Loading...

දෙයියන්ගේ කැඳ



අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම ඉලක්ක කරගනිමින් 2006 වසරේ සිට පාසල් දරුවන් මූලික කරගත් විශේෂ පෝෂණ ව්‍යාපෘතියක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඉහත ව්‍යාපෘතියට සමගාමීව 2014 මැයි මාසයේ සිට උතුරුමැද පළාත් පාසල් දරුවන්ට දේශීය සහල් අඩංගු කැඳ වේලක් ලබාදීමට කටයුතු කර තිබේ.ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා යන දෙදින අනිවාර්යයෙන්ම ‘හෙළ සුවය’ කැඳ නම් වූ කැඳ වර්ගයක් පානය සඳහා ලබාදීමට අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ.

මුල් අදියර යටතේ දරුවන් 703 දෙනකුට මෙම කැඳ පානය ලබාදීමට කටයුතු කළ අතර මේ වනවිට උතුරුමැද පළාතේ පාසල් 300 ක දරුවන් 89,439 කට මෙම ව්‍යාපෘතිය හරහා කැඳ ලබාදීම සිදුකරන බව වාර්තා වෙයි. අනුරාධපුර, පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල බහුල වශයෙන් වාර්තා වී ඇති වකුගඩු රෝගී තත්ත්වය වළක්වා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ බව රජය කියයි. එබැවින් ‘හෙළ සුවය’ කැඳ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ උතුරුමැද අධ්‍යාපන බලධාරීන්ගේ නියෝගයක් ලෙසිනි.

හෙළ සුවය ආවේ කොහොමද?

ඌන පෝෂණ මට්ටමකින් පසුවන, සෞඛ්‍ය ගැටලූ රාශියකින් පෙළෙන මෙම ප‍්‍රදේශයේ දරුවන්ට ලබාදෙන හෙළ සුවය කැඳ පානය ව්‍යාපෘතියට කැඳ සැපයුම්කරුවන් තෝරාගෙන ඇති ආකාරයත්, හෙළ සුවය කැඳ නිෂ්පාදනයේ ප‍්‍රමිතියත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙම නිෂ්පාදන පිළිබඳව ලබාදී ඇති නිර්දේශයන් කවරාකාරද යන්න පිළිබඳවත් මේ වනවිට බලවත් ගැටලූ පැන නැගී තිබේ.

පළමුවැනි ගැටලූව මේ කැඳ පැකට්ටුවක ඇති අසාධාරණ බව පෙනීයන මිල යි. කැඳ පැකට්ටුව යනු කැඳ පිසීම සඳහා අවශ්‍ය වන සහල් හා අනෙකුත් අමුද්‍රව්‍ය අඩංගු පොලිතින් පැකට්ටුවකි. ‘හෙළ සුවයෙන් තිළිණයක්’ යනුවෙන් සඳහන් කර පාසල්වලට ලබාදී ඇති මේ කිලෝග‍්‍රෑම් එකේ කැඳ පැකැට්ටුවක මිල රුපියල් 700 කි. රුපියල් හත්සීයක පැකට්ටුවක් ‘තිළිණයක්’’ නොවුණා නම් කොපමණ මිලක් විය හැකිද යන්න තවත් ප‍්‍රශ්නයකි. පැකට්ටුවේ ඇතුළත් මිශ‍්‍රණයේ 98% ක්ම දේශීය සහල් අඩංගු වන අතර ඉතිරිය ගොටුකොළ, සුදුළුෑනු, හීංබෝවිටියා, උඳුපියළිය ආදී ඖෂධ වර්ගවලින් සමන්විතය.

