Loading...

මරණයේ වෙළෙන්දාගේ ත්‍යාගය



1888 වර්ෂයේ එක්තරා දිනෙක ප‍්‍රංශ පුවත්පතක් ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නමැත්තෙකුගේ මරණය පිළිබඳ පුවතක් මුල් පිටුවෙහි පළ කර තිබුණි. ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ලෝකය එතෙක් නොදුටුව විරූ ආකාරයේ කාර්යක්ෂම පුපුරණ ද්‍රව්‍යයක් නිර්මාණය කරමින් අවි අයුධ සහ යුධ තාක්ෂණ කේෂ්ත‍්‍රය පණ ගන්වන්නට මූලික වූවායැයි සඳහන් කළ අදාළ පුවත්පත ‘වඩාත් වේගෙයෙන් මිනිසුන් මරා දැමිය හැකි ක‍්‍රම සොයාගත් ඇල්ෆ‍්‍රඩ නොබෙල් ඊයේ මියයන ලදි’ යැයි ද එහි සඳහන් කර තිබිණි. 

කෙසේ නමුත් පෙරකී ප‍්‍රංශ පුවත්පතට සිය ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් මූලිකම කාරණයක් වැරදී තිබිණි. නොබෙල් නමින් අයෙකු සැබවින්ම මියගොස් තිබුණා වුවද ඒ මියගිය තැනැත්තා ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නොවුණි. මියගොස් තිබුණේ ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ සහෝදරයෙකි.

ලෝකය තමා හඳුනාගන්නා ආකාරය සහ අනාගත ලෝකය තමාව සිහි කරනු ඇති ආකාරය පිළිබඳ සැබෑ වැටහීමක් ලබාගන්නට ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ට මේ වැරදීමකින් පළවූ පුවත්පත් ලිපිය ඉවහල් විය. පුවත්පතේ සඳහන් වූ ආකාරයටම තමා ලෝකයට පුපුරණ ද්‍රව්‍ය විකිණූ ‘මරණයේ වෙළෙන්දා’ පමණක් ම නොවේදැයි කල්පනා කළ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ලෝකය වෙනුවෙන් තමාට කළ හැකි වඩාත් යහපත් යමක් තිබේදැයි කල්පනාකිරීම ඇරඹීය. 

මේ කල්පනාව අවසන් වූයේ 1895 වසරේ නොවැම්බර් මස 27 වනදා එතෙක් ඔහු විසින් ලියා තිබූ ඔහුගේ අවසන් කැමති පත‍්‍රය වෙනස් කරන්නට ඔහුම කටයුතු යෙදීමෙනි. ලෝකයේ විවිධ කේෂ්ත‍්‍රයන් තුළ මානව වර්ගයා උදෙසා ඉහළම සේවයක් සිදුකළ විශිෂ්ඨතමයන් අගයකරමින් දෙන ත්‍යාගයක් ආරම්භකිරීම සඳහා තමාගේ සියලූ වත්කම් යොදාගන්නැයි පැරීසියේ දී ලියන ලද සිය නව අවසන් කැමති පත‍්‍රයේ සටහන් කරන්නට ඇල්ෆ‍්‍රඩ් නොබෙල් කටයුතු කළහ. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ වත්කමින් රජයට අයවිය යුතු බදු මුදල් සහ වෙනත් ගෙවීම් අයකරගත් පසුව ඉතිරිවූ 94% ක ප‍්‍රමාණයක් ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් ආරම්භ කරන්නැයි කී සුවිශිෂ්ඨතා ත්‍යාගය වෙනුවෙන් වෙන් විය. මේ මුදල් ප‍්‍රමාණය ස්වස් ක්‍රෝන 3,122,500 ක් හෙවත් එවකට අගයෙන් බි‍්‍රතාන්‍ය පවුම් 1,687,837 ක් තරම් සුවිශාල අගයක් විය.

