Loading...

මිනිසත්කම මගහැරුණු විනිශ්චය.



ජේන් තරුණ කාන්තාවක්. ඇය ගුවන්තොටුපලේ සෝෆාවක වාඩිවෙලා බලාගෙන ඉන්නේ තමන්ගේ ගුවන්යානය එනතෙක්. නමුත් ඇයට තවත් බොහෝ වෙලාවක් ගුවන් තොටුපලේ රැඳී ඉන්න වෙනවා, මොකද ඇයගේ ගුවන්යානය අද සාමන්‍ය වෙලාවට වඩා ටිකක් පරක්කු නිසා. ජේන් තීරණය කරනවා පොතක් මිළදීගෙන ගුවන් යානය එනතුරු එය කියවන්න. ගුවන්තොටුපලේ පොත් සාප්පුවකින් පොතක් මිළදී ගන්න ඇය ඒත් එක්කම බිස්කට් පැකට්ටුවක් මිලදී ගන්නත් අමතක කරන්නේ නැහැ.

ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ පුටුවක වාඩිවෙලා නිදහසේ පොත කියවන බලාපොරොත්තුවෙන් ඇය මගී පර්යන්තයට ඇතුළ් වෙනවා. ශාලාවේ කෙලවර තියෙන නැමි හාන්සි පුටුවක අසුන්ගෙන පොත කියවන්න සූදානම්වන ඇයගේ එහා පැත්තේ අසුනේ බිස්කට් පැකට්ටුව තියෙනවා. ඊටත් එහා පුටුවේ තරමක් තරබාරු, සීත හිමකබායක් ඇඟලාපු මැදිවියේ මනුස්සයෙක් සඟරාවක් කියවමින් ඉනනවා. ජේන් කියවන්න ගත් පොත දිගහැරගෙන මුල්ම බිස්කට් එක පැකට්ටුවෙන් එළියට අරගෙන කනවා. ඒ එක්කම එහා පුටුවේ ඉඳගෙන ඉන්න මනුස්සයත් ඒ බිස්කට් පැකට්ටුවෙන්ම බිස්කට් එකක් ගන්නවා. 

මේ සිද්ධිය නිසා ජේන්ට තරහා යනවා, ඒත් කිසිම දෙයක් නොකියා තමන්ව පාලනය කරගන්න ඇය උත්සාහ කරනවා. ඒත් එක්කම ඇයට මෙහෙමත් හිතෙනවා 

"මේ මිනිහා නම් මහ පිස්සෙක්, මොන හයියක්ද මේ වගේ වැඩක් කරන්න. මට හිතුනොත් මූණ ගැලවෙන්න ගහනවා."

එහෙම හිතන අතරේ ඇය බිස්කට් පැකට්ටුවෙන් තවත් බිස්කට් එකක් අරගෙන කනවා. ඒ එක්කම අර මනුස්සයත් තව බිස්කට් එකක් පැකට්ටුවෙන් අරගෙන කනවා. මේක ජේන්ගේ හිතට හරිම වදයක්, ඒත් ඇයට  ඕන වෙන්නේ නෑ මෙතන ප‍්‍රශ්නයක් ඇති කරගන්න. 

මේ විදියට අන්තිම බිස්කට් එක බිස්කට් පැකට්ටුවේ ඉතිරි වෙනවා. ජේන් හිතනවා දැන් මේ මනුස්සයා මොකක් කරාවිද කියලා. ඒ එක්කම මේ මනුස්සයා බිස්කට් පැකට් එකේ ඉතිරිවෙලා තියෙන අන්තිම බිස්කට් එක තමන්ගේ අතට අරගෙන ඒක දෙකට කඩලා එයින් කෑල්ලක් ජේන් වෙත දිගු කරනවා. ජේන්ට හුඟාක් තරහා යනවා. අතේ තියෙන , කියවමින් හිටිය පොත වේගයෙන් වහලා දාපු ජේන් අසුනෙන් නැගිටලා වේගයෙන් යන්න යනවා. 

