‍රපටයකි. 

වාර්තා චිත්‍රපටයක අන්තර්ගතය වන්නේ සැබෑ සිද්ධි සහ සැබෑ චරිත නිසාත් නිර්මාණාත්මක ස්වභාවයට වඩා සිද්ධියක්/අත්දැකීමක් සෘජුව සන්නිවේදනයකරලීම කෙරෙහි එවැන්නක වැඩි අවධානය යොමුවන නිසාත් වාර්තා චිත්‍රපටයකට සෙසු චිත්‍රපටයකට වඩා ප්‍රබල ලෙස ප්‍රේක්ෂක අවධානය ග්‍රහණයකරගත හැකියි.

1900 වර්ෂයටත් පෙර සිටම ප්‍රංශ ජාතිකයන් තම චාරිකා සටහන් සහ උපදෙස් අාදිය අඩංගු ඕනෑම චිත්‍රපටයක් Documentary film යන නමින් හඳුන්වන්නට කටයුතු කළා. අැමරිකානු අාදි වාසීන්ගේ ජීවිත සහ අැන්ටාක්ටිකා මහාද්වීපය පිළිබඳ 1900 - 1920 කාල සීමා තුළ නිර්මාණය වුන චිත්‍රපට මුල්කාලීන වාර්තා චිත්‍රපට වශයෙන් සැලකෙනවා. 

වාර්තා චිත්‍රපට යන්නට යෙදෙන Documentary නම් වචනය ප්‍රංශ භාෂාවේ එන Docu සහ human යන වචන ද්විත්වයේ එකතුවෙන් බිහිවන ලදි. එහි අර්ථය වන්නේ මානව ගුණය පළ කෙරෙන ප්‍රකාශනය යන්න. 

1926 දී රොබර්ට් ෆ්ලැහර්ටි විසින් නිර්මාණය කළ Moana චිත්‍රපටය ප්‍රථම වතාවට ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් තුළ වාර්තා චිත්‍රපටයක් වශයෙන් හැඳින්වූ නිර්මාණය වශයෙන් සැලකේ. එකල එක්සත් ජනපදයේ පළවූ New York Sun පුවත්පත ෆ්ලැහර්ටිගේ නිර්මාණය පිළිබඳ විචාරයක් පළ කරමින් එය වාර්තා චිත්‍රපටයක් වශයෙන් හඳුන්වා දී තිබුනා. 

මේ අනුව වාර්තා චිත්‍රපටය සමකාලීන තොරතුරු වාර්තා කරන මූලාශ්‍රයක් ලෙසින් පැවත අාවක්. 

පළමුවන සහ දෙවැනි ලෝක යුද්ධයන් සමස්ත මිනිස් ප්‍රජාවගේම ජීවිතවලට ප්‍රබලතම බලපෑම් එල්ල කරන ලද යුධ ගැටුම්. ඒ නිසාවෙන්ම පශ්චාත් යුධ සමාජයන් තුළ වාර්තා චිත්‍රපට විශාල වශයෙන් බිහි විය. 

ජර්මන් ජාතික ලෙනී රයිෆෙන්ස්ටාල් (Leni Rifenstahl) නම් චිත්‍රපට අධ්‍යක්ෂිකාව මේ සම්බන්ධයෙන් සුවිශේෂිම අත්දැකිම් අැති නිර්මාණ ශිල්පිනියක්. අැය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්නේ නාසි ජර්මනියේ ප්‍රචාරණ යාන්ත්‍රණය වෙනුවෙන් (ප්‍රොපගැන්ඩාව) අැය නිර්මාණය කළ Triumph of the will නම් වාර්තා චිත්‍රපටයෙන්. 