ඇල්ෆ‍්‍රඩ් නොබෙල් සිය අවසන් කැමති පත‍්‍රයෙන් ආරම්භ කරන්නට කටයුතු යෙදුණු ඉහත කී සම්මාන ත්‍යාගය පිරිනැමීම 1901 වසරේදී ආරම්භ විය. ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමති පත‍්‍රයේ ඉල්ලා තිබූ ආකාරයට රසායන විද්‍යාව, සාහිත්‍ය, සාමය, භෞතික විද්‍යාව, කායික හෝ වෛද්‍ය විද්‍යාව යන විෂය කේෂ්ත‍්‍රයන්ට විශේෂිතව මානව වර්ගයා වෙනුවෙන් විශිෂ්ඨ දායකත්වයක් දැක්වූවන් උදෙසා මෙම ත්‍යාගය පිරිනමන්නට තීරණය විය. එවැනි ත්‍යාගයක් සම්බන්ධයෙන් අදහස ඉදිරිපත්කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් සැපයීම ද ආචාර්ය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිදුකළ බැවින් ඔහුට ගෞරවයක් ලෙසින් එකී ත්‍යාගයට 'නොබෙල් ත්‍යාගය' යන නම යෙදීමට තීරණය විය.

ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමති පත‍්‍රයේ සඳහන් කාරණා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ඔහු වෙන් කළ මුදල් සහ සෙසු වත්කම් නිසි පරිදි කළමණාකරණයකිරීම උදෙසා 1900 වසරේ ජූනි මස 29 වන දා නොබෙල් පදනම (Nobel Foundation) නම් ආයතනය පෞද්ගලික ආයතනයක් වශයෙන් ආරම්භවේ. නොබෙල් ත්‍යාගය සම්බන්ධයෙන් මෙම නොබෙල් පදනම විසින් සිදුකරන කාර්ය හුදෙක්ම ආයෝජන සමාගමක කාර්යයට සමාන වේ. ඒ විසින් ආරම්භයේදී ඇල්ෆ‍්‍රඞ් නොබෙල් විසින් වෙන් කරන ලද මුදල විවිධ ආයෝජන සහ වත්කම් ඉපැයීම් මාර්ගවල යොදවමින් නොබෙල් ත්‍යාගය වසරක් පාසා ප‍්‍රදානය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යම ස්ථාවරත්වය පවත්වාගෙන යාමත් සෙසු පරිපාලන කාර්යයන්හි නිරතවීමත් සිදුකරයි. ඒ හැරුණුකොට ත්‍යාගය හිමිවන්නන් තීරණයකිරීම සම්බන්ධයෙන් නොබෙල් පදනම සම්බන්ධවීමක් සිදුනොවේ. 

ඒ ඒ විෂය කේෂ්ත‍්‍රයට අදාළව නොබෙල් ත්‍යාගය ලැබීම සඳහා සුදුසු පුද්ගලයන් නිර්දේශකිරීමට තීරණය කළ යුත්තේ කුමන ආයතනද යන්න ද ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිය අවසන් කැමති පත‍්‍රයෙහි සඳහන් කර තිබේ. ඒ අනුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, විෂය කේෂ්ත‍්‍රයන්හි නොබෙල් ත්‍යාගය සඳහා වන නොබෙල් අනුස්මරණ ත්‍යාගය සඳහා විශිෂ්ඨතමයන් නිර්දේශකිරීමත් ස්වීඩන් රාජකීය විද්‍යා ඇකඩමිය විසින් සිදුකරනු ලබයි. මීට අමතරව ආර්ථික විද්‍යා කේෂ්ත්‍රයන්හි විශිෂ්ඨයන් සඳහා පිරිනැමෙන නොබෙල් අනුස්මරණ ත්‍යාගය සඳහා පුද්ගලයන් නිර්දේශකිරීමේ වගකීමද රාජකීය විද්‍යා ඇකඩමිය විසින් දරන ලැබේ (ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් අනුස්මරණ ත්‍යාගය ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිය අවසන් කැමති පත‍්‍රය හරහා නිර්මාණය කළ එකක් නොවේ. එය 1968 වර්ෂයේදී ස්වීඩන් මහ බැංකුව විසින් ස්ථාපිත කරන ලද්දකි). කායික විද්‍යා හෝ වෛද්‍ය විද්‍යා කේෂ්ත‍්‍රයෙන් නොබෙල් ත්‍යාගය ලබාදීම කැරොලින්ස්කා අධ්‍යාපන ආයතනයෙහි නොබෙල් පර්ෂදය විසින් සිදුකරනු ලබයි. සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය සඳහා සුදුස්සන් නිර්දේශකිරීම ස්වීඩනයේ පැරණිතම රාජකීය විද්‍යායතනයක් වන ස්ටොක්හෝම්හි ස්වීඩන් ඇකඩමිය විසින් සිදුකරනු ලබයි. නොබෙල් සාම ත්‍යාගය ලැබීම සඳහා සුදුසු පුද්ගලයන් නිර්දේශකිරීම සහ තෝරාගැනීම නෝර්වීජියානු පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් සිදුකරනු ලබයි.

