Loading...

සෙනසුරාදාවක සවස් වරුවක සුන්දර මීගමුවේ අමුතු වෙළ‍ඳපොලකට ගමනක්.


පසුගිය සෙනසුරාදා හවස් වරුවේ විවිධාකාර මිනිස්සු අතරින් මම ගෙඩවුනේ රටේ වෙනත් තැනක දකින්න නොලැබෙන ආකාරයේ අපූරු වෙළඳපොලකට - මීගමුවේ නයිට් බසාර් එකට.

මීගමුවේ මිනිස්සුන්ට ඒක බොහොම හුරුපුරුදු තැනක්. සතියේ හැම දවසකම ධීවර කර්මාන්තය ප‍්‍රධාන නොයෙක් කර්මාන්ත රැකී රක්ෂා ආදියෙහි නියැළෙමින් මුදල් සෙයන්න වෙහෙසවෙන මීගමුවේ මිනිස්සු සෙනසුරාදා නයිට් බසාර් එකට ගොඩ වෙන්නේ යමක් මිළදී ගන්නම විතරක් නෙවෙයි, හිතේ සතුටටත් එක්ක. කුඩා දරුවෙකුගේ පාසල් බෑගයේ සිට ගෙදරකට අවශ්‍ය සෑම භාණ්ඩයක්ම ඉතාම සාධාරණ මිලකට අලෙවි කරන මීගමුවේ නයිට් බසාර් එකේ ලංකාවේ වෙන කිසිම වෙළඳපොලක නැති නිදහසක් ගොඩනැගිලා තියෙන්නේ හරි අපූරු විදියට.

සතිය පුරාම රථ වාහන ගමනාගමනයෙන් පිරුණු මීගමුව දුම්රිය පළ පාර සෙනසුරාදා සවස්වරුවේ ඒ වාහනවලින් නිදහස් වෙලා නිස්කලංක වෙනවා. ලංකාව පුරාම ඉන්න වෙළෙන්දෝ ඉන් අනතුරුව ඇවිත් දුම්රිය පළ පාරේ බිම ටෙන්ට් රෙදි එළාගෙන වෙළදාමට සැරසෙනවා. ඒ අතරේ පාට පාට පැහැයෙන් කස ඇට පිරුණු සරුවත් වීදුරු ඇතැති සරුවත් වෙළෙන්දෝ, කුරුම්බා සහ තැඹිලි වෙළෙඳුන්, තේ බනිස් වෙළෙඳුන්, දුම්රිය පළ පාරේ එහාට මෙහාට පයින්ම ගමන් කරමින් තමන්ගේ වෙළඳාම කරගෙන යනවා. 

මීගමුව නගර මධ්‍යයේ වසර 20 ක පමණ කාලයක සිට සෑම සෙනසුරාදා දිනෙකම දහවල් 12 සිට මධ්‍යම රාති‍්‍රයත් පහුවෙනතෙක් මේ නිදහස් වෙළඳපොල පැවැත්වෙනවා. ඒ නිසාම මීගමුවේ ලොකු කුඩා කාටවත් නයිට් බසාර් කියන්නේ අමුතුවෙන් හඳුන්වලා දෙන්න  ඕන තැනක් නෙවෙයි. ඒ තරමට එය ලොකු කුඩා කා අතරත් දන්නා කියන ප‍්‍රසිද්ධ දෙයක්.

සුන්දර සහ එයටම ආවේණික අපූර්වත්වයකින් පිරණු මීගමුව නගරය මගහැරලා ගිහින් මීගමුවේ නයිට් බසාර් එක ගැන කතා කරන එක අසාධාරණයි කියලා මට හිතෙනවා.

රාවන රජතුමා සීතා කුමරිය පැහැරගෙන ආ අවස්ථාවේ සීතා කුමරිය සෙවීමට රාම කුමරු සහ ඔහුගේ සොහොයුරු ලක්ෂ්මන කුමරු ලංකාවට පැමැණි බව ඓතිහාසික කථාපුවත්වල සඳහන් වෙනවා. එම අවස්ථාවේ ඉන්ද්‍රජිත් නම් ලංකා සෙනවියා මොවුන් දෙදෙනාව අල්ලා ගෙන බලි පූජා සිදු කරන නිගම්බිල නම් ස්ථානයේ පිහිටි කමලා දෙව්දුවගේ දේවාලය තුළ සිරකරනු ලබනවා. රාවනා රාජධානියෙහි බිලිපූජා සඳහා වෙන්ව තිබූ මධ්‍යස්ථානය නිගම්බිල වූ බැවින් මේ ප‍්‍රදේශයට කොහොමටත් විශාල ආරක්ෂාවක් ලබා දෙන්න රාවන රජු කටයුතු කර තිබෙනවා. 

