Loading...

බිඳුණු කැමරාවෙන් කියැවුන යුද්ධයේ අැතුළාන්තය



අලුත ඉපදුනු තම පුතාගේ උපන් දින උත්සව වීඩියෝ කිරීමට පලස්තීන ගැමියෙකු වන එමාඩ් කැමරාවක් ගෙන එයි. නමුත් නොදැනුවත්වම ඔහු අතින් වීඩියෝ ගත වන රූප රාමු වෙනස්ම කථාන්දරයක් නිර්මානය කරයි. හුදෙක් තම පෞද්ගලික අරමුණක් ඉටු කර ගැනීමට ගෙනෙන කැමරාවක් ඔහු වෙසෙන සමාජ කන්ඩායමේ ඉරණම කවරක්දැයි අනිත් අයට කියා දෙන ප‍්‍රකාශන මාධ්‍යයක් බවට පත් වේ. 

අවස්ථා 05 කදී එමාඩ්ගේ කැමරාව ප‍්‍රහාරයන්ට ලක්ව විනාශ වේ. නමුත් නැවත ඔහු එම කැමරාව පිළිසකර කර ගනිමින් තම එදිනෙදා ජීවිතය රූපගත කරන්න කටයුතු කරනවා. අතරින් පතර රූප ගත කෙරෙන අසංවිධානාත්මක රූප රාමු තුල එමාඩ් ඇතුලු බහුතරයකගේ ජීවිත පැතිකඩ 5 Broken Cameras වාර්තා චිත‍්‍රපට මාධ්‍ය තුළ ප්‍රතිනිර්මානය කෙරෙනවා. 


කථාවේ බොහෝ සිදුවීම් සිදුවීමට බලපාන ප‍්‍රධාන සාධකය වෙන්නේ පලස්තීනය හා ඊශ්‍රායාලය අතර ඉදිවෙන දේශසීමා තාප්පය. මේ බාධකයට ගොඩනැගීම ආරම්භයේ සිට අවසානය දක්වා දේශසීමාවේ වෙසෙන වැසියන් තම සරු බිම් ඉල්ලා උද්ඝෝෂන වල නියැලෙනවා. එහි ප්‍රතිඵලය ප‍්‍රදේශවාසීන් හා දේශසීමා ආරක්ෂක හමුදාව අතර අැතිවන නිරන්තර ගැටුම්. සෑම ගැටුම්කාරී මොහොතකටම පෙර ඔවුන් සියල්ලෝම පල්ලියට ගොස් ආගම සිහිකිරීම සිදු කරයි. ඒ වගේම සටනට නායකත්වය දෙන පිරිස ප‍්‍රහාරයන්ට ලක්ව ජීවිතක්ෂයට පත් වූ විටත් ඔවුන් සියල්ලෝම යළිත් පල්ලිය තුළට එක් වී ශෝකය බෙදා ගන්නවා. පලස්තීන කුඩා දරුවන් පවා මෙම සටනේම කොටසක්. එක්තරා අවස්ථාවක එමාඩ් ගේ අවුරුදු තුනක් වයසැති කුඩාම පුතු පවා තම භූමිය ඉල්ලා කෙරෙන උද්ඝෝෂනයන්ට එක් වී කදුලු ගෑස් ප‍්‍රහාරයට ලක් වෙනවා. දැන් මේ සටන් කිරීම නැවැත්විය යුතුයි පේ‍්‍රක්ෂකයාට හැඟුනද දැනුනද පලස්තීන අරගලකරුවන් සහ ඊශ‍්‍රායල හමුදාව සටන් නැවැත්වීමක් සිදු කළේ නැහැ.  

අතරින් පතර වැඩුණු ඔලිව් ගස් සහ එමාඩ්ගේ පවුලේත් ගම් වැසියන් අතරත් ඉතාම සමීප සම්බන්දයක් පැවතුනා. ඒ නිසාමදෝ තම ගම්වැසියන් බොහෝමයකගේ ජීවිත විනාශ වෙද්දිත් ඔලිව් ගස් බේරා ගැනීමටත් ගිනි තබා විනාශ කල ඔලිව් ගස් වෙනුවට අළුත් ඔලිව් ගස් හිටවීමටත් ඔවුන් නොනවතින සටනක යෙදෙනවා. 

එමාඩ් එම සටනේදී රූපරාමු හසු කරගැනීමට තම කැමරාව ඔසවාගෙන සෑම තැනකටම ගමන් කරද්දි එකම ප‍්‍රදේශයක අයිතිය වෙනුවෙන් දෙරට අතර නිරන්තරයෙන් ඇතිව තිබුන අර්බුදයත් ජීවිත රාශියක් විනාශ කරදමමින් ඉදිරියට ගමන් කරා.

