ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්තී‍්‍රභාවය (Femininity) සහ පුරුෂභාවය (Masculinity) යන්න ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පයේ මූලිකත්වය ගන්නා අතර කාන්තාව සහ පිරිමියා විසින් සමාජය තුළ නිරූපනය කරන භූමිකාවන් ඒ හරහා නිරූපනය වේ.
ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනය 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. ඈන් ඔස්ලේ වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසු කාලීනව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වර්ධනය විය.
ස්තී‍්‍ර-පුරුෂ සමාජභායව (Gender) සහ ලිංගිකත්වය යනු (Sex) එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. ලිංගිකත්වය හුදෙක් ජීව විද්‍යාත්මක සහ මානව ප‍්‍රජනනය සම්බන්ධ කාරණයකි.
මෙම සංකල්පය පුළුල් ලෙස ව්‍යාප්ත වූයේ බටහිර සන්දර්භයේය. බටහිර සමාජ වටිනාකම් ඔස්සේ ව්‍යාප්ත වූ සංකල්පයක් බැවින් ආසියාතික, අප‍්‍රිකානු සහ ලතින් ඇමරිකානු සමාජ සන්දර්භය සතු වටිනාකම් අවබෝධ කර ගැනීමෙන් තොරව මෙම සංකල්පය හදුන්වාදීමට දරන ලද උත්සහයන් නිසාවෙන් ගැටළු නිර්මානය විය.
ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ ආරම්භයේ සිට විද්‍යාමාන වන එළැඹුම වූයේ එය පුරුෂාධිපත්‍යට එරෙහි සංකල්පයක් ලෙසිනි. පුරුෂාධිපත්‍යය යන්න කවර සමාජ ක‍්‍රමයක සම්භවය වූ සංකල්පයක්ද යන්න නිෂ්චිතව හදුනාගැනීමට අපහසුය. පීතෘ මූලික සමාජයක පුරුෂයා කෙරෙහි ආධිපත්‍ය බල රටාවක් ගොඩ නැගූ බව පුරුෂාධිපත්‍යය සංකල්පයේ ඓතිහාසික මතවාද විමසුමට ලක් කිරීමේදී පැහැදිලි කෙරේ.
මීට අමතරව මහාචාර්ය මෝටිමෝ වීලර්, දික්ෂිත් වැනි පුරාවිද්‍යාඥයින් මොහෙන්දජාරෝ, හරප්පා ශිෂ්ටාචාර ආශ්‍රිත කැනීම් ඇසුරෙන් මව් දෙවඟන සංකල්පය එම ශිෂ්ඨාචාර තුළ පැවැති බව හදුනාගෙන තිබේ. ඒ අනුව ඒවා පුරුෂාධිපත්‍ය සමාජ ක‍්‍රමයන්ට පෙර කි‍්‍රයාත්මක වූ ස්ත‍්‍රිය මූලික කරගත් සමාජ ක‍්‍රමයක් වශයෙන් විශ්වාස කෙරෙයි.
ලෝකයේ බොහෝ නව මතවාදයන් ව්‍යාප්ත වූ සමයක ස්ත‍්‍රිත්වය පිලිබදව නව්‍යවාදී දෘෂ්ඨිකෝනයකින් විග‍්‍රහ කළ රසෑන් අයිස්ලර් ස්වකීය විග‍්‍රහයේදී අර්ථකතනය කරන්නේ පේ‍්‍රමය සහ සමාව පිළිබඳ ඉගැන්වෙන ආගමක් වශයෙන් ක‍්‍රිස්තියානි ධර්මය තුළින් හෝ පෘථීවිය මත ස්ත‍්‍රීත්ව සංකල්පය සාධාරනීකරනය කර නොමැති බවයි. ශුද්ධ වූ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ලෝකෝත්පත්ති කථාවේ ලෝකයේ මැවීම පිළිබද සංකල්පයේදී ගැහැණියට ද්විත්ව ස්ථානය ලබා දී තිබෙන බව අයිස්ලර්ගේ අදහසයි.
