"මේ දවස්වල බලයෝ කෙලවල්ලෝ දැල්වලට අහුවෙනවා අඩුයි. නැත්නම් මෙතෙන්ට වැඩිපුරම එන්නේ උන් තමයි. මොකද පසුගිය දවස් ටිකේ පෝයනේ. හඳ කාලෙට නයිලෝන් දැල්වලට මාළු වැටෙන්නේ නැහැ. හඳ එළියට මාළු දැල් දිලිසෙනවා. එතකොට මාළු කූරයියෝ දැළ ළට කිට්ටු වෙන්නේ නැහැ. එදාට අපිට මාළු අස්වැන්න අඩුයි."
රූපස් ෆ‍්‍රැන්සිස් මහත්තයා බෝට්ටුවකින් සප්පරා මාළු තොගයක් ලෙල්ලමට බාන අතරේ අපේ කතාවට එකතුවුනේ එහෙමයි.
මීගමුව නගරයේ ඉඳලා 273 පිටිපන පාරේ කිලෝමීටර් 3 ක් පමණ එනවිට, මීගමුව මංකුලිය පාළම පහු කරනවාත් එක්කම මාළු වෙළඳාමට ප‍්‍රසිද්ධ මීගමුවේ මහ ලෙල්ලමයි. උදේ 3.30 පහුවෙලා තිබියදීත් නොයෙකුත් ධීවර ආම්පන්න රැගත් බෝට්ටු සිය ගණනක් මීගමුව ලෙල්ලමේ ජැටියට ලඟා වෙලා තිබුණු ආකාරය දකින්න ලැබුණා. ටූනා මාළු, කෙලවල්ලෝ, කොප්පරු, තෝරු සහ මෝරු මාළු තොග පිටින් එහා මෙහා ගෙනයමින් රූපස් ෆ‍්‍රැන්සිස් මහත්තයා මහා හයියෙන් මාළු වෙන්දේසිය පටන් ගත්තා. ගැනුම්කරුවනුත් මාළු වෙන්දේසිය වටේ වටවෙමින්, කේවල් කරමින් මාළු මිළට ගන්න අතරේ මාළු මිළ සටහන් කරගන්නා සටහන් පොතකුත් අතැතිව ෆ‍්‍රැන්සිස් මහත්තයා නැවත වතාවක් අපෙත් එක්ක කතාවට වැටුණා.
"දකුණු ආසියාවේ විශාලතම ආදායම් උපයන මතස්‍ය වෙළඳ මධ්‍යස්ථාන අතර මීගමුව මහ ලෙල්ලමට හිමිවන්නේ ඉහළම තැනක්. අවුරුදු 40 ක 50 ක ඉඳලා අපි ලෙල්ලම මේ විදියටමයි දකින්නේ.
මේ ඉඩම පිටිපන පල්ලියේ මීසමට අයිති ඉඩකමක්. මීගමුවේ ධීවරයන්ට මෙතන වෙළඳාම් කරන්න එදා ඉඳලා පල්ලියෙන් අවසර ලබා දීලා තිබුණා. පසුකාලීනව කුඩා ධීවර සමිති එකතුවෙලා ප‍්‍රාථමිගේ නමින් මහ ලෙල්ලම පරිපාලනය ගෙනයාමට සමිතියක් පිහිටුවාගනු ලැබුවා. අදටත් ලංකාවේ ඉහළම ආදායම් ලබල මතස්‍ය අලෙවි මධ්‍යස්ථානය මේක.
ලංකාවේ ඕනෑම ධීවරයෙකුට මීගමුවේ මහ ලෙල්ලමට ඇවිත් තමන්ගේ වෙළඳාම කරගෙන යන්න ඉඩකඩ තියෙනවා. මීගමුව බල ප‍්‍රදේශයේ බෝට්ටුවක රුපියල් ලක්ෂයක වටිනාකම ඇති මාළු තොගයකින් සමිතිය රුපියල් 1000 ක මුදලක් අය කරගන්නවා. වෙනත් ප‍්‍රදේශවලින් එන බෝට්ටුවක මාළු ආදායමෙන් 3% ක මුදලක් ලෙල්ලමේ පරිපාලනය නිසි ලෙස පවත්වාගෙන යාමට අය කරනු ලබනවා. අපිට මෙතැන ඒ් නිසා ලොකු පහසුවක්."