1948 වර්ශයේ මැයි මස 15 දින තෙක් ලෝක සිතියමේ සටහන් නොවූ ඊශ‍්‍රායලය යුදෙව්වන් සදහා වෙන් වූ රටක් ලෙසින් ලෝක සිතියමට එක් වීම මේ අර්බුදයේ ආරම්භය. පළමු ලෝක යුද්ධ සමයේ ජර්මනියට එරෙහිව ප‍්‍රංශයට සහයෝගය ලබා දෙමින් පලස්තීන වැසියන් යුදෙව්වරුන්ට පලස්තීන භූමියේ රුකවරණය ලබා දෙන ලදී. ඉන් අනතුරුව ප‍්‍රංශය මූලිකව පලස්තීනයෙන් කොටසක් ඊශ‍්‍රායලය ලෙස නම්කිරීමත් එය යුදෙව් ජාතිකයන්ගේ නිජබිම ලෙසින් ප‍්‍රකාශයට පත් කිරීමත් සිදුවෙනවා. නිජබිමක් වෙනුවෙන් ගැටෙන පලස්තීන්වරුන් සහ ඊශ‍්‍රායල්වරුන්ගේ ඓතිහාසික සටන ඇවිලෙන්නේ ඉන් අනතුරුව. 

5 Broken Cameras චිත‍්‍රපටය තුළ කියා පාන්නේ පලස්තීන්වරුන් තම සරු බිම් ඉල්ලා කෙරෙන නොනවතින සටනේ අැතුළාතන්තය. වෘතාන්ත චිත‍්‍රපටයකින් වාර්තා චිත‍්‍රපටයක් (Documentary film) වෙනස් වන නිසඟ ලක්ෂණ මේ තුළ අන්තර්ගත වන අාකාරයට සත්‍ය සිදුවීම් පාදක කර ගෙන රූප ගත කරන්නට එමාඩ් නැමැති පුද්ගලයා සමත්ව තිබෙනවා

1980 වර්ෂයේ නිකුත් වූ The International film encyclopedia වෙහි සඳහන් වන පරිදි වාර්තා චිත්‍රපටයක් යනු සැබෑ මිනිසුන් සහ සත්‍ය සිදුවීම් අලාලා නිර්මිත චිත්‍රපටයකි. 

වාර්තා චිත්‍රපටයක අන්තර්ගතය වන්නේ සැබෑ සිද්ධි සහ සැබෑ චරිත නිසාත් නිර්මාණාත්මක ස්වභාවයට වඩා සිද්ධියක්/අත්දැකීමක් සෘජුව සන්නිවේදනයකරලීම කෙරෙහි එවැන්නක වැඩි අවධානය යොමුවන නිසාත් වාර්තා චිත්‍රපටයකට සෙසු චිත්‍රපටයකට වඩා ප්‍රබල ලෙස ප්‍රේක්ෂක අවධානය ග්‍රහණයකරගත හැකියි.

1900 වර්ෂයටත් පෙර සිටම ප්‍රංශ ජාතිකයන් තම චාරිකා සටහන් සහ උපදෙස් අාදිය අඩංගු ඕනෑම චිත්‍රපටයක් Documentary film යන නමින් හඳුන්වන්නට කටයුතු කළා. අැමරිකානු අාදි වාසීන්ගේ ජීවිත සහ අැන්ටාක්ටිකා මහාද්වීපය පිළිබඳ 1900 - 1920 කාල සීමා තුළ නිර්මාණය වුන චිත්‍රපට මුල්කාලීන වාර්තා චිත්‍රපට වශයෙන් සැලකෙනවා. 

වාර්තා චිත්‍රපට යන්නට යෙදෙන Documentary නම් වචනය ප්‍රංශ භාෂාවේ එන Docu සහ human යන වචන ද්විත්වයේ එකතුවෙන් බිහිවන ලදි. එහි අර්ථය වන්නේ මානව ගුණය පළ කෙරෙන ප්‍රකාශනය යන්න. 

1926 දී රොබර්ට් ෆ්ලැහර්ටි විසින් නිර්මාණය කළ Moana චිත්‍රපටය ප්‍රථම වතාවට ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් තුළ වාර්තා චිත්‍රපටයක් වශයෙන් හැඳින්වූ නිර්මාණය වශයෙන් සැලකේ. එකල එක්සත් ජනපදයේ පළවූ New York Sun පුවත්පත ෆ්ලැහර්ටිගේ නිර්මාණය පිළිබඳ විචාරයක් පළ කරමින් එය වාර්තා චිත්‍රපටයක් වශයෙන් හඳුන්වා දී තිබුනා. 

මේ අනුව වාර්තා චිත්‍රපටය සමකාලීන තොරතුරු වාර්තා කරන මූලාශ්‍රයක් ලෙසින් පැවත අාවක්. 