රාම ලක්ෂ්මන් දෙදෙනාව බිලිපූජාව සඳහා යොදා ගැනීමට සුදුසු කෙම්මුර දිනයක් එළැඹෙන තුරු ඉන්ද්‍රජිත් සෙනෙවියා ඔවුන් දෙදෙනාව මේ ස්ථානයේ රඳවා ගෙන තිබෙනවා. කෙම්මුර දිනය උදාවූ පසු බිලි පූජා වස්තූන් වන රාම සහ ලක්ෂ්මන් දෙදෙනාව නැහැවීමට ශුද්ධවූ ජලය ඇතැයි සැලකූ ජලාශය වෙත ගෙන යන අතර හනුමාන් ගෙම්බෙකුගේ වේශයක් ගෙන පැමිණ එකී ශුද්ධවූ ජලාශයට පැන එය අශුද්ධ කළ හෙයින් රාම සහ ලක්ෂ්මන් දෙදෙනාට නිදහස්ව යන්නට අවස්ථාව ලැබුණු බව ජන ශ‍්‍රැතියෙහි සඳහන් වෙනවා. එකල නිගම්බිල නමින් හැඳින්වූ මේ ප‍්‍රදේශය පසු කලෙක නිගම්බු යන නමින් වෙනස්ව ප‍්‍රකට වීම තමයි වර්තමානයේ මීගමුවට නිගම්බෝ යන නම ව්‍යවහාර වීමේ පසුබිම් කතාව. 

මීට අමතරව No Colombo කියන ඉංග්‍රීසි වචනවලින් නිගම්බෝ කියන නම බි‍ඳිලා ආවා කියලත් සමහර ලේඛනවල සඳහන් වෙනවා. මීගමුව කියන නම දෙමළ භාෂාවෙන් ව්‍යවහාර වෙන්නේ නීර්කොලුම්බු කියන ශබ්දයෙන්. මේ ‘නීර්’ කියන වචනයේ අර්ථය වතුර කියන එකයි කොලුම්බු කියන්නේ දෙමළ භාෂාවෙන් කොළඹ කියන වචනය උච්චරණය වන විදිහ.

මුලින් කී ජනශ්‍රැතියේ එන බිලිපූජාව සඳහා කැපකරන වස්තූන් හෝ පුද්ගලයන් ශුද්ධවූ ජලයෙන් සොදා පවිත‍්‍ර කිරීම සඳහා භාවිතා කළ ශුද්ධවූ ජලාශය කාමච්චි ඕඩය නමින් හඳුන්වා තිබෙනවා. ‘කාමච්චි’ යන්නෙන් අදහස් වෙන්නේ බිලි පූජාවන්ට අධිගෘහිතව සැලකුණු කමලා නම් දෙවඟන. ‘ ඕඩය’ යනුවෙන් අදහස් වෙන්නේ ජල තටාකයයි. ඒ අනුව කාමච්චි ඕඩය යන්නෙන් අදහස් වෙන්නේ ශුද්ධවූ ජලාශය වැනි අර්ථයක්. එදා නිගම්බිල නමින් හැඳින්වූ වර්තමාන මීගමුවේ මුහුදු වෙරළට ආසන්න ප‍්‍රදේශය අදටත් කාම්ච්චෝඩය ලෙසින් හඳුන්වනවා. සෑම ඉරිදා දිනෙකම මීගමුවේ ඉරිදා පෙළ පැවැත්වෙන්නේ කාමච්චෝඩයේ. 

මේ අපූරු නගරයට මීගමුව කියන නම ලැබීම පිළිබඳවත් අපූරු කතන්දර බොහොමයක් තිබෙනවා. ලංකාවේ මාගම ජනපදය පාලනය කළ කාවන්තිස්ස රජුගේ බිසව විහාරමහා දේවියට දරුවෙකු පිළිසිඳ ගැනීමත් සමග ඇයට ඇතිවූ දෙළදුකක් සන්සිඳුවන්නට අවශ්‍ය කළ සියක් රියනක මී වදයක් සොයාගත් ප‍්‍රදේශය මීගොමුව යන නම ලැබූබවත් මුහුදු වෙරළේ මුනින් අතට නැවූ මාළු නැවක මේ මී වදය පිහිටි බවත් ථූපවංශයේ සඳහන් වෙනවා. ඓතිහාසික සාධක අනුව දුටුගැමුණු රජතුමාගේ මංගල හස්ති රාජයා වූ කඩොල් ඇතාව සොයා ගන්නා ලද්දේ මීගමුව බෝලවලාන නම් ප‍්‍රදේශයේ පිහිටි කුරණ ග‍්‍රාමයේදී යැයි සැලකෙනවා. කුරණ යන්නෙහි අරුත මහා අලි කැලය යන්නයි. අදටත් මීගමුවේ කඩොල් කැලය නමැති ප‍්‍රදේශයක් තිබීම මේ ඉතිහාසගත කරුණුවලට සැපයෙන සාක්ෂියක්.

මෙරට සිංහල රජ සමය තුළ මීගමුවට හිමිව තිබූ වටිනාකම මේ හරහා පැහැදිලි වෙනවා. එය රාජ පරම්පරා කිහිපයකටම සමීපවූ ඓතිහාසික පුරවරයක්.