අපේ කතා බහ අතරතුර මාළු තොගයක් රැගත් තවත් බෝට්ටුවක් ජැටියට ලඟා වුණා. බෝට්ටුවේ සිටි තරුණයෙකු මාළු තොගය ලෙල්ලමට බාන අතරතුර අපිත් සමග කතාවට එකතු වුණා. ඔහු නමින් නලීන්.
"මාළු රස්සාව කාලෙන් කාලෙට වෙනස්. කාලෙකට එන්නේ පන්නේ මාළු, ඒ කියන්නේ දැල්වලට අහුවෙන මාළු වැඩිවෙනවා. තවත් කාලෙකට බෙලිකටු අමුණන පියාමැස්සෝ දැලෙන් ඇම අල්ලගෙන ලෝන් දැල් පාවිච්චි කරලා මාළු අල්ලනවා.
මේ දවස්වල වැඩිපුරම එන්නේ ටූනා මාළු. ඒ වගේම සප්පරා මාළු වගේ මාළු ජාති මේ කාලෙට වැඩිපුර අහුවෙනවා. මේ මාළු අපි ජර්මනියට එක්ස්පොර්ට් කරනවා. අද මිළට අනුව සප්පරා මාළු කිලෝවක් රුපියල් 600 ක මිළටත් ටූනා මාළු කිලෝවක් රුපියල් 775 ක මිළකටත් විකුණනවා.
වාරකන් - ඒ කියන්නේ මැයි මාසේ අග සහ ජූනි මාසේ මුල කාලවලට මාළු ටිකක් අඩුයි. මොකද මුහුද සැරයි. ධීවරයින් මුහුදු යන එකත් ටිකක් අඩුයි. ජූලි මාසේ අග අගෝස්තු මාසේ දැල් මාළු වැඩිපුර අහුවෙනවා. ඒ කාලෙට ධීවරයන්ට සරුයි. ආයෙමත් නත්තල් කාලෙට මාළු ලැබෙනවා අඩු වෙනවා.
අපි මාළු අල්ලන්න සති එකහමාරත් දෙකත් අතර කාලයක් මුහුදේ ඉන්නවා. අයිස් හොන්ඩර 100 ක් බෝට්ටුවේ ගහගන්නවා. රුපියල් 15000 ක විතර කෑම බඩුත් බෝට්ටුවට ලීටර් 500 ක විතර තෙල් ගහගෙන මුහුදු ගමන පටන් ගන්නවා. මාළු ඉන්න සරු බිම් තියෙන තැන් අපිට නාරා ආයතනයෙන් (ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය) කියනවා. හැම වෙලාවෙම මුහුදු සිතියමේ මාළුන්ගේ ගමන් මග ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා.
නාරා තාක්ෂණික ආයතනයේ මහත්තයෙක්ගේ ටෙලිෆොන් නම්බරයක් අපිට දීලා තියෙනවා. අපි ඒකට කතා කරලා තොරතුරු දැනගන්නවා. Colombo Radio එකෙන් සරු මාළු බිම් තියෙන ප‍්‍රදේශ ගැන ඒ හරහා දැන ගනන්වා. සමහර ධීවරයන්ගේ ලඟ Fish miner තියෙනවා. ඒවා මගින් මාළු ඉන්න පුළුවන් ප‍්‍රදේශයන් හොයා ගන්න පහසු වෙනවා. නමුත් අවුරුදු ගාණක් තිස්සේ මුහුදත් එක්ක හැප්පෙන අපි දවසේ උෂ්ණත්වය අනුව මාළු ගමන් කරන දිශාව ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා ඒ පළපුරුද්දත් එක්ක මාළු වැඩිපුර ඉන්න පැත්තට අපිත් යනවා, එහෙම ගිහින් මාළු අල්ල ගන්නවා."
ඈත මුහුද දෙස බලාගෙන නලීන් කියාගෙන කියාගෙන ගියා. ඔහු තමන්ගේ පියාගේ ඇවෑමෙන් පසුව මේ ධීවර රැකියාවට පැමිණි තරුණයෙක්. බෝට්ටු කිහපයකම අයිතිකරුවෙකු වූ ඔහු මේ මීගමුවේ ධීවර වෙළඳාම නිසාම ආර්ථික අතින් යහමින් ශක්තිමත් වූවෙක්.