පුරුෂාධිපත්‍ය සමාජ ක‍්‍රමය වඩ වඩාත් ස්ථාවරවත්ම කාන්තාවගේ ස්ථානය මව් දෙවඟනගේ සිට උපයෝගීතා භාණ්ඩයක මුහුණුවර දක්වා විකාශනය විය. ජනමාධ්‍ය, වෙළඳ දැන්වීම්, සිනමාව ආදීමේ බොහෝ කේෂ්ත‍්‍රවල කාන්තාව උපක‍්‍රමික අරමුණු සහිතව භාවිතකෙරෙන්නක් බවට පත්විය. කාන්තාව සහ මාධ්‍ය භාවිතය සම්බන්දයෙන් ප‍්‍රථම වරට ජාත්‍යයන්තර අවධානය යොමු වූයේ 1982 වසරේ පැරීසියේ පැවති කාන්තාව හා ජනමාධ්‍ය සමුළුවේදීය.
ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ කාන්තාව පිළිබදව සාකච්ඡා කිරීමේදී ප‍්‍රධාන ලක්ෂන 02 ක් හදුනා ගැනිමට පිලිවෙන. පළමුවැන්න කාන්තාවන් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා ආශ‍්‍රිතව නියැලමේ ප‍්‍රතිශතය අඩු වීමයි. දෙවැන්න එසේ වුවද ස්ත‍්‍රී රූපය මාධ්‍ය තුල බෙහෙවින් දැකිය හැකි වීමයි.
වර්තමාන ලෝකය තුළ ප‍්‍රවෘත්ති, දැනුම සහ විනෝදාස්වාද යන මානව සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ කිරිමෙහිලා මූලිකම දායකත්වය ජනමාධ්‍ය විසින් සපයනු ලැබේ. ඕනෑම සමාජ ස්ථරයක පවුල් ඒකකයක් තුළ පුවත්පත අතිශය වැදගත් ස්ථානයක් හිමිවන අතර ගුවන්විදුලිය, රුපවාහිනිය වැනි සෙසු ජනමාධ්‍යවලටද එලෙසම වැදගත්කමක් හිමිවේ.
මහජනතාව විවිධාකාර කාරණා පිළිබඳ තම මතය ගොඩනගා ගන්නේ ඔවුනට ලැබෙන තොරතුරු තෝරා බේරා ගැනීමෙන් සහ අවබෝධකර ගැනිමෙනි. ඒ කාර්යය ඉටුකිරීම හරහාම ජනමාධ්‍ය මඟින් බොහෝ මතවාදයන් සමාජගත කරනු ලබයි. මාර්ෂල් මැක්ලූහාන් විසින් 1964 වර්ෂයේ ලියූ ‘The Medium is the message’ ග‍්‍රන්ථයේ සඳහන් කළ ආකාරයට ප‍්‍රවෘත්ති සහ විනෝදාස්වාදය ලබාදීම හැරුණුකොට ජනතාවගේ මතවාද, ආකල්ප සහ විශ්වාසයන් සකස් කිරිමටද එය කටයුතු කරයි. ඒ අනුව මහජන මතය සකස් කිරීමට හෝ වෙනස් කිරිමට ජනමාධ්‍ය සතුව අසීමිත බලයක් ඇත.
ගැහැණිය සහ පිරිමියා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාද පැතිරවිමට සහ ඒවා ශක්තිමත් වීමට වැඩියෙන්ම බලපානු ලබන්නේ ජනමාධ්‍යයි. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජනමාධ්‍යයේ හැසිරීම පුරුෂාධිපත්‍ය තුළ කාන්තාවට හිමි ද්විතීය ස්ථානය සාධාරණීකරණය කරන සහ එය ප‍්‍රචලිත කරන ආකාරයේ එකක් බව අතිශය පැහැදිලිය.
උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යනාංශයේ ආචාර්ය ජූලියා T. වුඩ් ප‍්‍රකාශ කරන ආකාරයට ජනමාධ්‍ය ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබද ජනමතය හසුරවන්නට දායකවන ආකාර 03 ක් ඇත.
01. කාන්තාව අවතක්සේරුකරණය කිරිම.
02. කාන්තාව සහ පුරුෂයාට සමාජයේ පිළිගත් මතය තුළ හිමි ප‍්‍රතිරූප දිගින් දිගටම ප‍්‍රචාරණය කිරීම.
03. කාන්තාව පුරුෂයාට වඩා අඩු වැදගත් බවින් පෙන්විම
ජූලියා වුඩ් සඳහන් කරන ආකාරයට පුවත්පතක ලිපි හා දැන්වීම් තුල, රූපවාහිනි ප‍්‍රවෘත්ති හෝ වෙනත් වැඩසටහන්වලදි වඩා වැදගත් කාර්යය පිරිමියාට පැවරීම සහ වැඩසටහනෙහි වැඩි අවධානය පිරිමියාට පැවරීම සෑමවිටම පාහේ සිදුවේ. මේ තුළ කාන්තාවට වඩා පුරුෂයා හැකියාව සහ ප‍්‍රතිරූපය අතින් ඉදිරියෙන් සිටින්නේයැයි අදහසක් ගම්‍යකරන බව ඇගේ අදහස විය.