යටත් විජිත සමය තුළ, විශේෂයෙන් ලන්දේසි සහ ඉංගී‍්‍රසි යුගයන් තුළ කතෝලික ආගම මීගමුව ජනතාව අතර බහුලව ප‍්‍රචාරයව ගියා. මීගමුව පුරා ගොඩනැගුණු කතෝලික ආගමික උරුමයන් සහ වටිනාකම් නිසාවෙන්ම මීගමුව වඩාත් ප‍්‍රසිද්ධ ‘පුංචි රෝමය’ නමින්. මේ වනවිට මීගමුව ලංකාවේ ඇති විශේෂිත නගර අතරින් සුවිශේෂී තැනක් බවට පත්වී අවසන්. මීගමුව බහු ආගමික සහ බහු සංස්කෘතික ප‍්‍රදේශයක්. ඒ නිසාම එහි ගැවසීම හිතට අපූරුම හැඟීමක් එකතු කරනවා.

වසර 20 කට ආසන්න කාලයක සිට සෑම සෙනසුරාදා සවස් වරුවකම මීගමුවේ මිනිස්සු නයිට් බසාර් එකට ගොඩ වෙන්නේ ඔවුන්ගේ නොයෙකුත් භාණ්ඩ මිළදී ගැනීමේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට. නයිට් බසාර්හි වෙළෙන්දන් සාධාරණ මිළ ගනණ්වලට භාණ්ඩ වෙළඳාම් කරන බව හැම කෙනෙකුගේම හිතේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්නේ අවුරුදු ගනනක ඉඳලා. 



අලෙවියට තබා තිබුණු නිමි ඇඳුම් එකිනෙක සකස් කරමින් ලෝකයක් ජයගත්තු කෙනෙක් වගේ වෙළඳාම් කරමින් සිටි ජගත් මහත්තයා සමග කතා කරන්න අපි පොඩ්ඩකට නතරවුණා. 

මම වසර 16 කට ආසන්න කාලෙක ඉඳලා මීගමුව නයිට් බසාර් එකේ වෙළඳාම් කරනවා. මගේ ගම මාතර. මුලින්ම කුලියට කඩ කාමරයක් අරගෙන නැවතිලා, මුදල්වලට ඇඳුම් අරගෙන මේ රැකියාව කරන්න පටන් ගත්තා. ඉස්සර ඉඳලාම මීගමුවේ මිනිස්සු එක විදියටම නයිට් බසාර් එකට ගොඩ වෙන්න පුරුදුවෙලා හිටියා. දැන් මේක මීගමුවේ සංස්කෘතික අංගයක් බවට පත්වෙලා. මම වෙළඳාම් කරන්නේ කන්තා ඇඳුම්. හැම සෙනසුරාදා දවසකම වෙළඳාම හොඳට සිද්ධවෙනවා. ඒකට හේතුව හුඟාක් මිනිස්සු අපේ බඩු ගැන, මිල ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්න එක. අපි රෑ 12 වෙනකන් මේ විදිහට බඩු වෙළඳාම් කරනවා. රැකී රක්ෂාවලට යන අයට නිදහස තියෙන්නේ රාතී‍්‍ර කාලයේ. ඒ වෙලාවට හුඟක් අය එනවා අපි ළඟට. 

නයිට් බසාර් එකේ හැම වෙළෙන්ඳෙක්ම ඉතාම සහයෝගයෙන් සහ විනෝදයෙන් තමයි ඉන්නේ. ඒ නිසා මෙතන වංචනිකයන්ට ඉඩකඩ නැහැ. අපි හැමෝම හොඳ සෙවිල්ලෙන් ඉන්නේ, පාරිභෝගිකයන්ව ආරක්ෂා කරගන්න හොඳ අවධානයෙන් ඉන්නේ. අපේ වෙළ‍ඳාම හොඳයි, අද වෙද්දී ඒ නිසා මං මගේම කියලා ගෙයක් හදාගෙන, මෝටර් බයිසිකලේකුයි වාහනේකුයි අරගෙන, මටම කියලා ඇඳුම් මහන පිරිසකුත් තියාගෙන, මගේ දරුවට ජාත්‍යන්තර පාසකල අධ්‍යාපනය ලබාදීලා ඉතාම සතුටින් ඉන්නවා. මම හැමවෙලාවේම නයිට් බසාර් එකට ගොඩක් ආදරේ කරන්නේ අපේ ජීවිතේ ගොඩ නගන්නේ මේ නයිට් බසාර් එක නිසා.