අද වනවිට අවස්ථා 573 ක දී පුද්ගලයන් ආසන්න වශයෙන් 870 දෙනෙකුට මෙකී නොබෙල් ත්‍යාගය හිමිව ඇත. ඒ අතරින් පුද්ගලයන් 821 දෙනෙකු පිරිමි අයවලුන් වන අතර නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත්ව ඇති කාන්තාවන් ගණන 49 කි. මේ සෑම සම්මාන ලාභියෙකුටම ග‍්‍රෑම් 48 ක බරින් යුත් කැරට් 24 රන් පදක්කමක් සහ නොබෙල් පදනම විසින් තීරණය කරනු ලබන ත්‍යාග මුදලක්ද ප‍්‍රදානය කෙරේ. මේ වනවිට සම්මානලාභියෙකුට හිමිවන මුදල ස්ව්ස් ක්‍රෝන මිලියන 08 ක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක අගයකි.

1901 වර්ෂයේ පිරිනැමුණු ප‍්‍රථම නොබෙල් ත්‍යාගය පුද්ගලයන් 06 දෙනෙකුට පිරිනමන ලදි. විල්හෙල්ම් කොන්රඩ් (Wilhelm Conrad Rontrgen) භෞතික විද්‍යා කේෂ්ත‍්‍රය සඳහාත් ‍ජාකෝබස් හෙන්රිකස් (Jacobus Henricus) රසායන විද්‍යා කේෂ්ත‍්‍රය සඳහාත්, එමිල් ඇඩෝල්ෆ් (Emil Adolf) වෛද්‍ය විද්‍යා කේෂ්ත‍්‍රය සඳහාත් ජීන් හෙන්රි (Jean Henry) සහ ෆෙඩ්‍රික් පාසි (Fedric Passy) යන අයවලුන් ලෝක සාමය සඳහාත් ප‍්‍රථම නොබෙල් ත්‍යාග දිනාගන්නා ලදි.

රවීන්ද්‍රනාත් තාගෝර් නොබෙල් ත්‍යාගය හිමිකරගත් ප‍්‍රථම ආසියාතිකයා වේ. සාහිත්‍ය කේෂ්ත‍්‍රයට කළ සේවය වෙනුවෙන් 1913 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය එතුමාට හිමිවිය. එක්වරකට වඩා නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා වන්නේ සුප‍්‍රසිද්ධ විද්‍යාඥවරියක වූ මාරි කියුරි මැතිණියයි. රේඩියම් මූලද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් කළ කාර්යභාරය වෙනුවෙන් 1903 වසරේ භෞතික විද්‍යාව සඳහා පිරිනැමුණු නොබෙල් ත්‍යාගයේ සම හිමිකරුවෙකු වන්නට ඇයට හැකිවිය (රේඩියම් මූලද්‍රව්‍යය සම්බන්ධයෙන් වූ විවිධ පර්යේෂණ සිදුකර තිබූ ඇන්ටෝනියෝ හෙන්රි බෙකරල් සහ පියරි කියුරි යන අය ඒ වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයේ සෙසු සම හිමිකරුවන් විය). පොලෝනියම් නම් විකිරණශීලී මූලද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙක් කළ කාර්යභාරය වෙනුවෙන් මාරි කියුරි මහත්මියට 1911 වසරේදී රසායන විද්‍යාව සඳහා පිරිනැමුණු නොබෙල් ත්‍යාගය ද හිමිවිය. 