එහෙත් කෙටියෙන් කිවහොත් පැකට්ටුවේ ඇති දෑ රුපියල් 700 ක් වටින්නේ කෙසේදැ’යි පැහැදිලි නැත. කැඳ මිශ‍්‍රණයේ අඩංගු ද්‍රව්‍ය හා එහි මිල ගණන් සසඳන කල ඉතා ඉහළ ලාභයක් ලබාගනිමින් වැඩි මිලකට උතුරුමැද පළාතේ දරුවන්ට හෙළ සුවය ලබාදීමට කටයුතු කර ඇති බව පැහැදිලි වේ. මැයි මාසය සඳහා ගෙවීම් වශයෙන් රුපියල් 3,782,662 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හඳුන්වා දුන් හෙළ සුවය ආයතනයට ගෙවා ඇති අතර ජුනි මස සඳහා රුපියල් 3,661,160 ක මුදලක බිල්පත් ඉදිරිපත් කොට තිබේ. ජූලි මාසය සඳහා කැඳ පැකට් දැනට කොට්ඨාස කාර්යාලය වෙත ලබාදී තිබේ. මේ අනුව රජය ආහාර හා පෝෂණ ව්‍යාපෘතිය හරහා දරුවන්ට වෙන්කර ඇති මුදලින් විශාල කොටසක් මෙම නිෂ්පාදන ආයතනයේ ගිණුම්වලට බැරවේ.

පෝෂක ව්‍යාපෘතියෙන්  දිනකට එක් දරුවකු සඳහා  රුපියල් 24 ක මුදලක් වෙන්කර ඇති අතර ඉන් රුපියල් 7 බැගින් දින දෙකකට රුපියල් 14 ක මුදලක් මෙම කැඳ ව්‍යාපෘතියට අයකර ගනු ලැබේ. පවතින පෝෂණ ව්‍යාපෘතියේ සැපයුම්කරුවන් වන ප‍්‍රදේශයේ සමෘද්ධිලාභීන්ගේ පෝෂණ සැපයුම් වෙනුවෙන් ලබාදෙන රුපියල් 24 ක මුදලින් රුපියල් 7 ක මුදලක් මෙම කැඳ පානය සඳහා අයකර ගන්නා බැවින් ඔවුන්ටද මෙමගින් බරපතළ අසාධාරණයක් සිදුවී ඇත.

ඇසුරුම් ප‍්‍රමිතියක් නැහැ මෙම කැඳ පානයේ

හඳුනාගත හැකි අනෙක් ප‍්‍රධානම ප‍්‍රශ්නයක් වන්නේ ආහාරයක් ලේබල් කිරීම සම්බන්ධ ප‍්‍රමිතියෙන් තොරව එය සිදුකර තිබීමය. ආහාර ඇසුරුම් කිරීම සම්බන්ධ ප‍්‍රමිතිය මූලික වශයෙන් නීතිගතවී ඇත්තේ 1980 ආහාර පනත ප‍්‍රකාරවය. පනතේ 32 වගන්තිය මගින් සෞඛ්‍ය ඇමතිවරයාට ආහාර ඇසුරුම් කිරීම හා බෙදාහැරීමේ ප‍්‍රමිතිය පිළිබඳ බලය ලබාදී ඇත. මේ අනුව 2005 වසරේ, එවකට සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගැසට් නිවේදනයක් හරහා ආහාර (ලේබල් කිරීම සහ දැන්වීම් පළකිරීම සම්බන්ධ) රෙගුලාසි ප‍්‍රසිද්ධ කරන ලදි. ආහාර ද්‍රව්‍ය ලේබල් කිරීම සම්බන්ධව පවතින නීතිය වන මෙම රෙගුලාසිවල අංක 4 (1) වගන්තියට අනුව ආහාර ලේබලයක නිෂ්පාදකයාගේ, ඇසුරුම් කරන්නාගේ, බෙදාහරින්නාගේ නම, ලිපිනය, ලේබලයේ ඇතුළත් කිරීම අනිවාර්යය. එහෙත් හෙළ සුවය නිෂ්පාදනයේ නිෂ්පාදකයාගේ, අසුරන්නාගේ හෝ බෙදාහරින්නාගේ නම හා ලිපිනය ලේබලයේ කිසිදු ස්ථානයක සඳහන් කර නොමැත.