කාන්තාවට වඩාත් සුදුසු ඉවුම්පිහුම්, රූපලාවන්‍ය වැනි කාර්යයන් මිස දේශපාලනය වැනි වඩාත් සංකිර්ණ මාතෘකා නොවේයැයි කියාපෑමටත් එය තහවුරුකිරිමටත් සිය වැඩසටයන්වල නිවේදන හෝ නිරූපන ශිල්පීන් තෝරාගැනීමේ කාර්යය හරහා මාධ්‍යය දායක වෙන බව ඇය තව දුරටත් කියා සිටියි.
ජනමාධ්‍ය තුලින් ස්ත‍්‍රීය සහ පුරුෂයා නිරූපනය කිරීම පිලිබදව සලකා බැලීමේදී ගමක නායකයා, වනාන්තරයේ සතුන්ගේ රජු ආදී වශයෙන් වඩාත් බලවත් සහ ඉදිරිපෙළ චරිතය පිරිමි චරිත වීමත් කාන්තාවට හිමිවන්නේ රැුවටීමට ලක්වන්නන්ගේ හෝ අහිංසක චරිතය බවත් හදුනා ගැනීමට හැකි වේ.
වෙළඳ ප‍්‍රචාරණය කාර්යයන් තුළ බොහෝවිට කාන්තාව පෙනී සිටින්නේ ඉවුම් පිහුම් හෝ රෙදි සේදීම සිදුකරන ගෘහණියගේ චරිතයටයි. එසේ නොවන අවස්ථාවල වෙළඳ දැන්වීම් විසින් ගැහැණියගේ සරාගී ඉරියව් දක්වමින් හෝ ඇයගේ සිරුරේ අඟපසඟ ඉස්මතු කරමින් ඇයව නිරූපනය කරන අතර ඒ හරහා ලිංගිකත්වය උත්තේජනය කරන්නියක වශයෙන් ඇය පිළිබඳ ඇති සම්ප‍්‍රදායික ප‍්‍රතිරූපය වර්ධනය කරන්නට කටයුතු කරයි. ජනමාධ්‍යවල පලවන කාන්තාවන් පිළිබඳ සාරාගික දර්ශන සහ කාමය අවුස්සන සුලු දර්ශන ස්තී‍්‍ර දූෂණ සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් වර්ධනය වීම කෙරෙහි සෘජුව බලපාන බව බොහෝ සමාජවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් අනාවරණයව ඇත.
කාන්තාව උපයෝගීතා භාණ්ඩයක් වශයෙන් සමාජගතකිරීම හැරුණුකොට ජනමාධ්‍ය විසින් කාන්තාවට අත්කරන භයානකම තත්ත්වය නම් කාන්තාව සහ පුරුෂයා අතර සම්ප‍්‍රදායික සබඳතාවයේ උසස් බව පෙන්වා සිටීමට සහ කාන්තාවට එරෙහි හිංසනය සහ ප‍්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණයකිරීමට කටයුතුකිරීමයි.
රූපවාහිනි නාට්‍ය හෝ රූපවාහිනිය මගින් ප‍්‍රචාරණය වන චිත‍්‍රපටි හරහා ගැහැණිය පිරිමියාගේ ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන ආකාරය හා ඇය එවැනි හිංසනයන් තනිව දරා සිටින ආකාරය ආදිය පෙන්වා සිටී. කාන්තා හිංසනයන් නිරූපනය කරන මුත් එයින් පිරිමියාගේ ආධිපත්‍ය ගම්‍යකිරීම හැර කාන්තාව එයට විරුද්ධව නැගී සිටින ආකාරය හෝ ඇය ඒවාට විරුද්ධව නීතිය ඉදිරියට යන ආකාරය බොහෝ විට මෙම නාට්‍ය/චිත‍්‍රපට තුල දර්ශනය නොවේ. ඒ හරහා පිරිමියාගේ ඇති අධිපතීත්වය තහවුරු කරන්නටත් පිරිමි ආධිපත්‍ය හමුවේ කාන්තාව ප‍්‍රතිචාරය දැක්විය යුත්තේ හුදෙක්ම නිහඬතාවයෙන් පමණකැයි ඒත්තු ගන්වන්නටත් මාධ්‍ය දායකවේ.