ජගත් මහත්තයා අපිත් එක්ක කතා කරන අතරේ ඔහුගේ ඇඳුම් කඩයට ගොඩවුණු කාන්තාවක් ඇඳුම් තෝරන්න වුණා. තරමක් එහායින් මේස් බැනියම් වෙළඳාම කරන තරුණ වෙළෙන්දෙක් වහාම ඇවිත් අර කාන්තාවට ඇඳුම් තෝරගන්න උදව් කරලා වෙළඳාම සිදු කළේ තමන්ගේ වෙළඳාමක් සිදුකරන්නා වගේ උනන්දුවෙන්, ඒ වගේම මේ නයිට් බසාර් එකේ වෙළෙන්ඳන් අතර තියෙන සහයෝගය මොනවට පෙන්වා සිටිමින්.

ජගත් මහත්තයා මාත් එක්ක ආයෙත් කතා කරන්න පටන් ගත්තා. 

මේ නයිට් බසාර් එක වෙන වෙළඳපොලවල් වගේ නෙවෙයි, අපි හැමෝම එකට එකතු වෙලා සමිතියක් හදාගෙන ඉන්නේ. මරණෙකදී මගුලකදී අපි හැමෝම ඒ ගමනට එකතු වෙනවා. අලුතෙන් මෙහේ වෙළඳාම් කරන්න එන වෙළෙන්‍ෙඳ‍ෙකුට අපේ සමිතියෙන් අපි ණය මුදලක් ලබා දෙනවා. ඔහුගේ ජීවිතය සාර්ථක කරගන්න ඒක අපෙන් වෙන්න  ඕන යුතුකමක් විදියටයි අපි දකින්නේ. නයිට් බසාර් එක පුරාම ඒ සහයෝගය තියෙනවා. ඒ නිසායි අපි අදටත් මේ හැම දෙයක්ම හොඳින් කරගෙන යන්නේ. 

ලොකු හිතවත්කමකුත් එක්ක මම ජගත් මහත්තයාට සමුදීලා නයිට් බසාර් එක ඇතුළට ඇවිදගෙන යන්න පටන් ගත්තා. 



පාට පාට බොත්තම් බිම අතුරාගෙන විවිධාකාර රේන්ද, නිය ආලේපන, කොණ්ඩ කටු විකුණන වෙළඳාම් කරුවෙක් නයිට් බසාර් එකෙන් බඩුගන්න ඇවිත් හිටිය කාන්තාවන් බොහෝමයකගේ කැමැත්ත දිනාගෙන ඇති හැටි මට පෙනුනා. ඒ අතර පළතුරු වෙළෙන්දන්, පාවහන් වෙළෙන්දන් භාණ්ඩ මිළදීගන්න එන්න කියලා ආරාධනා කරනවා. 




මම මීගමුව නයිට් බසාර් එකට ආවේ මීට අවුරුදු 15 කට පමණ කලින්. මුලින්ම මීගමුව නයිට් බසාර් එක තිබුණේ ගී‍්‍රන්ස් පාරේ. එතන වාහන තදබදයත් එක්ක අපි දුම්රිය පොළ පාරේ වෙළඳාම් කරන්න පටන් ගත්තා. ඒ නිසාම සෙනසුරාදාට මේ පාරේ වාහන ගමනාගමනය නතර වෙනවා. නයිට් බසාර් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට හැමදාම එකවගේ හොඳ වෙළඳාමක් තිබීම. අපි හැමෝම මේ නිසා නයිට් බසාර් එකට ආදරේ කරනවා. 

මීට අවුරුදු 03 කට පමණ පෙර මේ නයිට් බසාර් එකෙන් මුදල් අයකරන්න මීගමුව නගර සභාවෙන් ටෙන්ඩර් ගත්තු මැරයින් පිරිසක් කටයුතු කළා. අපි ඒකට එක විදියට විරුද්ධව සටන් කළා. අන්තිමට ඒ අය පරාද වුණා, අපි දිනුවා. දැන් මීගමුව නගර සභාවේ අනුමැතිය ඇතිව ඉතාම සාධාරණ මුදලක් නගර සභාව අපෙන් ලබා ගන්නවා. අපි මෙතැන බිමට අඩියකට රුපියල් 40 ක් - අඩි 5 කට රුපියල් 200 ක් වගේ මුදලක් තමයි ගෙවන්නේ. මේ අතර රෑට අපිට විදුලියත් නගර සභාවෙන් ලබා දෙනවා. නයිට් බසාර් එකේ තමන්ගේ වෙළඳාමට හරියන ඉඩක් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ගොඩක් අය තමන් ගන්න බිමට ලෑලි දාලා ඉටි කොල එලලා වෙළඳාම කරගෙන යනවා. ඒ නිදහස තියෙනවා. අපි අතරේ තරඟයක් නැතිකම තමයි විශේෂත්වය. අපි හැම කෙනෙක්ම සාධාරණ මුදල ගැන හිතනවා. ඒ නිසා තරඟකාරී වෙළඳපොල කියන එක මෙතැනින් නැතිවෙලා ගිහින් සහයෝගය කියන එක එකතුවෙලා තියෙනවා. මෙතැනට පිටින් ඇවිත් වංචාවන් හොරකම් කරන්න කිසිම ඉඩක් නැහැ. ඒකට හේතුව අපි අතරේ තියෙන මේ සහයෝගය.