එම රෙගුලාසිවල අංක 04 (1) වගන්තියට අනුව, ලේබලයේ අඩංගු වියයුතු මූලිකාංග 5ක් පැහැදිලිව දක්වා ඇති අතර ඒ අතුරින් නිෂ්පාදනයේ කාණ්ඩ අංකය සටහන් කිරීම අනිවාර්යය කරුණකි. උතුරුමැද පළාතේ දරුවන් 89,439කට ලබාදෙන මෙම හෙළ සුවය කැඳ පානයේ ලේබලයේ අඩුගණනේ කාණ්ඩ අංකයක්වත් ඇතුළත් වන්නේ නැත.

දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ යැවීමටයැ’යි කියා ගනිමින් ක‍්‍රියාත්මක වන මෙම කැඳ පානයේ ප‍්‍රමිතිය පිළිබඳව මේ අනුව ගැටලූ මතුවෙයි.අදාළ නිෂ්පාදන ආයතනයට පාරිභෝගිකයකු ලෙසින් පෙනීසිටිමින් අප කළ විමසුමකදී එම ආයතනයේ නිලධාරියකු ප‍්‍රකාශ කළේ මෙම කැඳ පානය වර්ග 03කින් වෙළෙඳපොළට නිකුත් කරන බවයි. 
සුදු පැහැති ලේබලය අඩංගු පැකැට්ටුවේ සුදුළුෑනු, රතුළුෑනු, ගම්මිරිස්, රම්පේ, කරපිංචා, සූදුරු, උළුහාල්, කොත්තමල්ලි සහ අබ ඇතුළත්ව ඇත. නිල් පැහැති ලේබලය සහිත පැකැට්ටුවේ සුදුළුෑනු, රතුළුෑනු, ගම්මිරිස්, රම්පේ, තෙබුකොළ, කරපිංචා, සූදුරු, උළුහාල්, කොත්තමල්ලි, පොල්පලා, නීරමුල්ලිය, හාතවාරිය, මුංඇට, අබ, වැල්පෙනෙළ, කළුතලා, ගොටුකොළ, රාබුකොළ, ඉරිවේරිය, ඉරමුසු, වැල්දොඩම් කොළ, රතකුප්ප, කඩල, බණ්ඩක්කා, මඩතවාලූ පිටි, කහවනු පිටි, මීපැණි සහ එළඟිතෙල් අඩංගුය. 

කොළ පැහැති ලේබලයැ’ති පැකැට්ටුවේ ගොටුකොළ, හීන්බෝවිටියා, උඳුපියළිය, ඉරමුසු, තෙබු, නීරමුල්ලිය, හාතවාරිය, වරකාසිවිඩි, රණවරා මල්, බෙලිමල්, වැල්දොඩම් කොළ, මඤ්ඤොක්කා කොළ, කෝවක්කා, සුදුළුෑනු, අබ, රතුළුෑනු, දෙහි, උළුහාල්, ගම්මිරිස්, සූදුරු, රම්පේ, කරපිංචා, සතකුප්ප, මාදුරු, කරාබුනැටි, කොත්තමල්ලි, අළුකෙසෙල් අන්තර්ගතය. 

මේ අනුව සුදුපැහැති ලේබලය සහිත කැඳ පැකැට්ටුව වකුගඩු රෝගීන්ට යෝග්‍ය වන බවත්, නිල් පැහැති ලේබලය සහිත කැඳ පැකැට්ටුව හෘදය රෝගීන්ට සහ කොළ පැහැති ලේබලය සහිත කැඳ පැකැට්ටුව දියවැඩියා රෝගීන්ට වඩාත් යෝග්‍ය වන බවත් එම ආයතනයේ නිලධාරීන් විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