2007 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවන් බවට පත්වන්නට එවකට ඇමරිකානු උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඇල්බර්ට් ආර්නෝල්ඞ් ගෝර් (අල් ගෝර්) මහතා සහ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන අන්තර්රාජ්‍ය පැනලය (Intergovernmental Panel for Climate Change - IPCC) සමත්විය. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන පැනලය (මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය ආශ‍්‍රිතව කි‍්‍රයාත්මක බුද්ධි මණ්ඩලයකි) වෙනුවෙන් නොබෙල් ත්‍යාගය භාරගැනීමේ අවස්ථාව එවකට එහි උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ශී‍්‍ර ලාංකිකයෙකු ද පිළිගත් භෞතික විද්‍යාඥයෙකු හා ආර්ථික විද්‍යාවේදියෙකු ද වන මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට හිමිවිය. සංවර්ධන උපක‍්‍රමවලදී දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් අවධානය දැක්විිය යුතු ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රතිපත්ති සම්පාදනයකිරීමෙහිලා මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා දැක්වූ දායකත්වය IPCC ආයතනය වෙත නොබෙල් ත්‍යාගය දිනාදීමට මූලිකවම හේතු වූවායැයි සැලකේ. ඒ අනුව නොබෙල් සම්මානයේ ගෞරවයට ශී‍්‍ර ලාංකිකයෙකු පාත‍්‍රවූ ප‍්‍රථම සහ මේ දක්වාත් එකම අවස්ථාව වශයෙන් 2007 නොබෙල් සාම ත්‍යාගය සැලකිය හැක. 

*        *        *        *  

ඇල්ෆ‍්‍රඩ් බර්නාඩ් නොබෙල් ‘නොබෙල් ත්‍යාගයේ’ නිර්මාතෘවරයා වෙයි. ඔහු ස්වීඩන් ජාතිකයෙකු වන අතර 1833 වර්ෂයේ ඔක්තෝබර් මස 21 වන දින ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ උපත ලබා ඇත. සාමාජිකයන් 08 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නාව උපත ලද ඇල්ෆ‍්‍රඩ් කුඩා කල පටන්ම ඉංජිනේරු තාක්ෂණ ශිල්පය වෙත වැඩි නැඹුරුවක් දැක්වූවෙකැයි සඳහන් වේ.

18 වන සහ 19 වන සියවස් ඝන, ද්‍රව සහ වායු සංඝටකයන්ගේ මිශ‍්‍රවීම් සහ ඒවායේ ප‍්‍රතිඵලයන් පිළිබඳව පර්යේෂණාත්මකව සෙයා බැලීමට මිනිසුන් වඩාත් උනන්දුවූ යුගයකි. ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ උපත සිදුවනුයේ මානව ඉතිහාසයේ එවැනි පසුබිමකය. 

ඇල්ෆ‍්‍රඩ්ගේ පියා ඉමෑනුවෙල් නොබෙල් ද එවැනි අත්හදා බැලීම්වල නිරත වූ ඉංජිනේරුවරයෙකු වූ අතර වෘතියෙන් අවිආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලා හිමියෙකු විය. කි‍්‍රමියානු යුධ සමයේදී (1853 - 1856) එංගලන්ත රාජකීය නාවික හමුදාව රුසියාවට ඇතුල්වීම වැලැක්වීම සඳහා ඉමෑනුවෙල් නොබෙල් විසින් රුසියානු හමුදාවට අවිආයුධ සපයන ලදි. වෙරළ තීරයන්හි වළලන ලද කුඩා ලී පෙට්ටිවල වෙඩි බෙහෙත් අසුරා නිර්මාණය කරන ලද බිම්බෝම්බ සහ දිය යටදී පුපුරුවා හැරිය හැකි බෝම්බ රුසියානු හමුදාව වෙත සැපයීම ඉමෑනුවෙල්ගේ අවි කම්හල් විසින් සිදුකරන ලදි. ඉමෑනුවෙල් නොබෙල් විසින් නිර්මාණය කරන ලද නොයෙක් පුපුරණ ද්‍රව්‍ය යුධ සමය නිසාවෙන්ම ඉහළ අලෙවියකින් යුක්ත විය. කෙසේ වෙතත් යුධ කාල සීමාවෙන් පසුව යුධෝපකරණ ගිවිසුම් අහෝසිව යාමත් සමග ඉමෑනුවෙල් නොබෙල්ගේ කර්මාන්ත ශාලා වැසී යන තත්ත්වයට පත්වේ. 