ධීවර කර්මාන්තයේ යෙදෙන බොහොමයක් ලාංකික ධීවරයන්ට තම රැකියා සිදු කිරීමට ඇත්තේ දිවයින වටා සැතපුම් 200 කට ආසන්න වපසරියකින් යුත් මුහුදු ප‍්‍රදේශයක්. උතුරින් බැලූ විට මන්නාරමේ සිට කෝනේෂ්වරන් කන්ද දක්වා තියෙන්නේ මුහුදු සැතපුම් 26 ක් පමණයි. මේ අනුව ලාංකික ධීවරයන්ට අයිතිව තිබෙන්නේ නොගැඹුරු සීමිත මුහුදු තීරයක්. ඕනෑම මුහුදු සීමාවක ගැඹුර මත ලැබෙන මාළු අස්වැන්නේ විශාල වෙනසක් සිදුවෙනවා. වැඩි ගැඹුරක් ඇති මුහුදු තීරයකින් වැඩි මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒත් මීගමුව මුහුදු තීරයත් ඒ අපට ශී‍්‍ර ලංකාවේ මුහුදු කලාපයත් සාපෙක්ෂව ගැඹුරින් අඩු මුහුදු කලාපයක්. ඒ නිසාම මතස්‍ය අස්වැන්න සොයා ජාත්‍යන්තර මුහුදු තීරයට ඇතුළ්වීම මෙරට ධීවරයන්ගෙන් අතින් බොහෝවිට සිදුවෙනවා.
ලෙල්ලමේ ජැටියේ එක්තරා තැනක නවතා තිබුණු බෝට්ටුවකින් විශාල මෝරුන් තොගතයක් ලෙල්ලමට ගොඩ බාන්න පටන්ගෙන තිබුණා. දැනගන්න ලැබුණු විදියට ඩියේගෝ ගාසියා දූපත් ආසන්න මුහුදෙන් තමයි මේ මෝරුන් තොගය අල්ලලා දැන් මේ විදියට මීගමුවේ ලෙල්ලමට ගෙනැවිත් තිබෙන්නේ.
ඇත්තටම මේ ධීවරයන් මාස එකහමාරක් විතර බෝට්ටුවේ යන්න ඕන මෝරුන් වැනි විශේෂ මාළුන් ගැවසෙන තැන් හොයාගන්න. ලංකාවේ මුහුදු තීරයේ තියෙන මාළු ප‍්‍රමාණය හරිම සීමා සහිතයි. ඔවුන් ධීවර රස්සාව කරන්නේ දවස් 10 ක් 12 ක් වගේ කාලයක්, ඉතිරි මුලු කාලයම ගතවෙන්නේ මාළු තියෙන සරු බිම් සොයාගෙන යන එකටයි.
මේ ගමන හරිම භයානකයි. ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළ් වුන බව අහුවුණොත් ඔවුන්ගේ බෝට්ටු ඇතුලු සියලුම ධීවර ආම්පන්න බලධාරීන් විසින් රාජසන්තක කරනවා. ලෙල්ලමේ ධීවරයන් කිහිප දෙනෙකුටම ඒ දේ සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ට ලක්ෂ 25 ක පමණ දඩ ගහලා ඔවුන්ගේ ධීවර බෝට්ටු සියල්ලම ඔවුන්ට අහිමි කරලා. ඒ වගේ දඬුවමක් විඳින්න සිද්ධ වුණාම මේ මිනිස්සු මුළුමනින්ම අසරණ වන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රජයෙන් කියන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළ් වුණොත් ඒ දඬුවම්වලට යටත් වෙන්න සිද්ධවෙනවා කියලා. ඒත් වෙනත් රටවලින් ධීවරයන් අපේ මුහුදු සීමාවට විශාල වශයෙන් ඇතුළ් වෙලා ලංකාවේ මතස්‍ය සම්පත කොල්ලකෑම බාධාවක් නැතිවම සිද්ධ වෙනවා.