ක්ලාන්ත වන ළමයි

උතුරුමැද පළාතේ පාසල් බොහොමයකට මේ වනවිට බෙදාහැර තිබෙන්නේ කොළ පැහැති ලේබලය සහිත දියවැඩියා රෝගීන්ට විශේෂිත කැඳ පානය බව එම පාසල්වලින් අප කළ විමසුමකදී පැහැදිලි විය. කෙසේ වෙතත් මෙම කැඳ ව්‍යාපාරය ක‍්‍රියාත්මක වන උතුරුමැද පළාත් පාසල්වල දිනපතා ක්ලාන්තය සෑදෙන දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ඒ ප‍්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු ප‍්‍රකාශ කරති. ඒ කැඳ පානයෙන් පසු ඔවුන්ගේ සිරුරුවල සීනි මට්ටම පහළ යෑම නිසාද යන්න අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය බලධාරීන් විසින්ද සොයාබැලිය යුතු නොවේද? 

රටක ආහාරයක ඖෂධීය ගුණාංගයන් නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයක් හා ඒ යටතේ බලයලත් රාජ්‍ය ආයතන ස්ථාපිත කර ඇත. එහෙත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකොට නිසි ප‍්‍රමිතියෙන් තොර කැඳ පානයක් දරුවන්ට ලබාදීම වෙනත් සෞඛ්‍ය ගැටලූ රැසක් මතුකිරීමට හේතුවිය හැකි බව සාධාරණ බුද්ධියක් ඇත්තකුට පෙනී යනු ඇත. හෙළ සුවය කැඳ පානය උතුරුමැද පළාතට ලබාදීමට පෙර කොළඹ රාජකීය විද්‍යාලයේ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වී ඇත. දියවැඩියාව රෝගයෙන්, අධිපෝෂණයෙන් පෙළෙන දරුවන් බොහොමයක් පැමිණෙන රාජකීය විද්‍යාලයේ දරුවන්ට එම කැඳ පානයෙන් සුවයක් අත්වූවායැ’යි එම විදුහල්පති උපාලි ගුණසේකර මහතා කියයි. එහෙත් ඔහු එසේ ප‍්‍රකාශ කළ පමණින්ම වකුගඩු රෝගයෙන් බොහෝ දුරට පෙළෙන හා ඌන පෝෂණයට ගොදුරුවීමේ සම්භාවිතාව ඉහළ උතුරුමැද පළාතේ දරුවන්ට මෙම පානය ලබාදෙන්නට සුදුසුයැ’යි සිතුවේ කෙලෙසකද?

පාසල් දරුවන් සඳහා කි‍්‍රයාත්මක පෝෂණ ව්‍යාපෘතිය මුලසිටම ක‍්‍රියාත්මක වූවේ අඩු ආදායම්ලාභී දරුවන් මූලික කරගනිමිනි. ඒ ව්‍යාපෘතිය යටතේ එක් දරුවකුගේ පෝෂණය සඳහා දිනකට වෙන්කර ඇත්තේ රුපියල් 24ක් වැනි සුළු මුදලකි. එම රුපියල් 24ක මුදල පවා ප‍්‍රමාණවත් නොවන පසුබිමක එයින්ද වැඩි කොටසක් සතියට දෙවතාවක්ම වැය කරනුයේ දියවැඩියාව හා හෘදය රෝගීන්ට වඩාත්ම යෝග්‍යයැ’යි නිෂ්පාදකයන් විසින්ම සඳහන් කර ඇති ප‍්‍රමිතිය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති හෙළ සුවය කැඳ පානය සඳහාය.