මේ කාල සීමාව වනවිට තරුණ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් තිබූ අතර පුපුරණශීලීතාවය ඉහළ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන පර්යේෂණාත්මක අධ්‍යනයන් වෙත ඔහු යොමුව තිබිණි. එක්සත් ජනපදයේ ගත කළ කාලයෙන් පසුව රසායන විද්‍යාව පිළිබඳ තවදුරටත් හැදෑරීමට ප‍්‍රංශය බලා යන ඔහු එහිදී ප‍්‍රථම වරට නයිට්‍රෝග්ලිසරින් නම් රසායන ද්‍රව්‍ය පිළිබඳ අවබෝධය ලබාගනී. 1847 වසරේදී ඇස්කොනිඩ් සොබ්රිරෝ නම් රසායන විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලද මෙම දහනකාරක රසායනිකය පුපුරණ ද්‍රව්‍යයක් වශයෙන් අතිශය පළදායී වූවත් පරිහරණයකිරීමත් ප‍්‍රවාහණයකිරීමත් ඉතා අසීරු කාර්යයක් විය. 

නයිට්‍රෝග්ලිසරින් ආශ‍්‍රයෙන් වඩාත් කාර්යක්ෂම සහ පරිහරණයට පහසු පුපුරණ ද්‍රව්‍යයන් නිර්මාණය කිරීමෙහිලා දිගින් දිගටම අවදානම් සහිත පර්යේෂණ රාශියක නියුතු වූ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් ඒවා අතරතුර මරණීය අනතුරු කිහිපයකට ද මුහුණ දෙන ලදි. මෙවන් එක අනතුරක ප‍්‍රතිඵලයක් වශයෙන් ඇල්ෆ‍්‍රඩ්ගේ එක් සහෝදරයෙකු වූ එමිල් නොබෙල් ද මරණයට පත්විය. මේ සිදුවීම් නිසාවෙන් ඇල්ෆ‍්‍රඩ් නොබෙල් නයිට්‍රෝග්ලිසරින් ආශ‍්‍රයෙන් පරිහරණයට පහසු පුපුරණ ද්‍රව්‍යයන් නිර්මාණයකිරීම කෙරෙහි වඩවඩාත් යොමුවිය. 

ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ මේ පර්යේෂණ 1867 වර්ෂයේදී සාර්ථකත්වයට පත්වේ. පරිහරණයට පහසු නයිට්‍රෝග්ලිසරින් සංයෝගයක් නිෂ්පාදනයකිරීමට මේ වසරේදී ඔහු සමත්වේ. ඔහු නිෂ්පාදනය කළ මෙම සංයෝගය මූලික සංඝටක 03 කින් සැදුම් ලද්දකිි. එහි නයිට්‍රෝග්ලිසරින් සංඝටකයත්, මැටි ආශි‍්‍රත පාංශු සංඝටකයක් සහ සෝඩියම් කාබනේට් සංඝටකයක්ද ඇතුළත් විය. මෙම රසායනික මිශ‍්‍රණය ආරම්භයේදී හඳුන්වන ලද්දේ ‘නොබෙල්ගේ පුපුරණ කුඩු’ යන නමිනි.

ගී‍්‍රක භාෂාවෙන් ‘බලය’ යන අර්ථය දෙන ඩයිනමයිට් යන නම ඒ සඳහා ඉන් අනතුරුව යෙදිණි. එම වසරේදීම ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් සිය නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබාගන්නා ලදි. ලෝක කාර්මික පුනරුදයේ ආරම්භය වූ මේ අවධියෙහිදී ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ ඩයිනමයිට් නිෂ්පාදනය වාණිජ වශයෙන් අතිශය සාර්ථකවේ. 