අපේ වෙළෙන්දෙක්ගේ හෝ වෙළ‍ෙන්දෙක්ගේ නෑදෑයෙකුගේ මරණයකදී අපි හැමෝම බස් එකක් අරගෙන යනවා. එහිදී රුපියල් 50000 ක මුදලකුත් රුපියල් 10000 ක වියළි ආහාර සලාකයකුත් අරන් දෙනවා, පාලම් කොඩි, කටවුට්, මරණ දැන්වීම් ආදිය කරගන්නත් උදව් කරනවා. ඒක අපේ සහෝදරයෙක් අසරණවුනාම ලොකු පිහිටක්. 

නයිට් බසාර් එකේ තියෙන මේ සමගිය සහයෝගය පිටට පෙනෙන්නේ නැහැ. ඒත් අපි හැමෝම එකා වගෙයි. මේක ඇතුළේ කඩදාසි බෑග් හදාගෙන, තේ හදාගෙන විකුණන, රටකජු පැකට් විකුණන, කපුරු බෝල - කටු කැරලි අතින් අරගෙන විකුණන මේ හැමෝම අයගෙන් අයගෙන් නයිට් බසාර් එක ඇතුළේ උප සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. මීගමුවේ නයිට් බසාර් එක මිනිස්සු දහස් ගණනකට විශාල සේවාවක් සිද්ධවෙන තැනක්. 

හරිම සංවේදීව අපිත් එක්ක ඒ වචන ටික බෙදා ගත්තේ නයිට් බසාර් එකේ ඇඳුම් වෙළඳාම් කරන හෙට්ටිආරච්චි. මුලින්ම මේ නයිට් බසාර් එකේ අඩි 05 ක දිග ඉඩක වෙළඳාමට ආපු ඔහු, අද අඩි 20 කට වඩා දිගින් යුතු ඉඩක විශාල ලෙස රෙදි වෙළඳාම සිදු කරන්නෙක්. බෙල්ලේ කුරුසයකුයි ධර්ම චක‍්‍රයකුයි දෙකම එල්ලා ගෙන සිටි ඔහු හරියටම මේ බහු ආගමික පසුබිමක් තියෙන මීගමුවේ විවිධ ආගම් සහ සංස්කෘතීන් අතර තියෙන සබැඳියාවේ පිළිඹිබුවක් වගේ නේද කියලා මට හිතුනා.

නයිට් බසාර් එකට යන පාරේ ආසන්නයේ විවිධ වර්ගයේ පත්තර එල්ලා ඇති පත්තර කඩයක කුඩා කවුලුවකින් පත්තරයක් මිලට ගැනීමට එන ගනුදෙනුකරුවෙකු බලාපොරොත්තුවෙන් දිලිසෙන ඇස් ඇතිව බලා සිටින මයිකල් අයියා එක්කත් කතා කරන්න අපි අමතක කළේ නැහැ.

මම මීගමුවෙට ආවේ 71 කැරැල්ලටත් කලින්. භීෂණය බොහොම දරුණු කාලෙත් වෙනත් ප‍්‍රදේශවලට වඩා මීගමුව බොහොම නිශ්ශබ්ද තැනක්. අපේ ජීවිත බොහෝමයක් මීගමුව නගරය නිසා බේරුනා. අපි ඒ නිසා අපේ ජීවිත ආරක්ෂා කරපු මීගමුව කවදාවත් අතෑරලා දාලා ගියේ නැහැ. මිනිහෙකුට දියුණු වෙන්න  ඕන සම්පත් බොහෝමයක් තියෙන තැනක් තමයි මීගමුව. මීගමුව වාසනාවන්ත තැනක්. 

මේ ආර්ථික ශක්තියෙන් යුතු නගරය තවත් ශක්තිමත් කරපු දේ තමයි මීගමුවේ නයිට් බසාර් එක. මීට අවුරුදු 20 කට විතර කලින්  මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකුගේ සංකල්පයක් විදියට තමයි නයිට් බසාර් එක බිහිවෙලා තියෙන්නේ. මේ නිසා නගරයෙන් පිට තිබුණු විශාල ආර්ථික සම්පත් ප‍්‍රමාණයක් මීගමුව තුළට ගලා ඒමට පටන් ගත්තා. සෑම සෙනසුරාදා දවසකම මීගමුව ජනාකීර්ණ වෙනවා. ඒ නිසා එහි වෙළඳාම් කරන මමත් ඇතුළු හැම වෙළෙන්ඳෙක්ම හොඳ ආදායමක් ලබනවා. ඒකට එකම හේතුව සෙනසුරාදා හවස් වරුවේ නයිට් බසාර් එක පැවැත්වීම. මීගමුවට දැන් නයිට් බසාර් එක විශාල ශක්තියක්, ඒ වගේම ආලෝකයක්. 