ඉන්දීය ධීවරයන්ට අයිති ‘දියකාවා’ කියන වර්ගයේ නැව් 20 කට ලංකාවේ මුහුදෙන් මාළු ලබා ගන්න ලංකා රජය අවසර දීලා තියෙනවා. ඒකෙන් තැලෙන්නේ කුඩා පරිමාණ ධීවරයන්. ‘දියකාවා’ නැවකින් දවසකට මාළු ටොන් 40 - 50 ක් විතර අල්ලාගන්නවා. ඒ තොගය එක් කිලෝවක් රුපියල් 10 කාලේ විකුණලා ඔවුන් විශාල ලාභයක් ලබා ගන්නවා. ඒ නැව්වලට අපේ රජය ලබා දීලා තියෙන පහසුකම් අපේ රටේ ධීවරයන්ට ලැබෙන්නේ නැහැ.
මාළුන්ගේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න මේ කියන විදේශීය නැව්වල නැව ඇතුළෙම ජල තටාක සවි කරලා තියෙනවා. ඒ වගේම වතුර අයිස් කර ගැනීමේ පහසුකම් ඒවායේ තියෙනවා. නමුත් අපේ ධීවරයන්ට අඩුම තරමේ ධීවර ආම්පන්න ටික ලබා ගන්නවත් රජයෙන් පහසුකම් සපයන්නේ නැහැ.
බෝට්ටුවෙන් ගේන මාළු හොඳ තත්ත්වයේ තොතිබුණොත් ඒ මාළු තොග වශයෙන් ගන්න සමාගම් ඒවා ආපසු එවනවා. ඒ වෙලාවට රුපියල් 800 කට විකුණන්න තිබුණු මාළු කිලෝවක් රුපියල් 400 කටත් වඩා අඩුවට සිල්ලර වෙළඳාමට වෙළඳාම් කරන්න දෙන්න වෙනවා. මේ ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරන්න මේ ධීවරයන් ඉහළ නිලධාරීන් හමුවෙන්න ගියහම ඔවුන්ට ලැබෙන එකම දේ අනවධානය.
ධීවර රැකියාවේ තියෙන අවිනිශ්චිතබවත් එක්ක ජීවිතයට ශක්තියක් එක්කරගෙන තමන්ගේ අඹුදරුවන් රැක ගන්න මුහුදු යන ඔවුන්ගේ හිත්වල ගොඩගැහිලා තියෙන වේදනාව සැබෑ කතාව ඒක.
දහසකුත් මෝටර් බෝට්ටු අතරේ රුවල් ඔරුවකුත් එහා මෙහා යන ආකාරය ඔය අතරේ දැකගන්න ලැබුණා. මේ රුවල් ඔරුව කරන්නේ විශේෂිත ධීවර කාර්යයක්. ඒ ඉස්සන් ඇල්ලීම.
මරිය මවුතුමියගේ රූපය ඇති කොන්තයක් බෙල්ලේ එල්ලාගෙන ඉස්සන් තොගයක් වෙළඳාම් කරමින් හිටිය මේරි ජෙනීටා කාර්මෙලා අපිත් එක්ක කතාවට එකතු වුණා.
"මුහුදේ මාළු අල්ලන ක‍්‍රම කිහිපයක් තියෙනවා. කෙලවල්ලෝ, බලයෝ වගේ මාළු අල්ලන්නේ පන්නෙන්. වතුරට යටින් තියෙන පතුල උඩට ඇමදාලා අල්ලන මාළු වර්ගත් ඉන්නවා. ඒ ක‍්‍රමේට කියන්නේ බස්සන පන්නේ කියලා. ඒ අතරේ මඬේ ඉන්න ඉස්සෝ අල්ලන රුවල් ඔරුත් තියෙනවා.
මීගමුව වෙරළ තීරයේ මඩ තියෙන ප‍්‍රදේශයක් තියෙනවා. ඒක ලෙල්ලම ලඟ ඉඳලා පොරුතොට මුස්ලිම් පල්ලිය ලඟටම තියෙනවා. ඒ හරියේ ගල් නැහැ. මඩත් එක්ක මිශ‍්‍රවුණු වැලි පසයි තියෙන්නේ. ඒ හරියේ මුහුදු ඉස්සෝ කියලා රතු පාට ඉස්සෙක් ඉන්නවා. උන් අල්ලන්න රුවල් ඔරුවලින් ගිහින් මේ මඩ තියෙන පසට දැල් බස්සනවා. හුළඟට රුවල ඇදීගෙන යද්දී දැලට ඉස්සෝ අහුවෙනවා. ඉස්සෝ අහුවෙන ප‍්‍රමාණය පොඩ්ඩයි, නමුත් ඉස්සොන්ගේ මිළ ඉහළයි. ඒ නිසා ලෙල්ලමේ ඉස්සෝ වෙළඳාමටත් හොඳ තැනක් හැදිලා තියෙනවා."