ජේන් තමන්ගේ ගුවන් යානයට ගොඩවිය යුතු මොහොත ලං වුණා. ඇය ගුවන් යානයට ගොඩවෙලා තමන්ට නියමිත ආසනයේ ඉඳගන්නේ සුළු මොහොතකට පෙර සිදුවුණ සිදුවීම ගැන තවමත් තරහින්. ගුවන් යානයේ අසුනගෙන ඉන්න අතරේ ඇය තමන්ගේ අත්බෑගයෙන් කිසිවක් එළියට ගන්න අත්බෑගය විවෘත කරනවා. පුදුමයක්, විවෘත නොකරපු, අතින් ඇල්ලුවේවත් නැති බිස්කට් පැකට්ටුවක් ඇයගේ අත්බෑගයේ තියෙනවා. තමන්ට හුඟක් වැරදුණු බව තේරුම්ගන්න ජේන්ට ගතවෙන්නේ පුංචිම පුංචි මොහොතක් විතරයි. බිස්කට් පැකට්ටුව මිළදී ගත්ත සැණින් ඒක තමන්ගේ අත්බෑගයේ දාගත්තා නේද කියන දේ ඇයට මුළුමනින්ම අමතක වෙලායි තිබුණේ. 

ගුවන් තොටුපලේ අසුන් පේළියක ඉඳගෙන සිටි ජේන් නන්නාදුනන ඒ මනුස්සයා කිසිම තරහක් නැතුව එයාගේ බිස්කට් පැකට්ටුවේ බිස්කට් තමන් එක බෙදාගෙන තියෙන බව ඇයට තේරුම් යනවා. ඒත් දැන් පරක්කු වැඩියි. ගුවන්යානය පිටත්වෙන්න පටන්ගෙන අවසන්, ඒ මනුස්සයත් කොහේ ගියාද දන්නේ නැහැ. ඇගේ හිතට දැනෙන පසුතැවීම ප‍්‍රකාශ කරගන්න දැන් කෙනෙක් නැහැ.

අන්තර්ජාලයේ සැරිසරන අතරතුර මට කියවන්න ලැබුණු මේ කතාව බ්ලොග් අවකාශයේ මිතුරන් එක්ක බෙදා ගන්න මට උවමනා වුණා. මිනිස්සු ගැන අපි එළඹෙන පූර්ව නිගමන, අනෙත් මිනිස්සු එකක් බෙදා හදාගෙන ජීවත් වෙන්න අපි දක්වන නොකැමැත්ත නිසා අපිට කොයිතරම්නම් වැරදෙනවාද? කොයිතරම් නම් දේවල් අපිට මගහැරෙනවාද? ඒ වැරදි හදා ගන්න අපි උත්සාහ කරද්දි බොහෝ විට අපි පරක්කු වැඩියි. පරක්කු වැඩියි කියලා අපිට තේරෙන්නෙත් ගොඩක් ප‍්‍රමාද වෙලා. 

පැරණි කතාවක් තියෙනවා මෙන්න මෙහෙම: ගලක් විසි කරාට පස්සේ නැවත එය ගෙන්වා ගන්න බැහැ, කෙනෙකුට යම් වචනයක් කිව්වොත් ඒ වචනය නැවත වෙනස් කරන්න බැහැ, ජීවිතයට වටිනා අවස්ථාවක් අපේ නොසැලකිලිමත්කම නිසා මගහැරිලා ගියොත් නැවත ඒ අවස්ථාව ලබා ගන්න බැහැ, යම් කි‍්‍රයාවක් කළොත් ඒ කි‍්‍රයාව නැවත හරිගස්සන්න බැහැ, ඒ වගේම රන් හා සමාන කාලය ගෙවිලා ගියාට පස්සේ මොන දේ කළත් ඒ ගෙවී ගිය කාලය ආපහු ගේන්නත් බැහැ.

ජේන්ට එදා වැරදුණා, ඒ තමන් වටේ සිදුවුණු සිද්ධි දාමය දිහා ඇය බලපු විදියේ වැරදිසහගතබව නිසා. නමුත් එතැන හිටපු අනිත් මනුස්සයා තමන්ගේ බිස්කට් පැකට්ටුවේ ඉතිරිවුණු අන්තිම බිස්කට් එක පවා තවත් කෙනෙක් එක්ක බෙදා ගෙන හිත සතුටින් තමන්ගේ ගමන ගියා. අපි තැවෙන්නේ එතරම්ම මහත්මා ගුණ තිබුණු ඒ මනුස්සයාට ජේන් සලකපු විදිය දිහා බලලා. 