ඉස්සර පුංචි කාලේ අම්මගේ අතේ එල්ලිලා නයිට් බසාර් එකට ගොඩවුණු වෙලාවේ මගේ හිත අල්ලගත්තේ පුංචි පුංචි පාට පාට වළළු මාල. ඒත් එ්කාලේ මම කවමදාකවත් නයිට් බසාර් එක මීගමුවේ සංස්කෘතියේ අංගයක් කියලා දැනගෙන හිටියේ නැහැ. ඒත් අද නයිට් බසාර් එක මීගමුවේම කොටසක් කියලා නයිට් බසාර් එක ඇතුළේ ගෙවුනු මේ පැය කිහිපය තුළදී හොඳින්ම තේරුම් ගත්තා. 

නයිට් බසාර් එකේ හැමෝටම සිතින් සමු දුන්නු මම 240 මීගමුව - කොළඹ බස් එකට ගොඩවුනේ තවත් සෙනසුරාදා දවසක නයිට් බසාර් එකට ගොඩවෙන්න හිතාගෙන. 

author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

33 comments

වටින විස්තරයක් දිලිනි, මේ ගොඩක් විස්තර දැන ගත්තෙ අදයි. විශේෂෙන් අර රාමාගෙ කතාව.

හැබැයි ලඟදිම මීගමුවට අපරාධ වැඩි නිසාම සයිරන් නළා සවි කරන ආරංචියකුත් තියෙනවා නේද? එහෙම උනොත් නම් මීගමුවටම කණකෝකා හඬයි (මගෙ පෞද්ගලික මතය අනුව)

කොහොම උනත් මේ වෙළෙන්දො තුල නම් පුදුමාකාර එකතුවකින් ඉන්න හැඩයි. ඒක අනික් ක්ෂේත්‍ර වල අයටත් ආදර්ශයක්.

Reply

මීගමුවට නිගම්බො කියල හැදුන හැටි මම නම් අහල නියෙන්නෙ වෙන කතාවක්ග මෙහෙමයි, ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ සුදු මහත්තයෙක් ගියාලු ඔය මීගමුව පැත්තෙ තමන්ගෙ භාෂා පරිවර්තකයක් එක්ක. එහෙම යන කොට අහල පහල බල්ලෙක් බොක් බොක් ගානව ඇහිල තියෙනවා. සුද්ද භාෂා පරිවරිතකගෙන් අහල why these dog barking කියල. මෑන් ලඟ හිටපු ගැමියෙක්ගෙන් ඇහුවලු මොකද මේ බල්ලො බුරන්නෙ කියල. ගැමිය කියල මේ මුන් නිකන් බුක් ගානව කියල. ඔහොම කමයිලු නිකන් බුක් නිගම්බො වෙලා තියෙන්නෙ.

Reply

ඔවු මේ දවස්වල මීගමුවෙන් ඇහෙන්නෙම අපරාධ ගැන විතරනේ. මේ වෙළෙන්දෝ ගොඩක් අය අවුරුදු 10 ක් 15 ක් වෙළඳම් කරන අය, ඒ නිසා ඒ ගොල්ලෝ ගොඩක් එකිනෙකාට සමීප වෙලා තියෙනවා

Reply

මේක මේ විහිලුවට කියන කතාවක් නේද? :D

Reply

වහිලුවටද ඇත්තටද කියන්න හරියටම දන්නෙ න නගෝ. හැබැයි එහෙම කතාවක් තියෙනවා. ඔය කෑගල්ලට කේගෝල් කියල හැදුනෙත්, ඔයවගේ සුදු ආණ්ඩුකාරවරයෙකුට කෑගල්ල ශබ්ද වෙලා තියෙන විදියටයි කියනවනේ. මොකද කියනවනම් අපේ රටේ ගම් වලට ඉංගිරිස් නම් දැම්මෙ සුදු ජාතිකයොමනේ. සුද්දො අපේ ඉතිහාසෙ හොය හොය නම් දාල නෑ මං අහල තියෙන විදියට නම්.

Reply

ඔව් තෙලිදිය ඔයා හරි. නුවරට කැන්ඩි කියන නම වැටුනෙත් ඔය සුද්දාට වැරදිච්ච හින්දානේ. මම හොයාගත්ත විදියට නිගම්බෝ කියන්නේ ඉංග්‍රීසියෙන් බිඳිලා එන නමක් නෙවෙයි. ඒක නිගම්බිල කියන පැරණි සිංහල වචනෙන් බිඳිලා එන එකක්. ඔය විදියෙම කතාවක් තියෙනවා හලාවතට Chillaw කියලා වැටුනේ සුද්දා ‘රිලව්‘ වචනය කියන්න ගිහින් කියලා.