ලෙල්ලමේ පරිපාලනය භාරව වැඩ කරන ධීවර සමිතියේ සහකාර කළමණාකරු කැනීෂියස් ප‍්‍රනාන්දු මහතා අපිත් එක්ක බෙදාහදා ගත්ත අදහස් කිහිපයක් මෙතන සටහන් කරන්න බැරිවුණොත් ඒක ලොකු අඩුවක් වෙයි කියලා මට හිතුනා.
"ලංකාව පුරාම ඉන්න ධීවර වෙළෙන්දන් මෙතෙන්ට එනවා. ඔවුන්ට ලෙල්ලමේදී හොඳ මිළකට තමන්ගේ මාළු අස්වැන්න විකුණ ගන්න පුළුවන් වෙනවා. දවසකට කෝටි 10 ක විතර මුදලක් මේ වටේ හුවමාරු වෙනවා. බෝට්ටු අයිතිකරුවෝ, බ්‍රෝකර්කරුවෝ, එක එක සමාගම් වෙනුවෙන් මාළු මිළදී ගන්න එන නියෝජිතයෝත් එක්කම සිල්ලර වෙළඳාමේ යෙදන වෙළෙන්දොත් මේ අතරේ ඉන්නවා.
මේ වගේ ඉහළ ආදායම් ලබන මීගමුවේ ලෙල්ලමේ පරිපාලනය පවත්වාගෙන යන එක කොහොමටත් එදා ඉඳලාම හරිම අපහසු කාර්යයක්. මොකද මාළු වෙළෙන්දෝ එක්ක ගනුදෙනු කිරීම එක්තරා විදියකට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අපි පුළුවන් තරම් ඔවුන්ගේ ලාභයෙන් ඔවුන්ට වාසි සැලසෙන විදියට වැඩ කරන්න ඉඩ දීලා තියෙනවා. නමුත් සමහර වෙලාවට ඔවුන් මුදල් ගෙවීම් කිරීම පැහැරහැරීම නිසා ලෙල්ලමේ පරිපාලනයට වැයවන ජල බිල්, විදුලි බිල් ආදිය ගෙවීමට අපහහු වෙනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට අපි ගනුදෙනුකරුවන්ගේන් අයවිය යුතු මුදල අයකරගනිමින් ඔවුන්ට පහසුකම් ලබා දෙනවා.
මෙතැනදී අතරමැදියන් ලොකු මුදලක් ලබා ගන්නවා. ඒ නිසාම මේ ධීවරයෝ ලේලලමට තමන්ගේ ආදායමෙන් 3% ක් ලබා දෙන අතරේ බ්‍රෝකර්කරුවන්ට 2% ක් ලබා දෙනවා. ඒ නිසා ධීවරයන්ට ආදායමෙන් 5% ක පමණ ප‍්‍රමාණයක් වියදම් වෙනවා. ඒ නිසා බ්‍රෝකර්කරුවන්ට හසු නොවී හොඳ ආදායමක් ලබා ගන්න හැකිවෙන විදියට අපි හැම විටම ධීවරයන්ව දැනුවත් කරනවා."