වට්ටෝරුව නාථ දෙයියන්ගේ

ඉහත කැඳ වර්ග තුනක වට්ටෝරු කියවන්නකු තුළ ඊළඟට නැගෙන ප‍්‍රශ්නය වනු ඇත්තේ මේ වට්ටෝරු කවර ශාස්ත‍්‍රානුකූල හෝ විද්‍යාත්මක ක‍්‍රමයකට අනුව සකස් කරන ලද්දේද යන්නයි. මේ කතාවේ ඉතාමත්ම සිත්ගන්නාසුලූ කාරණයක් වන්නේ ද එයයි. මෙම කැඳ පැකැට්ටුව සකස් කළ යුතු ආකාරය ඇතුළත් උපදෙස් පත‍්‍රිකාවේ සඳහන් කර ඇති ආකාරයට මෙම කැඳ පානය දෙවිවරුන්ගෙන් ලබාගත් වට්ටෝරුවකට අනුව සාදන ලද්දකි. හෙළ සුවය කැඳ නිෂ්පාදන ආයතනයේ ප‍්‍රධානී ප‍්‍රියන්තා සේනානායක මහත්මිය පවසන පරිදි මෙම කැඳ පානය වෙළෙඳපොළට නිකුත් කර තිබෙන්නේ නාථ දෙවියන් ඇගෙන් කළ ඉල්ලීමකට අනුවය.

හෙළ සුවය වෙබ් අඩවියේ ‘අදිටන’ ලෙසින් සඳහන් පිටුවෙහි ප‍්‍රියන්තා සේනානායක මහත්මිය මේ නිෂ්පාදනය පිළිබඳව මෙසේ අදහස් ප‍්‍රකාශ කර ඇත. 

කුඩා කල පටන් ආධ්‍යාත්මික රසය හඳුනාගැනීමට හුරුවී සිටි මගෙන් නාථ දෙවියන් ඇතුළු දෙවිවරුන් පිරිසක් වැඩම කොට දැඩි ලෙස ඉල්ලූ ඉල්ලීමක් ඉෂ්ට කිරීම උදෙසා මම මෙම වැඩපිළිවෙළට ආරම්භය තැබුවෙමි.

නාථ දෙවියන් ප‍්‍රමුඛ දෙවිවරුන්ගේ අවධාරාණාත්මක ඉල්ලීම වූයේ විනාශ මුඛයට යමින් පවතින ශ‍්‍රී ලංකා සමාජය හා සම්බුද්ධ ශාසනය රැුකගැනීම උදෙසා මා හට ඉදිරිපත් වන ලෙසටයි. මෙහිදී අකුසල් සහිත සමාජයකට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට සම්බන්ධ විය නොහැකි බැවින් ඒ සඳහා කුසල් සහිත සමාජයක් බිහිකළ යුතු බවත් එය කිරීම උදෙසා මනුෂ්‍ය ලෝකයේ පිරිසිදු සීලයක් සහිත මනුෂ්‍යයන්ගේ සම්බන්ධය අවශ්‍ය බවත් එවැනි සමාජයක් බිහිකිරීම උදෙසා පුරෝගාමීත්වය ගන්නා ලෙසත් උන්වහන්සේ මගෙන් ඉල්ලා සිටි සේක.

අන්තර්ජාලය හරහා දෙවියන්ගෙන් ලබාගත් ඖෂධීය වට්ටෝරුවකට අනුව සකසන ලද ඖෂධීය පානයක් ලෙසින් හෙළ සුවය කැඳ පානය සමාජගත කිරීමට මෙම නිෂ්පාදකයන් උත්සාහ කර තිබේ.

මහින්දෝදයටත් කැඳ

දිවයින පුරා පාසල් කිහිපයකම මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව ගණනාවක් පසුගියදා පැවැත්වුණි. මේ සෑම උත්සවයකදීම ඊට සමගාමීව හෙළ සුවය කැඳ පානය නොමිලේ පිරිනමමින් මෙම නිෂ්පාදනය තව තවත් ප‍්‍රචලිත කිරීමට නාථ දෙවියන්ගෙන් පිරිවර පියවර ගෙන තිබේ. 

උතුරුමැද පළාතේ දරුවන්ට දෙන මේ කැඳ ආහාරය ගැන රටේ බලධාරීන්ගෙන්, මේ කැඳ පානයට දරුවන්ට ලබාදෙන්නාවූ පාසල්වල ගුරුභවතුන්ගෙන් වගේම මේ කැඳ ආහාරය නිෂ්පාදනය කරන සහ එය වර්ණනා කරන නොයෙක් දෙනාගෙන් අදහස් විමසන්නත් අපි කටයුතු කළා. මේ එසේ ලබාගත් අදහස් කිහිපයක්.