Reply

ඔය ගම් වල නම් ගැන කියද්දි මට තව කතාවක් මතක් වුණා. කිසිම ගමකට අයිති නැති දුම්රිය නැවතුම්පලක් ලෝකෙ තියනවා දන්නවද ඒ කොහෙද කියලා. දුම්රිය නැවතුම්පලේ නම තමයි "නො.1" නොහොත් No.1. මේක තියෙන්නෙ වස්කඩුව කියන ගමේ මායිමේ. අල්ලපු ගම තමයි පොතුපිටිය. ගම් දෙකේ මිනිස්සු මේ දුම්රිය නැවතුම්පලේ නාම පුවරුවට රණ්ඩු වෙලා අන්තිමට සුද්දා තීරණය කරල නො.1 කියල නම වෙනස් කරන්න. ලෝකෙටම එකයි මේවගේ නමක් තියෙන දුම්රිය නැවතුම්පලක් තියෙන්නෙ.

Reply

හොඳ විස්තරයක්. රාම කතාව අත්හැරල කියෙව්ව :-)

"නයිට්....." නම තියන බොහෝ දේවල් ලංකාවට අවශ්‍ය දේවල්. නමුත් හරියට වෙලාවට ඉර පායන බහින ලංකාවෙ තවමත් ප්‍රචලිත නැති දේවල්. නමුත් මේ යන ආර්ථික තත්වයත් එක්ක ඔය දේවල් පැතිරෙන්න ඉඩ තියනව. ඒ වගේම වාර්ගික ආගමික ගෝත්‍රික ගති අයින්වෙන්නත් මේ නයිට් සංස්කෘතිය යොදාගන්න පුළුවන්.

Reply

නිකන් බුක් නිගම්බො :-) :-)

Reply

ඇයි ඒ රාමා කතාව අත්හැරලා කියෙව්වේ ? :)

Reply

ඔව් කැසිනෝ ව්‍යාපෘති වගේ දේවල් එක්ක ඔබ කියනවා වගේ ඉදිරියේදී රටේ ‘නයිට්‘ සංකල්පයට අයිති දේවල් වේගයෙන් පැතිරී යාවි. දැන් රටේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය සංචාරකයන්ට මූලිකත්වය දෙන එකක් නේ, එහෙම එකකට ඒ වගේ දේවල් අත්‍යවශ්‍යයි. අනික් අතට ලාංකිකයන්ගේ දහවල් දවස ගොඩක් කාර්යබහුල වෙද්දී නයිට් බසාර් වගේ දේවල අවශ්‍යතාවය තව තවත් වැඩි වෙනවා

Reply

මේ පත්තර වල මේ දවස්වල තියන විකාර නිසා "ඓතිහාසික" මොකක් දැක්කත් වමනෙ එනව :-)

Reply

කොහෙද අපේ අය එක්ක බැහැනේ අයියේ, හැමදේටම විරුද්ධ වෙනවනේ..

මාත් ඔය නයිට් බසාර් එකට ගිහින් තියෙනවා පොඩි කාලේ තාත්තා එක්ක, මිගමුව අපිටත් කිට්ටුයි. ඔය වගේම එකක් ජා ඇලත් තියෙනවා . ඉතිහාස කතාව දැනගත්තේ අද. වෙළෙන්දෝ ගැන මගේ හිතේ තියෙන්නේ හරිම දුකක්, කළු වෙච්ච ,රැවුල වැවිච්ච වෙළෙන්දෙක් දකිද්දී මට පේන්නේ එයාගේ දරුවන්ගේ මුණු, ඒ පවුල ජිවත් වෙන විදිය. :(

Reply

ඕං මාත් ආවා. ෆලෝ කරන්න බැරි අවුලක් ආවානේ... ජය

Reply

සාදරයෙන් පිළිගන්නවා. ෆලෝ කරන්න බැරිවුනාද ? පසුව ආයෙත් වතාවක් උත්සාහ කරලා බලන්න :)

Reply

ඔයා ජාඇලද ? :)
ගොඩක් වෙළෙන්දොන්ගේ ජීවිත එහෙම තමයි, ලස්සන ලස්සන දේවල් විකුණුවාට ජීවිත ලස්සන නෑ

Reply

මම දැක්කා මේ ලිපිය මේ සතියේ රාවය පත්තරේ තියෙනවා.මේ 11 වෙනිදා රාවය පත්තරේ. ඒත් ඔබ මෙම ලිපිය මෙතන බ්ලොග් එකේ දමා තිබෙන්නේ ඊට දින කිහිපයකටම කලින්. පුවත් පතක පලවීමට නියමිත ලිපියක් මේ වගේ කලින් පල කරන එක සුදුසු නෑ.

එක්කෝ රාවය පත්තරේ පිට වුවාට පසු,එළබෙන සදුදා දිනයේ මෙවැනි ලිපි පල කරන්න. රාවය පුවත්පතටම ලිපි ලියනා සිව්මංසල කොලු ගැටයා ඔහුගේ ලිපි බ්ලොග් අඩවියේ පළකරනා අයුරු නිරීක්ෂණය කරන්න.

Reply

නැහැ දිලිනි මිනුවන්ගොඩ මං ඉන්නේ.

