අද මම රාවය පත්තරේ වැඩට යන පළවෙනි දවස.
උදෙන්ම මම වෙනදා නැති බයකින් ලැහැස්ති වුණා. උදේ 7.00 ට කැම්පස් එක ඉස්සරහින් කොළඹ කොටුවට යන්න බස් එකට නැග්ගා, කොටුවෙන් 138 මහරගම බස් එකක නැග්ගා.
බස් එකේ ඉඳගත්ත වෙලාවේ ඉඳලා හිතට එක එක දේවල් එන්න පටන් ගත්තා. රාවය පත්තරේ හරි අමුතු තැනක් වෙන්න ඇති. මම කොහොමද ඒ වගේ තැනක වැඩ කරන්නේ? රාවයේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා ඇති, පත්තරේ කියවද්දි ඒක හරියට ඇඟට දැනෙනවා, මට පුළුවන් වෙයිද එහෙම අය එක්ක වැඩ කරන්න? කැම්පස් එකේ ඉගෙන ගත්තා වුණාට මම තාම පත්තරේක වැඩ කරලා නැහැ. මගේ වැරදි ගොඩාක් දැකලා එයාලා මට පත්තරේට එන්න එපා කියයිද? ඔන්න දන්නේම නැතිව මහරගමට ඇවිත්, මං දඩිබිඩි ගාලා බස් එකෙන් බැහැ ගත්තා. එතකොට වෙලාව උදේ 8.45 යි.
මම මහරගම තරුණ සේවා සභාව ලඟින් පාර පැනලා, ඔරලෝසු කණුව පහු කරලා පිළියන්දල පාරට පයින්ම ගියා. හිතේ තිබුණු උනන්දුවටයි බයටයි මුළු ඇඟම දාඩියෙන් තෙමිලා ගිහින්. මම රාවය office එකේ ගේට්ටුවෙන් ඇතුල් වුණා. ඉස්සරහම Reception එකේ ඉන්න බර්නි මට හිනා වෙලා ඔයා අද ඉඳලා අපි ලඟ වැඩට එනවද කියලා ඇහුවා. මම "ඔව් එන්න තමයි හිතාගෙන ඉන්නේ" කියලා හිනා වුණා. ඇත්තටම හෙට ඉඳලා මගේ දක්ෂකමේ හොඳකමට ගෙදර නවතින්න වෙයිද දන්නේ නැහැනේ, මම හිතින් හිතුවා.
පත්තරේ News Editor ලසන්ත රුහුණගේ එනකන් ටික වෙලාවක් රාවය කාර්යාලයේ පහළ තට්ටුවේ වාඩි වෙලා ඉන්න මට සිද්ධ වුණා. ඒ එක්කම බර්නිට දුරකථන ඇමතුමක් ආවා, ඒ ඇමතුමට පිළිතුරු දුන්නු බර්නි මගේ දිහාවට හැරිලා කිව්වා "ඔයාට උඩ තට්ටුවට එන්න කිව්වා" කියලා. උඩතට්ටුවට නගින තරප්පුපෙල නගිද්දි ‘කතෘ මණ්ඩලය’ කියලා එතැන උඩට ඊතලයක් ගහලා තිබුණා. ඇත්තටම ඒ පඩිපෙළ උඩට නැගලා ගිහින් උඩ තට්ටුවේ පුටුවක ඉඳගන්න තරම් මට සුදුසුකමක් තියෙනවද කියන එකයි මගේ හිත මගෙන්ම අහපු පළමුවෙනි ප‍්‍රශ්නය. මම ඒ ප‍්‍රශ්නයට මටම ‘ඔව්’ කියලා පිළිතුරු දීලා හිත හදාගත්තා.
රාවය විධායක කතෘතුමාගේ ලේකම්වරිය සුරේනි අක්කා, එයා මාත් එක්ක හිනාවෙලා මට ඉඳගන්න පුටුවක් මේසයක් පෙන්නුවා. රාවය පත්තරේ Editorial Room එක මේස 10 ක් විතර දාලා තියෙන හරිම නිස්කලංක තැනක්. මම උඩට නගිද්දී පිරිමි අය 04 දෙනෙක් තමන්ගේ මේසවල වාඩිවෙලා පත්තර කියවනවා දැක්කා. මම එනවා දැකපු හැමෝම මම දිහා බලලා හිනාවෙලා නැවත තමන්ගේ පුරුදු වැඩේටම යොමුවුණා. ඒත් එක්කෙනෙක් විතරක් එහෙම කරේ නැහැ. ඒ වයස අවුරුදු 65 - 70 ක් විතර වෙන සුගත් මහත්තයා. එයා තමයි රාවය පත්තරේ Proof Reader.