රොහාන් මීවනගේ 
පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ

මිල පාලන හා කළමනාකරණ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් ලේබල් කිරීමේදී එහි කාණ්ඩ අංක සටහන් කිරීම අනිවාර්යයි. එහි නිෂ්පාදකයාගේ, අසුරන්නාගේ හෝ බෙදාහරින්නාගේ නම සහ ලිපිනය ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. එවැනි සඳහන් කිරීමක් නොකළ නිෂ්පාදනයකට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගත හැකියි. 

නොච්චියාගම විදුහලේ ගුරු මහතෙක් 

මෙම කැඳ පානය මීට මාස කිහිපයක පෙර සිට අපේ පාසලේ දරුවන්ට ලබාදෙනවා. ඒත් මේ පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. මීට පෙර ලබා දුන් බත්වේල අපේ දරුවන්ට නැවත ලබා දෙනවාට මම පෞද්ගලිකව කැමතියි.

පදවිය අලිවංගුව විදුහලේ ගුරු මහතෙක්

මෙම කැඳ පානය මගේ පාසලේ දරුවන්ටත් ලබාදෙනවා. මට මෙම කැඳ පානයේ ප‍්‍රමිතිය පිළිබඳව විශ්වාසයක් නම් නැහැ. ඒත් මට තනිව එයට විරුද්ධත්වය පළකරන්න බැහැ. මොකද කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දරුවන්ට දින දෙකක් මෙම හෙළ සුවය කැඳ පානය ලබාදීම අනිවාර්ය කරලායි තියෙන්නේ. අපිට ලබාදෙන්නේ කොළපාට කැඳ පැකැට්ටුවයි.

උපාලි ගුණසේකර
රාජකීය විද්‍යාලයේ විදුහල්පති 

ජනාධිපතිතුමා අවස්ථා කිහිපයකදිම මෙම කැඳ පානය අපේ පාසලෙන් ලබා දෙන බව කියා තිබෙනවා. අදටත් හෙළ සුවය කැඳ පානය අප පාසලේ ක‍්‍රියාත්මක වනවා. එහි ප‍්‍රමිතිය ගැන පාසලට පැමිණ බලාගන්න.

ප‍්‍රියන්තා සේනානායක 
අයිතිරු, හෙළ සුවය කැඳ නිෂ්පාදන ආයතනය

මෙම හෙළ සුවය කැඳ පානය උතුරුමැද පළාතේ දරුවන්ට ලබාදෙන ලෙස අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මගෙන් ඉල්ලීමක් කළා. ඔවුන් පැවසූ ආකාරයට මම මේ කැඳ මිහ‍්‍රණය කිලෝග‍්‍රෑම් එකේ පැකැට්ටුවලට ඇසුරුවා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ ලබාගැනීමට මම උත්සාහ කළේ නැහැ.

ජනාධිපතිතුමා, වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා වගේ අය මෙම කැඳ පානය ඉතා පෝෂ්‍යදායී බව නිර්දේශ කරලායි තිබෙන්නේ. 
ඒ නිසා විශේෂිත ප‍්‍රමිති සහතිකයක් ලබාගැනීමට මම උත්සාහ කළේ නැහැ. මෙම ඖෂධීය කැඳ පානය සකසන්නේ ගල්වංගෙඩියේ කොටලා ඖෂධීය ශාක සාරය ආරක්ෂා වන පරිදි ඉතාම සෞඛ්‍යාරක්ෂිතව. ඒ නිසා මෙයට ඉතා ඉහළ මිලක් වගේම ශ‍්‍රමයක් වැය වෙනවා. මගේ ව්‍යාපාරයේ වැඩ කරන පිරිස ආධ්‍යාත්මික වශයෙන් කැපවීමෙන් මෙම කාර්ය සිදුකරනවා.