ලෙනී පසුකාලිනව පවසා තිබුණා ජනතාවට යුද්ධයක් සඳහා තමන්ගේ මානසික තත්ත්වය ගොඩනගාගෙන නොතිබුන සමයක ඔවුන්ගේ මනස ඒ ඳහා පෙළඹවීමේ අරමුණ අැතිව වාර්තා චිත්‍රපටි නිර්මාණය කළ බව. ඒ අනුව ජර්මනිය වගේම මිත්‍ර පාර්ශවත් Why we fight සහ Olympia වැනි වාර්තා චිත්‍රපටි නිර්මාණය කරමින් යුද්ධයක් අැතිවීමට හේතු කාරණාවනුත් ඒ ඳහා අවශ්‍ය ජනතා සහයෝගයත් ලබා ගන්න උත්සාහ කළා. 

දේශපාලනික වශයෙන් අැතැම් සංවර්ධන ව්‍යාපෘති හඳුන්වාදීමේ කාර්යයෙදී වාර්තා චිත්‍රපටි ප්‍රබල දායකත්වයක් ලබා දී තිබෙනවා. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපද රජය 1938 වර්ෂයේ අාරම්භ කළ සංවර්ධන ව්‍යපෘති ජනතාවට හඳුන්වාදීම සඳහා ෆ්‍රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ අදහසකට අනුව The River නමින් වාර්තා චිත්‍රපටියක් බිහිවුණා. මෙය වාර්තා චිත්‍රපටියක් වශයෙන් අතිශය ජනප්‍රිය වූ නිසාම පසුව එළැඹි මැතිවරණ අවස්ථාවලදී රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලටත් එය යොදාගෙන තිබෙනවා. 

බිඳී යන එක් කැමරාවක් වෙනුවට තවත් කැමරාවක් ගෙනැවිත් එයද යුද්ධය දෙසට මානන එමාඩ් ඒනිසා වෙන්ම අවස්ථා කිහිපයකදීම ප‍්‍රහාරයන්ට ද ලක් වෙනවා. එක් අවස්ථාවක කැමරාවට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් ඔහු බරපතල තුවාලවලට ලක්ව ශල්‍යයකර්මයකට ද භාජනය කරන වෙන්නට එමාඩ් හට සිදුවෙනවා

5 Broken Cameras චිත‍්‍රපටය පලස්තීන ඊශ‍්‍රායලය දේශසීමාවේ ඇතිවෙන ගැටුම නිසාවෙන් පලස්තීන වැසියෙකු අත් විදින සැබෑ සිදුවීම් රූපයට ගැනීමක්. මෙම විත‍්‍රපටය  මුලුමනින්ම ගැටුම යන්නෙහි අතිශය සැබෑ අර්ථය චිත‍්‍රපට මාධ්‍යයකින් ප්‍රකාශවීමක් වන්නේ එයින්. 

(Image was taken from: Whyside)

ලෝකයේ විවිධ කුල ක්‍රමයන් පිළිබඳ විග්‍රහයක්


සංස්කෘතිය  බහුරූපී හා සංකීර්ණ ප‍්‍රපංචයකි. 1817 සිට 1919 දක්වා වන විට නිර්වචන 07ක් පමණක් තිබූ 'සංස්කෘතිය' 1950 දශකය වන විට නිර්වචන 157 දක්වා ඉහල යන ලදී. වර්තමානය වන විට එය 500 ඉක්මවා ගොස් ඇත. සංස්කෘතිය අධ්‍යයන විෂයක් වශයෙන් සංකීර්ණව  අැති තරම මෙන්ම මිනිස් ජීවිතය තුළ සංස්කෘතික සාධකය සංකීර්ණ වී අැති අාකාරයද මේ තත්ත්වයට දායකව අැත. දිනෙන් දින සංකීර්ණ වන සංස්කෘතිය අන්තර් සංස්කෘතික වශයෙන් අධ්‍යයනය කිරීම තුළින් ඒ ඒ සංකෘතීන්ට සුවිශේෂී ලක්ෂණයන් හදුනා ගැනීමට ද හැකිවනු අැතිවන අතර සංස්කෘතීයේ පවතින ගතිකයන් හා විචල්‍යයන් අන්තර් සංස්කෘතික වශයෙන් අවබෝධ කර ගැනීම ද එබැවින් පහසු වේ. 
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top