Editorial එකේ හිටපු අය අතර කසුන් පුස්වැල්ලෑව, තරිඳු උඩුවරගෙදර, රුක්මාල් සහ සංජීව වගේ හුඟාක් තරුණ අය හිටියා. මුලින්ම රාවයට ආපු වෙලාවේ මේ හැමෝටම සර් කියලා කතා කරන්න හිතාගෙන හිටපු මට පත්තරේ කතෘතුමා කිව්වේ මෙහෙම කතාවක්, "මෙතන ඉන්න හැමෝම ඔයාගේ සහෝදරයෝ. ඒ නිසා කාටවත් සර් කියන්න ඕන නැහැ." මාධ්‍ය ලෝකයේ ‘අයියලා’ වුණු මේ හැමෝටම මම ඒ මොහොතේ ඉඳලා අයියා කියලා කතා කරන්න පටන් ගත්තා.
අපි හිටිය තැනට පොඞ්ඩක් ඈතින් තැනක වාඩිවෙලා නිදහසේ පොතක් කියව කියවා ඉන්න කෙනෙක් මම දැක්කේ මේ අතර. 71 කලබල කාලයේ පොඩි අතුල කියන නමින් ප‍්‍රසිද්ධ වුණු, පුවත් පත් ලෝකයේ වික්ටර් අයිවන් නමින් දැවැන්ත ප‍්‍රතිරූපයක් ගොඩනගාගත් පුද්ගලයා එදා මම රාවය කාර්යාලයේදී පළමු වතාවට දැකගත්තා. නිතරම යමක් කියවමින් කාලය ගත කරන, හැමවෙලේම නිශ්ශබ්ද චරිතයක් විදියටයි ඔහුව මට පෙනුනේ. දැන් පුවත්පතේ වගකීම්වලින් බැහැරවෙලා නිදහසේ කටයුතු කරන වගක් පෙනෙන්න තිබුණු ඔහු අසුන්ගෙන හිටියේ අපි ඉඳගෙන හිටිය ආකාරයේම සාමාන්‍ය පුටුවක. සිගරට්ටුවක් මුවේ රඳවාගෙන සමහර දේවල් නොනවත්වාම ලියන අවස්ථා ඔහුගෙන් ගොඩක් වෙලාවට දකින්න ලැබුණු දෙයක්.
ටික වෙලාවකින් ලසන්ත අයියා (රාවය ප‍්‍රවෘත්ති කතෘ ලසන්ත රුහුණගේ) ආවා. කිසිම කෙනෙක්ගේ මුහුණ දිහා නොබලා එයා ගිහින් එයාගේ මේසෙන් ඉඳගත්තා. ඊට පස්සේ කාර්යාලයට ආවේ ටිරන් අයියා (ටිරන් කුමාර බංගමආරච්චි). ටික වෙලාවකට පස්සේ ලසන්ත අයියා මගේ නම අහලා මට කතා කළා, "ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ අද තියෙන පත්තර ඔක්කොම හොඳට කියනව එක. ඊට පස්සේ තමන්ට දැනෙන, ප‍්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් ලකුණු කරගෙන තියාගන්න." මං මගේ පුවත්පත් ජීවිතේ කතෘවරයෙකුගෙන් ඉස්සෙල්ලාම අහපු පළවෙනි වචනය ඒකයි. මම ඒ කියපු විදියට හැම පත්තරයක්ම කියෙව්වා. මේ කියවන අතරේ ප‍්‍රවෘත්තියක් ගැන සැක හිතෙන තැන් මගේ Notebook එකේ ලියා ගත්තා.
ඔන්න ඔය අතරේදී තමයි ජනරංජන අයියා (කේ.ඩබ්ලිව්. ජනරංජන) ආවේ. එයා මගෙත් එක්ක ටිකක් හිනා වෙලා එයාගේ මෙසේ ඉඳගත්තා. අමිලයි, විමලේ අයියයි (රාවය විශේෂාංග කතෘ විමලනාත් වීරරත්න) අන්තිමට ආවා. එදා බ‍්‍රහස්පතින්දා දවස. බ‍්‍රහස්පතින්දා පත්තරේ News section එක ගොඩක් කාර්ය බහුලයි. උදේ අපිට තේකක් එක්ක කෙසෙල් ගෙඩියකුයි කේක් කෑල්ලකුයි ලැබුණා. ඒ ඇයි කියලා නම් මාත් තාම හරියටම දන්නේ නැහැ, ඒත් හම්බවුණා.