අපේ ජීවිත කාලය පුරාවටම ඒ වගේ මනුස්සකම් දන්න මිනිස්සු අපිට මුණගැහිලා ඇති, ඒ වගේම  ඕනෑ තරම් හොඳ මිනිස්සුන්ව අපි වැරදියට තේරුම් ගන්න ඇති මේ කතාවේ ජේන් කළා වගේම. වැඩිදුර සිතන්නේ නැතිව අපි වැඩකරලා ඇති. තවත් කෙනෙක්ව දුටු පමණින් විනිශ්චය නොකරමු, දුරදිග නොසිතා ඔහු ගැන වැරදියට නොබලමු. හැකි හැම විදියකින්ම හැම කෙනෙකුටම ගරු කරමු. එදාට අපිටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. 

(Image was taken from KULfoto )

author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

21 comments

"හැකි හැම විදියකින්ම හැම කෙනෙකුටම ගරු කරමු. එදාට අපිටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. " නියම වදන .එය පිලිගන්නවනම් මෙ ලොකෙ මීට වඩා ලස්සන වෙන්න තිබ්බ

Reply

මට නම් අදහන්න අමාරු අර ආගන්තුක‍යගෙ ඉවසීම. පුදුම ඉවසීමක් ඒ.

//ගලක් විසි කරාට පස්සේ නැවත එය ගෙන්වා ගන්න බැහැ, කෙනෙකුට යම් වචනයක් කිව්වොත් ඒ වචනය නැවත වෙනස් කරන්න බැහැ// මෙය තමා ඇත්ත.

ස්තූතියි දිලිනි බෙදා ගත්තට.

Reply

ජේන් ට ඒ දැනිච්ච පසුතැවිල්ල හිතාගන්න පුළුවන්, අපිත් ජිවිතේ කියක් නම් මේවගේ දේවල් වලට මුහුණ දෙනවා ඇත්ද,ඔයා කිවා වගේ හොද මිනිසුන් අපිට ගොඩක් අහිමිවෙලා ඇති. අපි අදටත් නොදන්නවට මේ වගේ අතපසුවීම් වෙලා ඇති. හොද පෝස්ට් එකක් දිලිනි

Reply

මගේ බ්ලොග් එකේ බ්ලොග් රෝලට අලුතෙන් බ්ලොග් දැම්මට එකතු වෙන්නේ වින්ඩෝ එක ක්ලෝස් වෙන ප්‍රශ්නයක් තියෙනවා , ඒ නිසා ඔයාගේ බ්ලොග් එක ඒ ප්‍රශ්නේ හරිගියාම දාන්නම් හොදේ .

Reply

Harima lassana kathawak! Sthuthiyi!

Reply

ඔව් ඒක ඇත්ත. කවුරැවත් මේ දේවල් පිළිගන්නේ නැති එකනේ මේ ඔක්කොම ගැටලුවලට හේතුව

Reply

කතාව කියවපු මුල්ම වතාවේ මට අදහගන්නත් බැරිවුණා. ඒ නිසාමයි මේ කතාව බෙදා ගන්න හිතුවේ.

Reply

කමක් නෑ අපූර්වි. ඔයාට පුලුවන් වුනාම දාන්න :)

Reply

මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි :)

Reply

ඔය ජේන්ගේ කතාව තියෙන කෙටි චිත්‍රපටියක් තියෙනවා , මම උත්සාහ කළා ලින්ක් එක හොයා ගන්න ලැබුනේ නෑ. හොයා ගත්තු ගමන් දාන්නම් . පිට කවරය බලලා පොත ගැන තීරණය කරන එක වැරදියි කියලා අත්දැකීමෙන්ම තේරුම් ගන්න ඕන .

Reply

හිතන්න පුරුදුකරන කතාවක්. මම දිලිණිගේ පෝස්ට් එකේ අවසන් ඡේදයට ඉතාමත්ම කැමතියි!!