1883 දී ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද දණුඩ නීති සංග‍්‍රහය මගින් සහ 2005 වසරේදී සම්මත වූ ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැලැකිවීමේ පනත මඟින් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය වළක්වාලීම සඳහා ඉඩකඩ සලසා ඇත. එසේ වුවද නීතියේ පරාසයන්ට හසු නොවන්නා වූ මනෝවිද්‍යාත්මක කි‍්‍රයාකාරීත්වයක් හරහා පුරුෂාධිපත්‍ය තහවුරුකිරීමත් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම්කරගත් හිංසනය සාධාරණීකරණයකිරීමත් සිදුවන බව පැහැදිලිය.
ජනමාධ්‍ය හරහා ප‍්‍රතිනිරූපනය වන්නේ පවතින සමාජයෙහිම තවත් එක් හරස්කඩකි. ඒ අනුව කාන්තාව සහ පුරුෂයා පිළබඳ සම්ප‍්‍රදායික අදහස් නඩත්තු කිරීමට ජනමාධ්‍ය යොමුවීම සමාජය තුළ තවමත් ඒ තත්ත්වය එලෙසින්ම පවතින නිසා සිදුවූවක් මිස අන් හේතුවක් මත සිදුවන්නක් නොවේ.
කොකාකෝලා සමාගම විසින් වෙළඳපොලට හඳුන්වාදුන් Fairlife නම් කිරි ආශි‍්‍රත නව නිශ්පාදනයක් පිළිබඳ දැන්වීම් මාලාවක් 2014 නොවැම්බර් මාසයේ එක්තරා දිනෙක පළවිය. මෙම දැන්වීම් මාලාවට යොදා තිබූ මූලික සිරස්තලය "ඇය ඇඳන් ඉන්න දේ ඔබ බොන්න." යනුවෙන් අර්ථ දෙන්නක් විය. එම දැන්වීමෙහි නිරූපිකාවගේ කෙටි ඇඳුම නිරූපනය වී තිබුනේ කිරිවලින් තැනුන ආකාරයෙනි.
80 ව දශකයේ වඩාත් ජනප‍්‍රිය පෝස්ටර් සිතුවමක් වූ ‘Pin Up Girls’ චරිත ආදර්ශයට ගනිමින් සකසා තිබූ මෙම දැන්වීම් ලෝකයේ බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්විය. ගාර්ඩියන් වැනි පුවත්පත් පවා මෙම දැන්වීම පිළිබඳ එදිරිව කතා කරනු දැකිය හැකිවිය. ස්ත‍්‍රී අඟ පසඟ වඩ වඩාත් ඉස්මතුව පෙනෙ ආකාරයට දැන්වීම නිර්මාණයකිරීමට නිරමාණකරුවන් වෙහෙසව තිබෙනු එහිලා දැකිය හැක. දැන්වීමේ පැහැදිලි අරමුණව ඇත්තේ කාන්තා ශරීරය හරහා ලිංගික ආකර්ෂණය ඇතිකර වෙළඳ ප‍්‍රචාරණය සිදුකිරීමයි. ව්‍යාපාරිකයා විසින් ඇය ඇද සිටින ඇදුම පාරිභෝගිකයාට පානය කරන ලෙස ආරාධනා කරයි. එසේකිරීමෙන් ඇය නිරුවත් වන බව එහි යටි අර්තයයි.
කාන්තාව යන වචනය සහ ඇගේ රූපය සිතුම් පැතුම් හා ආකල්පවලට බලපෑම් කිරීමට හැකි වචනයක් ලෙස මාධ්‍ය ලෝකයේ සැලකේ. ස්ත‍්‍රිය යනු පොදු ජනයාගේ ආකල්ප මත නිර්වචනයවන්නකි. එහි අර්ථය නම් අවශ්‍ය නම් සමාජයට ස්ත‍්‍රිය ලිංගික භාණ්ඩයක් වශයෙන් සැලකිය හැකි බවත් නැතහොත් සමාජයට එය පිරිමින් සහ සමතැන්හි ලා සැලකිය හැකි බවත්ය. වෙනස ඇත්තේ ස්ත‍්‍රිය පිළිබඳ සමාජයේ මේ ආකල්ප හැඩගැසීමට ජනමාධ්‍ය විසින් සෘජු කාර්යයක් සිදුකිරීම තුළය.