අපේ Editorial room එක එදා අලූතෙන් paint කරන්න කට්ටියම වැඩ, ඒ නිසා අපි ඒ අයට කාර්යාලය අස් කරන්නත් උදව් කරලා අපේ වැඩ ටික කරගෙන ගියා.
ටිකවෙලාවකින් ලසන්ත අයියා මට ආයෙමත් කතා කරලා මොනවද ඔයා හොයාගත්ත ප‍්‍රවෘත්ති කියලා ඇහුවා. මම කියපු හැම ප‍්‍රවෘත්තියක්ම විෂේශාංග ලිපි ලියන්න ගැලපෙන මාතෘකා. ඒවා ප‍්‍රවෘත්ති නෙවෙයි කියලා ලසන්ත අයියා කිව්වා. ඒ වෙලාවේ ලසන්ත අයියා Note කරපු News 02 ක් මට පෙන්නුවා, ඒ ප‍්‍රවෘත්ති දෙකට කරුණු හොයාගන්න පත්තර කියවන්න කියලා එයා මට කිව්වා.
මම පළමුවෙනි වතාවට ප‍්‍රවෘත්තියකට තොරතුරු හොයන්න රාවය පත්තරේ Newspaper Library එකට ගියා. හැබැයි මට භාර දුන්න ප‍්‍රවෘත්ති දෙකෙන් එකකටයි තොරතුරු ලැබුණේ. මම ඒ බව ලසන්ත අයියාට කිව්වාම එයා පත්තර Library එකට ගිහින් අනිත් ප‍්‍රවෘත්තියට ඕන කරන තොරතුරු තියෙන පත්තරේ ගෙනත් දුන්නා. "පත්තරකාරයෝ වුනහම හැමවෙලේම හොඳම තොරතුරු දකින්න ඕන, නැතුව කවදාවත් පත්තර රස්සාව කරන්න බැහැ." ඒක තමයි ඉස්සෙල්ලම මම රාවය පත්තරෙන් ඉගෙන ගත්තු වැදගත්ම උපදෙස.
මට Office එකෙන් අලූතෙන් Notebook එකකුයි පෑනකුයි ලැබුණා. එදා මම මට භාරදුන්නු News එකට අවශ්‍ය කරන කරුණු ගොඩක් කියෙව්වා. විශ්වවිද්‍යාලයේ අවුරුදු 03 ක් ඉගෙන ගත්තු දැනුමට වඩා වැඩි ප‍්‍රායෝගික දැනුමක් මම රාවයට ගිය පළවෙනි දවසේ ඉගෙන ගත්තා කියලා මට දැනුණා.
වෙලාව ගෙවුණා තේරුණේ නැහැ. හවස තේ වෙලාවට අපිට චයිනීස් රෝල් ලැබුණා. Editorial එකේ හැමෝම "මේ මොකද අද Office එක අලුත් වෙලා, රස කෑම උදේටයි හවසටයි හම්බවෙන්නේ” කියලා හිනා වුණා. ඒ වෙලාවේ විමලේ අයියා හිනාවෙලා කිව්වා "අද නංගි ආපු නිසා වෙන්න ඇති” කියලා.
ඒ හිතවත්කමත් එක්ක රාවයට ගිය මගේ පළවෙනි දවස ඉවර වුණා.
37 comments
දිලිනි රාවය ද වැඩ?
Replyකොහොමත් අපෙ අතීශය සංකීර්ණයි කියලා හිතන අය, තැන් ගොඩක් වෙලාවට සරලයි. ඒ සරල බව සුන්දරයි.
//විශ්වවිද්‍යාලයේ අවුරුදු 03 ක් ඉගෙන ගත්තු දැනුමට වඩා වැඩි ප‍්‍රායෝගික දැනුමක් මම රාවයට ගිය පළවෙනි දවසේ ඉගෙන ගත්තා කියලා මට දැනුණා. //
Replyහැමතැනම ඔහොම තමයි.. වැඩට ගිහින් තමයි හැමදේම ඉගන ගන්නේ...
ජයවේවා!!!