පළමුවන සහ දෙවැනි ලෝක යුද්ධයන් සමස්ත මිනිස් ප්‍රජාවගේම ජීවිතවලට ප්‍රබලතම බලපෑම් එල්ල කරන ලද යුධ ගැටුම්. ඒ නිසාවෙන්ම පශ්චාත් යුධ සමාජයන් තුළ වාර්තා චිත්‍රපට විශාල වශයෙන් බිහි විය. 

ජර්මන් ජාතික ලෙනී රයිෆෙන්ස්ටාල් (Leni Rifenstahl) නම් චිත්‍රපට අධ්‍යක්ෂිකාව මේ සම්බන්ධයෙන් සුවිශේෂිම අත්දැකිම් අැති නිර්මාණ ශිල්පිනියක්. අැය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්නේ නාසි ජර්මනියේ ප්‍රචාරණ යාන්ත්‍රණය වෙනුවෙන් (ප්‍රොපගැන්ඩාව) අැය නිර්මාණය කළ Triumph of the will නම් වාර්තා චිත්‍රපටයෙන්. 

ලෙනී පසුකාලිනව පවසා තිබුණා ජනතාවට යුද්ධයක් සඳහා තමන්ගේ මානසික තත්ත්වය ගොඩනගාගෙන නොතිබුන සමයක ඔවුන්ගේ මනස ඒ ඳහා පෙළඹවීමේ අරමුණ අැතිව වාර්තා චිත්‍රපටි නිර්මාණය කළ බව. ඒ අනුව ජර්මනිය වගේම මිත්‍ර පාර්ශවත් Why we fight සහ Olympia වැනි වාර්තා චිත්‍රපටි නිර්මාණය කරමින් යුද්ධයක් අැතිවීමට හේතු කාරණාවනුත් ඒ ඳහා අවශ්‍ය ජනතා සහයෝගයත් ලබා ගන්න උත්සාහ කළා. 

දේශපාලනික වශයෙන් අැතැම් සංවර්ධන ව්‍යාපෘති හඳුන්වාදීමේ කාර්යයෙදී වාර්තා චිත්‍රපටි ප්‍රබල දායකත්වයක් ලබා දී තිබෙනවා. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපද රජය 1938 වර්ෂයේ අාරම්භ කළ සංවර්ධන ව්‍යපෘති ජනතාවට හඳුන්වාදීම සඳහා ෆ්‍රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ අදහසකට අනුව The River නමින් වාර්තා චිත්‍රපටියක් බිහිවුණා. මෙය වාර්තා චිත්‍රපටියක් වශයෙන් අතිශය ජනප්‍රිය වූ නිසාම පසුව එළැඹි මැතිවරණ අවස්ථාවලදී රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලටත් එය යොදාගෙන තිබෙනවා. 

බිඳී යන එක් කැමරාවක් වෙනුවට තවත් කැමරාවක් ගෙනැවිත් එයද යුද්ධය දෙසට මානන එමාඩ් ඒනිසා වෙන්ම අවස්ථා කිහිපයකදීම ප‍්‍රහාරයන්ට ද ලක් වෙනවා. එක් අවස්ථාවක කැමරාවට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් ඔහු බරපතල තුවාලවලට ලක්ව ශල්‍යයකර්මයකට ද භාජනය කරන වෙන්නට එමාඩ් හට සිදුවෙනවා

5 Broken Cameras චිත‍්‍රපටය පලස්තීන ඊශ‍්‍රායලය දේශසීමාවේ ඇතිවෙන ගැටුම නිසාවෙන් පලස්තීන වැසියෙකු අත් විදින සැබෑ සිදුවීම් රූපයට ගැනීමක්. මෙම විත‍්‍රපටය  මුලුමනින්ම ගැටුම යන්නෙහි අතිශය සැබෑ අර්ථය චිත‍්‍රපට මාධ්‍යයකින් ප්‍රකාශවීමක් වන්නේ එයින්. 

(Image was taken from: Whyside)
author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

4 comments

හොයාගන බලන්ට ඕන
අපිට ඉතිං ටොරන්ට් එක්ක තිබ්බොත් තමයි
යූ බටේට ඔබල තියේ නං ලේසී බලන්නංකො

Reply

යූටියුබ් එකේ තියනවා මහේෂ්. වෙලාවක් ලැබුනොත් බලන්න.
ලින්ක එක >> https://youtu.be/5P5d7EVDyzA

Reply

Trailer එකත් වීඩියෝ link එකක් විදිහට පෝස්ට් එකට එකතු කළා නම් වඩාත් හොඳයි :)

Reply

එකතු කළා. ස්තූතියි

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top