නිෂ්පාදනය පිළිබඳව මේ වනවිට පර්යේෂණ රජරට විශ්වවිද්‍යාලයේ සිදුකරනවා. ඒ අතරතුර තමයි උතුරුමැද පළාතේ දරුවන්ට මෙම කැඳපානය ලබාදීමට අපි කටයුතු කළේ.

අපේ ප‍්‍රශ්න
උතුරු පළාතේ දරුවන්ගේ පෝෂණය නැංවීමටයැ’යි කියමින් දෙන මේ දෙයියන්ගේ කැඳ ගැන පහත සාධාරණ ප‍්‍රශ්න අපට නැගිය හැකිය.

අඩු මිලකට රජරට ප‍්‍රදේශයෙන් දේශීය සහල් මිලට ගැනීමටත්, එමගින් කැඳ පානයක් ඉතා අඩු මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමටත් මෙම නිෂ්පාදකයන්ට හෝ වෙනත් නිෂ්පදකයකුට හැකියාව හොඳින්ම තිබියදී කිලෝග‍්‍රෑම් එකක කැඳ පැකැට්ටුවක් රුපියල් 700ක මුදලකට වෙළෙඳපොළට නිකුත් කිරීම දැවැන්ත ගසාකෑමක් බව නොපෙනෙන්නේ කාටද? 

අනෙක් අතට රටේ පොදු අරමුදල් වියදම් කරමින් කරන මේ රාජ්‍ය ව්‍යාපෘතියට හෙළ සුවය කැඳ පමණක් තෝරාගත්තේ කුමන පදනමක්, ක‍්‍රමවේදයක් මතද? ඒ රාජකීය විදුහල්පතිවරයාගේ උදාන වාක්‍යය නිසාද? නැතිනම් ජනාධිපතිවරයාගේත් ඔහුගේ මස්සිනා වන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාසගේත් සහතිකය නිසාද? නැතිනම් අධ්‍යාපන හා රාජ්‍ය බලධාරීනුත් සම්බන්ධ ගජමිතුරු ව්‍යාපෘතියක් හරහාද? මේ කැඳ පැකට්ටුවේ ඇතුළත් දෑ සිසුන්ගේ හෝ මිනිසුන්ගේ ශරීරයට කරන බලපෑම ගැන පර්යේෂණයක් හෝ විමසුමක් කර තිබේද? දැනට ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වෙනවා නම් ඒවායේ ප‍්‍රතිඵල එන තෙක් දරුවන්ට මේවා බොන්නට දෙන්නේ ඔවුන් විද්‍යාගාර මීයන් ලෙස සලකමින්ද? 

දෙයියන්ගෙන් ලැබෙන පිස්සු විකාර වට්ටෝරුවලට අනුව හැදෙන පානයක් සතියට දවස් දෙකක් ජාතියේ දරුවන්ට පොවන්නේ කාගේ වගකීම ඇතුවද?

විවිධ ආගමික විශ්වාසයන්, දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රය හා පාරම්පරික ගොවිතැනත් මතුකර පෙන්වමින් මුදල් ගසාකෑමේ කූට ව්‍යාපාරයක් හෙළ සුවය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන බව මේ අනුව පැහැදිලි වෙයි. මෙහි වගකීම දැරිය යුතු අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැන කියන්නේ කුමක්ද? 

*            *              *            *             *            *   

මෙම ලිපිය 2014 අගෝස්තු 03 වන ඉරිදා රාවය පුවත්පතෙහි දෙයියන්ගේ කැඳ දරුවන්ට පොවා ජාවාරම්කාරයන් පෝසත් කරන ආණ්ඩුවක් යන නමින් පළවිය. 
රාවය වෙබ් අඩවියේ පළවූ ලිපිය සඳහා සබැඳිය.

(Image was taken from nation.lk )


author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

13 comments

දෙයියන්ගේ හාල්! (උළු හාල් නොවේ.)

Reply

කදිම විස්තරයක්.අපේ කන්තෝරුවල ඉන්නෙ ඉගනගත් මිනිස්සු ඒ මිනිස්සු පවා ඔය හොර කැද වලට යට වෙලා ආන්ඩුවෙන් පතුරන බොරු වලට යට වෙන එක හරි පුදුමයි...