පතල් කැණීම් මෙන්ම ඛණිජ ආශී‍්‍රත සෙසු කර්මාන්තවලටද මහා මාර්ග ෂහ උමං මාර්ග ඇතුළු ඉදිකිරීම් කේෂ්ත‍්‍රවලත් පිරිවැය අවමකිරීමට සමත්වන ඩයිනමයිට් සංයොගය ඒ කේෂ්ත‍්‍රයන්හි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්වේ. අවිආයුධ නිෂ්පාදන කේෂ්ත‍්‍රය පෙර නොවූ විරූ තරම් ප‍්‍රබලව නැග එන්නට ඩයිනමයිට් ප‍්‍රබල දායකත්වයක් සපයයි. ලෝක සංග‍්‍රාම කිහිපයකම අතිශය විනාශකාරී කාර්යයන් සිදුකළ ඩයිනමයිට් ලෝකයේ භාවිත වන පුපුරණ ද්‍රව්‍ය අතරින් පෙරටම එන්නටද සමත්ව ඇත. ඒ හරහා ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ ඩයිනමයිට් නිෂ්පාදනය ලෝකයට මරණය ගෙන එන නිෂ්පාදනයක් බවටත් ඇල්ෆ‍්‍රඩ් නොබෙල් මරණයේ වෙළෙන්දා බවටත් පත්විය.

ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විසින් දිගින් දිගටම කළ පර්යේෂණයන්හි ප‍්‍රථිඵලයක් වශයෙන් 1876 වසරේදී ජෙලග්නයිට් නමැති ප‍්‍රබල දහනකාරක රසායනිකය සොයාගන්නට ද ඔහු සමත්වේ. වර්තමානයේ පවා රොකට් එන්ජින්වලට යොදාගන්නා දුම් රහිත දහනකාරකයක් වන බැලිස්ටයිට් නම් රසායනික සංයෝගය නිෂ්පාදනයට පවා ඇල්ෆ‍්‍රඩ් නොබෙල්ගේ ඉහත පර්යේෂණ දායකව ඇත. 

ලෝකයේ බොහෝ නිපැයුම්වලට මාර්ගය සකසන්නට කටයුතු කළ මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන්නන් දිරිමත් කරන්නටත් තම පෞද්ගලික ධනය කැප කරමින් ලෝකය තුළ සදාතනිකව සිහිකරනු ලබන්නෙකු බවට පත්වූ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10 වන දින ඉතාලියේදී මියයන ලදි.




(Images were taken from; respectively - iflscience.com and nobelprize.org)
author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

8 comments

A very informative post!Learnt many things about dynamite!

Reply

Thank you. I am glad that this was helpful to you.

Reply

බොහොම රසවත් ලිපියක්. කියව්වත් කමෙන්ටුවක් දාන්න වෙලාවක් තිබුනෙ නෑ. ඇල්ෆ්‍රඩ් ගැන දැනගෙන හිටියත් අර මරණය සම්බන්ධ සිද්ධිය ගැන ඇහුවෙ මේකෙන්. කොහොම උනත් ඒ පුවතේ වැරැද්ද ඓතිහාසිකයි. මේ වගේම ඓතිහාසික වැරැද්දක් ඔයාලගෙ රාවයටත් වෙලා තියනව. ප්‍රේමදාස මහත්තයගෙ මරණයට කලින් සතියෙ.

Reply

බොහොම ස්තූතියි රාජ්. මොකද්ද රාවයට වුන වැරැද්ද? :) ප්‍රේමදාස මහත්මයාගේ ඝාතනය වෙනවා කියලා වික්ටර් අයිවන් මහත්මයට ලැබුනා කියන දුරකථන පණිවිඩයද?

Reply

ඔව් අර පත්තරේ මුද්‍රණයේ ගැටළුවක් නිසා වෙලාවට බෙදන්න බැරිවීම. ඒක බෙදාගන්න ලැබුන නං ඉතිහාසය වෙනස් වෙන්න ඉඩ තිබුන

Reply

ඔව්, සම්පූර්ණ සිද්ධිය දන්නවද? රාවය මුල් කාලේ මුද්‍රණය කරලා තියෙන්නේ සර්වෝදයේ මුද්‍රණාලයක. වික්ටර් අයිවන් මහත්මයා අදටත් කියන්නේ ඒ මුද්‍රණ ගැටලුව කාගේ හරි බලපෑමක් උඩ සිද්ධවුන දෙයක් කියලා. ඊට පස්සෙලු එයාට හිතුනේ රාවයට කොහොම හරි වෙනම මුද්‍රණාලයක් පටන්ගන්න.

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top