ලෙල්ලම පුරාම සෑම දවසකම දකින්න ලැබෙන්නේ එකම විදියක කාර්යබහුල බවක්. ඒ නිසාම උදේ 3.30 ට මතස්‍ය අලෙවි සැලේ විදුලි බුබුළු දැල්වෙන්නටත් පෙර සිටම ගැනුම්කරුවන්ගෙන් හා ධීවරයන්ගෙන් මේ අවට පිරී යනවා. මේ එකතු වෙන ධීවර වෙළෙන්දන්ගේ සහ පාරිභෝගිකයන්ගේ සෙනග සහ ඒ කාර්යබහුලත්වය පසුදින පහන්වනතෙක්ම ඇදී යන්නේ මීගමුව නගරයටම ප‍්‍රබෝධයක් එකතු කරමින්. එහෙ මෙහේ දිවයමින් වෙළඳාම් කරන ශක්තිමත් බාහු යුගල ඇති ධීවරයන් සහ මාළු වෙළඳාම්කරුවන් වේගයෙන් අපි පසුකර යමින් ලොරි රථ කිහිපයකට අයිස් දමා ඒ මත පිළිවෙලට මාළු අසුරන ආකාරයත් ඔය අතරේ දැකගන්න ලැබුණා.
ධීවර රැකියාවෙන් තොර ජීවිතයක් ගැන සිහිනෙකින් හෝ නොසිතන මීගමුවේ ලේල්ලමේ ධීවරයන් මුහුදට වගේම ලේල්ලමටත් දක්වන්නේ අසීමිත ලැදියාවක්. මතස්‍ය සම්පත දේව මැණියන්ගෙන් තමන්ට ලැබුණු ත්‍යාගයක් ලෙස සලකමින් ජීවිත සරි කරගන්න දිවා රෑ නොබලා වෙහෙසවෙන මේ සවිමත් මිනිසුන්ට ස්තූති කරමින් මම ආපසු ගමන පටන් ගත්තා.
(Main Image was taken from Julian John ~ 500px.com)
13 comments
ඇත්තෙන්ම හොද ලිපියක් දිලිනි.
Replyඑක් දිනකදි කෝටි 10ක මාළු හුවමාරු වෙනවා කිව්වමත් පුදුමයි.
වැදගත් පෝස්ට් එකක්...
Replyමේ නයිලෝන් දැල් භාවිතයතහනම් කරල නේද තියෙන්න...
මට මතකයි එහෙම කතාවක්...
ඇත්තටම මේ කාරණා මේ තරම් සවිස්තරාත්මකව දැන් සිටියේ නෑ , හොඳ ගවේශනාත්මක ලිපියක් , ස්තුතියි
Replyබොහොම ස්තූතියි චතුරංග. මෙතනට එන ගොඩන් මාලු ලොකු සමාගම්වලින් මිලදී ගන්නවා. මේ කෝටි 10 ධීවරයන්ගේ අතටම යන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ ලාබය බොහොම සුලු එකක්
Replyඔව් මමත් එහෙම කතාවක් අහලා තියෙනවා. කලපුවලනම් නයිලෝන් දැල් භාවිතා කළ නිසා ධීවරයන්ව අත්අඩංගවට ගත්ත අවස්ථාත් තියෙනවා. ඒක අපි හොයලා බලන්න ඕන කාරණයක් මහේෂ්
Replyලිපිය කියෙව්වාට ඔබට බොහොම ස්තූතියි
Replyමුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ...
Replyනිම් වල්ල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ...
ඈත දියඹ සොයලා... ඉවකරමින් යනවෝ...ඕ
ඈත මෑත බලලා.. අපි මාලු බාල එනවෝ..
කියල කීවට ඒක ඒතරම් සුන්දර නෑ නේද?
මොකක්ද මේ 'ඩිගෝසියා' කියන්නෙ
Replyඩියාගෝ ගාසියා වත්ද?
ජාත්‍යන්තර මුහුද (International waters) එකක්
Replyවෙනත් රටකට අයත් මුහුද තවත් එකක්.
ඔව් ඩියාගේ ගාසියා. සමාවෙන්න ටයිප් කරද්දි වැරදීමක් වෙලා
Replyඔව්. සුන්දර නෑ නමුත් හරිම භයානකයි, එක්නේ ‘අඹුදරුවෝ මා දෙවියෝ රකීවා...‘ කියලා මුහුදු යන්නේ :)
Replyලිවිල්ල නැවැත්තුවද?රාවයේ දැක්කෙත් නෑ
Replyමේ දවස්වල විභාග නිසා ගොඩක් කාර්ය බහුලවෙලයි ඉන්නේ, Final Yea dissertation එකටත් මහන්සි වෙනවා. මම ලියපු ලිපියක් මේ සතියේ රාවයේ පළවෙන්න තියෙනවා රාජ්
ReplyPost a Comment