Reply

හිතන්න ඕන දෙයක් අපූරුවට කතාවකට ගොඩනගල තියෙනව...
අපුරුයි..
හුගක් අය තමංගෙ අතින් වෙන දේවල් තමන් කියන කරන දේවල් ගැන ඒ තරං හිතන්නෙ නැතිව අනුන්ට දොස් කියනව... ඒත් අන්තිමට වැරැද්ද එයා අතමයි...
ආදර්ශමත් කතාවක්...

අනේ මේක මගෙරෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑනෙ...
ඇයි දන්නෙ නෑ.. මං අහම්බෙන් මෙහාට එවුනෙ....

Reply

හොයා ගන්න ලැබුනොත් දාන්න. ඒක බලන්න වටින එකක් වෙයි අනිවාර්යයෙන්. බොහෙම ස්තූතියි මේ පැත්තේ ආවාට.

Reply

බොහොම ස්තූතියි. අපේ වැරදි අදුනගන්න අසමත් වෙන එක තමයි ගොඩක් වෙලාවට අපේ අතින් වෙන ලොකුම වරද.
බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙන්නේ නැති එක මුල ඉදන්ම තිබුණා මහේෂ්. යූආර්එල් ලිපිනය වෙනුවට මෙන්න මේ feed ලිපිනය බ්ලොග් රෝලට දාගන්න උත්සාහ කළොත් හරියයි http://sarungaleblog.blogspot.com/feeds/posts/default

Reply

සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි මේ පැත්තේ ආවාට. අපි හැමෝගමෙ අතින් ජීවිතේ එක පාරක් හරි මේ වරද වෙලා තියෙනවා. සමහරැ නැවත නැවත ඒ වරද කරනවා. ඒකමයි මේ කතාව මෙහෙම බෙදා ගන්න හිතුවේ.

Reply

බොහාම අපූරු ආදර්ශමත් කතාවක්. මං මේක මීට කලින් කොහේදි හරි කියවල තිබුනා.
අපි පොඩිකාලෙ ඉඳලම බෙදා හදාගන්න පුරුදු වෙන්න ඕන. හැබැයි අද ලංකාවෙ සිද්දවෙන දේවල් දැක්කම බෙදා හදා ගන්න එකත් දෙපාරක් හිතන්න සිද්ද වෙලා.

හොඳ සමාජයක් හැදෙන්න හොඳ පුරුදු ඇතිවෙන්න ඕන.
හොඳ පුරුදු ක්‍රියාත්මක කරන්න හොඳ සමාජයක් තියෙන්න ඕන. ඒතරමටම අද සමාජය විෂමයි, විසකුරුයි.
හරියට ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්තරේද, බිත්තරේද කිකිලිද වගේ.

හැබැයි පමා නොවී කොතනකින් හරි අපි පටන් ගන්න ඕන දැන්මම. නැත්නම් අපට රටක් ඉතුරු වෙන එකකුත් නෑ.

මම තෙලිදිය.
අපේ වාඩියට එන්නත් අමතක කරන්න එපා.

Reply

ඔව් ඔය පටලැවිල්ල තියෙනවා. ඒත් මම හිතෙන්නේ එක් එක්කෙනා වෙනස් වුනොත් ඒකෙන් සමාජය හැදෙයි නේද? මේ දවස්වල මට නිතර බ්ලොග් කියවන්න එන්න වුනේ නෑ. වාඩිය පැත්තේ එන්නම්කෝ.....

Reply

මම අහම්බෙන් වෙන කෙනෙකුගේ බ්ලොග් රෝලක දැකලා තමයි ගොඩ වුනේ. කලින් අහලා තිබුනත් හරිම ලස්සන කතාවක්, හිතන්න යමක් ඉතිරි කරන.

Reply
This comment has been removed by the author.

බොහොම ස්තූතියි මගේ ලිපිය කියෙව්වට. මම ඔබේ බ්ලොග් අඩවියේ ගියපු ලිපි බොහොමයක් ආසාවෙන් කියවපු කෙනෙක්

Reply

බොහොම තදින් හිතට වැදෙන කතාවක්. අපි වැරදියි කියලා හිතෙද්දී අපි සමහර විට හුඟක් දුර ගිහින්. හැමවිටම විමසිලිමත්ව තමාගේ වගේම අනිත් අයගේත් කෝණයෙන් බලලා වැඩකරන්න ඕනේ කියන එක උගන්වන හොඳ කතාවක් මේක

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top