Reply

බොහොම ස්තූතියි. මගේ අතින් වරදක් වෙලා තියෙනවා, ඒක පෙන්වා දුන්නට ඔබට නැවතත් ස්තූතියි. ඉදිරියට ඔබ කියපු විදියට කටයුතු කරන්නම් :)

Reply

මීහමුව ගැන අපූරු ලිපිය, අපේ පොත එක නං ඉතින් බීච් එක තමා, අපි ඉතින් මිනිස් ජීවිතත් එක්ක ගටුනට මේ තරම් රිසර්ච් කරන්න යන නෑ නේ, අපූරු රිසර්ච් එක. ඔන්න මත ආවෝ, එහෙනං ජය වේවා.

Reply

බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට :)

Reply

Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

Reply

ඇනෝ,
ඕක සාම්ප්‍රදායික (වැඩකට නැති) කේස් එකක්නේ. මාත් දැක්ක ලිපි දෙකම. ඉස්සෙල්ල රාවයට දාන්න කියන උදවිය කියන්නෙ මේ මාධ්‍ය දෙකෙන් අධිපති මාධ්‍ය පුවත්පත් මාධ්‍ය කියන එකනේ. අනෙකුත් මුද්‍රිත මාධ්‍යවල තත්වය මොකක් උනත් (ඒව රාවයට වැඩිය සෑහෙන්න වෙනස්) රාවයට ඒක අවුලක් කියල මම නං හිතන්නෙ නෑ.

Reply

අධිපති මාධ්‍ය පුවත්පත් මාධ්‍ය කියන එක මම කියලා නෑ රාජ්.
ඒත් මම පෞද්ගලිකව දන්නවා වික්ටර් අයිවන් ලොක්කා කැමති නෑ පත්තරේ ලිපි කලින්ම වෙබ් සයිට් වල යනවට. මේ කෙනාට ඉදිරියට රස්සාව කරගෙන ඉන්න ඕනි හින්ද උපදෙසක් මම දුන්නේ. කැමති නං මේ විදියට දිගටම කටයුතු කරන්න කියන්න. මට ප්‍රශ්නයක් නෑ.

Reply

මම නම් මේ ගැන විස්තරයක් ඇහුවමයි. ඔක්කොටම වඩා හිත ගියේ අර වෙළෙන්දන් අතර තියන එකමුතුකම ගැන. ඒක නම් බොහොම වටිනවා. මීගමුව හොඳට සල්ලි ගැවසෙන නගරයක් තමයි. සමහරවිට අපරාධ වැඩිවෙන්න ඒකත් බලපානවා ඇති. මුහුදෙන් යන්න එන්න පුළුවන් එකත් තව හේතුවක් වෙන්න ඇති.

Reply

මීගමුව පැත්තේ ගියොත් නයිට් බසාර් එකට ගොඩවෙලා එන්න. මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන එකත් අපරාධවලට හේතුවක් වෙන්න ඇති. ඒත් මටනම් හිතෙන්නේ මේ අපරාධ එක පිරිසකගේ වැඩක් තිසර

Reply

මිගමුව ගැන මේ තරම් විස්තර ඇහුවමයි මේ .., ගම වලට නම් හැදුනු විදිය ගැනත් හරි ලස්සන කතන්දර තියෙනවා නේද ..

Reply

ඔව් ඔව්. දැන් ඔය තෙලිදිය එහෙම දාලා තියෙන්නේ හොඳ හොඳ විස්තර ටිකක් ගම්වලට නම් වැටුනු හැටි ගැන කියලා. මීගමුව ගැන තව රසවත් විස්තර ගොඩක් තියෙනවා. ඒවත් ලගදිම දාන්නම්

Reply

Happy to read something about my home town from far away.good job .keep it up dear.

Reply

//...කාවන්තිස්ස රජුගේ බිසව විහාරමහා දේවියට දරුවෙකු පිළිසිඳ ගැනීමත් සමග ඇයට ඇතිවූ දෙළදුකක් සන්සිඳුවන්නට අවශ්‍ය කළ සියක් රියනක මී වදයක් සොයාගත් ප‍්‍රදේශය මීගොමුව යන නම ලැබූබවත් මුහුදු වෙරළේ මුනින් අතට නැවූ මාළු නැවක මේ මී වදය පිහිටි බවත් ථූපවංශයේ සඳහන් වෙනවා...//

ථූපවංසයේ මේ කතාව තිබෙනවාද කියලා මට හරියටම නම් මතක නැහැ. ඒත් මේ කතාව විස්තර සහිතව තියෙන්නේ මහාවංසයේ. ඒ වගේමයි මේ කෘති දෙනෙක් වඩාත් පැරණි කෘතියත් මහාවංසයයි

Reply

ථුපවංශය මහාබෝධි වංශය වගේ පුරාතන ග්‍රන්ථ රචනා වුනේ මහාවංශයට පසුව සහ ඒ අනුසාරයෙන්. ඒනිසා සමහරවිට මේ කතාව මහාවංශයෙන් ථූපවංශයට එන්න ඇති.

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top