Reply

මිල 700ක් නං ඉතිං 70 විතර වියදං වෙනව ඇති. ඉතිරි ටික කීයකට බෙදෙන්නද! මාත් ලිව්ව ඔයවගේ කේස් එකක්. දිලිනි නං දකින්න අැති මීට පාදක වුන ලිපි.
http://raj1st.blogspot.com/2014/08/blog-post.html

Reply

ඉතිරි 630 පූජා වට්ටියට.
දැන් දෙයියොත් ජොබ්ලස් වෙලාද මන්දා මේ කැඳ හැලි ගැනත් බලන්නේ.
ඔහොම ගිහින් රහිමා එකේ එකත් කියයිද මන්දා කොත්තු රෙසිපියකුත් ඒ අයගේ දෙයියෝ දුන්නා කියලා

Reply

" දෙයියන්ගේ හාල් යොදා ආධ්‍යාත්මිකව සකස් කල කැඳ... "පිස්සු නැත්තං ෂෝක්!!!

මෙව්ව කිසි බයක් නැතුව ප්‍රසිද්දියෙ කියන මිනිස්සු ඒ තමන්කරන්නෙ වංචාවක්ය කියල දැනගෙන කරනවනම් ඒක එක අතකින් අවුලක් නෑ. ඒත් ඔය බහුබූත කතා කියන්නෙ අවංකවම නම් එතකොට වැඩේ බොහොම දරුණුයි.

ඔබ ඉටුකරන කාර්ය භාරය විශිෂ්ටයි..සුබ පැතුම් දිලිනි!!!

Reply

දිළිණිගේ සටහන කීප දවසක්ම කියෙව්වා.
මට තවම පුදුමයි. අපේ රටේ මේ තරම් අඳබාල පිරිසක්ද වගකිවයුත්තන් වෙන්නේ කියලා......
ඔබේ ලිවීම ගැන බොහෝම ආඩම්බරයි.

Reply

මේ අගනා හෙලිදරව්ව කොයිතරම් දුරට ජනතාවට කියවන්න සැලැස්විය යුතුද කියලා හිතුනා. අපි ඕනෑම ගුලියක් කන ජාතියක් දිලිනි.

Reply

ඔව් කිහිප දෙනෙක් එක්කම අත යට ගනුදෙනු නොකර මේ වගේ දෙයක් කරන්න බැහැනේ. මම ඔයාගේ ලිපියත් කියෙව්වා රාජ්

Reply

උගත් වුනත් මේ අයට සමාජ දැනුම නැද්ද මන්දා අමිල. දැන් මිනිස්සු දෙවියන්ට බූතයන්ට රැවටෙන එක විලාසිතාවක් වගේ වෙලා

Reply

ඒකනම් ඇත්ත අරුණ. මේ වෙලා තියෙන හැමදේකටම හේතුව අපේ අය මෙච්චර පහසුවෙන් රවට්ටන්න පුලුවන් එක

Reply

බොහොම ස්තූතියි. මටත් මේ සිද්ධිය ගැන මුලින්ම හෝඩුවාව ලැබුනම ගොඩක් පුදුම හිතුනා, තාමත් වෙනසක් නෑ එහෙම්මම පුදුමයි

Reply

ස්තූතිය රවී. ඔව් ඔයාගේ කතාව හරි. වංචාවක් නම් කමක් නෑ කියමුකෝ මිනිස්සු ටික දෙනෙක් හරි ඒ රැවටිල්ලෙන් ගලවා ගන්න පුලුවන්, ඒත් ඔයා කියනවා වගේ මේවා කරන්නේ ඇත්තටම නාත දෙවියන් තමන් ඉදිරියේ පෙනී ඉ‍ඳලා කරපු ඉල්ලීමක් ඉටු කරනවා කියලා හිතලා අවංකවම නම් තත්ත්වය දරුණුයි.

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top