සන්නිවේදන අර්බුද සඳහා වන ජාත්‍යන්තර කොමිසම විසින් සකසනු ලදුව 1980 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් ප‍්‍රසිද්ධ කළ ‘Many Voices One World’ හෙවත් මැක්බ‍්‍රයිඩ් වාර්තාවට අනුව ප‍්‍රචාරණය සහ ආකාර්ෂණය සඳහා ජනමාධ්‍ය විසින් කාන්තාව බහුලව භාවිතවුවද එකී ජනමාධ්‍යම කාන්තාවන් සදහා සංවේදී වන සංස්කෘතික, දේශපාලනික හෝ ආර්ථිකමය කරුණු ආවරණයකිරිම සඳහා යොමුකරනුයේ අතිශය පටු අවධානයකි. පුවත්පත් සඟරා ලිපි සහ දැන්වීම් ඇතුලු බොහෝ ජනමාධ්‍ය සන්නිවේදන කි‍්‍රයාකාරකම් තුළ කාන්තා චරිත පිරිමියාට යටත්ව සිටින, බුද්ධි හීනබවින් යුත්, මිත්‍යා විශ්වාස දරන, අසාමාන්‍ය ලෙස හැඟීම්බරව හැසිරෙන, බොහෝ විට ගෙදර වැඩපල සම්බන්ධයෙන් පමණක් වගකීම දරණ සහ කාමුක හැඟීම් දනවන පරිද්දෙන් නිරූපනය වේ.
ඒ අනුව ලෝකයේ කිසිම තැනෙක ජනමාධ්‍ය හා කාන්තාව අතර සම්බන්දතාවය මෙන්ම කාන්තාවගේ සිතුම් පැතුම් හැඩගැස්වීමෙහිලා ඒවා විසින් සිදු කර ඇති බලපෑම ද ධනාත්මක මානයෙන් හදුනාගත නොහැකිව ඇත.
1995 පැවැත්වූ ලෝක කාන්තා සමුළුවේ ප‍්‍රතිපලයක් ලෙස සැකසුනු ගෝලීය ක‍්‍රියාකාරී සැලැස්ම පදනම් කරගෙන 1996 දී මෙරට රජය විසින් කාන්තාවන් වෙනුවෙන් ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් සකස්කරන ලදී. කාන්තාවන්ට එරෙහි හිංසනය, කාන්තාව සහ මානව හිමිකම්, කාන්තාව සහ යුධ ගැටුම්, අධ්‍යාපනය හා පුහුණුව, ආර්ථික කටයුතු සහ දිළිදුකම, පරිසරය සහ තීරණ ගැනීම ආදී වශයෙන් අවධානය දැක්විය යුතුයැයි ඉහත වාර්තාවෙන් විශේෂණය කර තිබූ කේෂ්ත්‍ර අතර ගැහැණු දරුවා සහ මාධ්‍ය යන්න වඩාත් ප්‍රමුඛ එකක් විය. 1996 දී එවැන්නක් ක්‍රියාකාරී සැලැස්මක් යටතට ගැණුන නමුත් මේ දක්වාත් රජය විසින් එ් සම්බන්ධයෙන් ගනු ලැබූ පැහැදිලි පියවරක් හදුනාගන්නට නොමැත.
ජනමාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පුහුණු ආයතනවලට ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ ක‍්‍රමානුකූලව දැනුවත්කිරීමක් අවශ්‍යව ඇති අතර පොදු සමාජය තුළ ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ ඇති වැරදි මත ඉවත් කිරීමට කටයුතුකිරීමත් තම මාධ්‍ය භාවිතය තුළින් සිදුවිය හැකි එවැනි වැරදි මත තහවුරු කෙරෙන ආකාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ස්වයං වාරනයක් සහිතව ක‍්‍රියාකිරීමත් ජනමාධ්‍ය සතු වගකිමකි.
(Images were taken from; respectively - GQ Magazine, indephendent.co.uk, psfk.com )
3 comments
මිස් මට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ස්තූතියි සරලව, වැදගත් කරුණු රැසක් පැහැදිලි කළාට...
Replyමොකද කාලෙකින් ලියල නැත්තෙ?
Replyඔබගේ ලිපිය අගෙයි... අපගේ ට්‍රස්ට් සඟරාවට ඔඅබගේ ලිපිය පලකිරීමට කැමැති... ඔබට සාධරණයක් වන ලෙස
ReplyPost a Comment