විශ්ව විද්‍යාලයට යන එක ගැන අපි මහ ඉහලින් හිතුවත් ඇත්තටම දක්ෂයො ඉන්නේ විශ්වවිද්‍යලේ ඇතුලේ නෙවෙයි එලියේ. ඒකට හේතුව කැම්පස් එකෙන් මොනතරම් දැනුම ලැබුනත් ඒක ප්‍රායොගිකව සම්පූර්ණ වෙන්නේ විශ්වවිද්‍යලයෙන් එලියේ ලොකයෙන් නිසා.
Replyමේ විශවයම විශ්ව විද්‍යාලයක් නගෝ.. කොහොම හරි අපි ආදරය කරන මිනිස්සු නිහතමානී මිනිසුන් කියලා දැනගත්ත එක ළොකු දෙයක්. විමලෙට කියන්න ම්මත් එයා වගේ ලියනවා කියලා. ඒ මම ඒ ස්ටයිල් එකට කැමති නිසා....
Replyසල්ලි දීල ගන්න, සල්ලි වලට වටින එකම පත්තරේ වැඩකරන කෙනෙක් මුනගැහීම සතුටක්.
Reply//මේ අතර. 87 - 89 කලබල කාලයේ පොඩි අතුල කියන නමින් ප‍්‍රසිද්ධ වුණු, //
Reply71 කැරැල්ල කාලේ නේද අයියයි මල්ලියි ලොකු අතුල සහ පොඩි අතුල විදිහට ප්‍රසිද්ධ උනේ , 87 - 88 කාලේ අයියා දේශපාලනයටත් , මල්ලි පත්තර රස්සාවටත් ඇවිත් නේද , මට මතක ඒ වාගේ මං වැරදිද දන්නේ නැ
දිලිනි...ඔය අහිංසක කම නොමරා රැකගන්න. ඔබ දුර ගමනක් යන බව අදහස් වලින් මොනවට පැහදිලිවෙනවා...වෘත්තිමය වශයෙන් නිමක් නොමැති දෙයක් තමයි ඉගෙනීම....ඔබට ජය....
Replyදිලිනිගේ බ්ලොග් එක සින්ඩිවල අප්ඩේට් වෙන්නේ නෑ. මම හිතන්නේ අර ෆීඩ් ෆෝර්ම්ස් ප්‍රශ්ණයක් කියලා. කවුරු හරි ඒක හදා ගන්න උදව් කරනවානම් ළොකු දෙයක්.
Replyඅතුල නිමලසිරි ජයසිංහ දේශපාලනයට ආවෙ ඊට පස්සෙ නේද?
Replyඔව් ඒ අවුල එනව රෝලට දාගනිද්දිත්. ෆීඩ් අවුලක් වෙන්න ඕන.
Replyලොකු අතුල සහ පොඩි අතුල යන නම් පට බැඳුනේ 71 කැරැල්ලෙදි.
Replyඅනිත් එක ඔය දෙන්න සහෝදරයො නම් නෙවෙයි මම හිතන්නෙ.
දුර ගමනක් යන්න ජය පතමි
Replyබොහෙම ස්තුතියි අටම් අයියේ මෙතන මගේ අතින් පොඩි වරදක් වෙලා තියනව. නිවැරදි කාල වකවානුව 71 අවුරුද්ද. ලොකු අතුල කියලා හැදින්වුනේ අතුල නිමලසිරි ජයසිංහ. මෙයා ඒකාලේ ජවිපෙ මුල් පෙල නායකයෙක් ඒ වගේම අප්‍රේල් මහ නඩුවේ 6 වැනි විත්තිකරු. මම නිවැරදි නම් මේ නිමල්සිරි ජයසිංහ චන්ද්‍රිකා ජනාධිපතිනයගේ කාලයේ විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයා. ජවිපෙ තුල 71 කාලයේ අතුලලා කිහිප දෙනෙක් හිටිය නිසා වික්ටර් අයිවන් මහත්මයා පොඩි අතුල නමින් හැදින්වුනාගඒත් මේ ලොකු අතුල සහ පොඩි අතුල කියන්නේ සහෝදරයො නෙවෙයි. කමෙන්ටුටවට බොහොම ස්තූතියි. මම පොස්ට් එක නිවැරදි කරා.
Replyඔබට ස්තූතියි :)
Replyබොහොම ස්තූතියි. ඔව්. උපතේ සිට මිනී වල දක්වාම ඉගෙන ගන්න කියලනේ මහත්මා ගාන්ධි කිව්වේ. ඉගෙන ගැනීම නතර කිරීම කලින්ම මරණයට පත්වීමක්
Replyඔව්. මම පොස්ට් එකත් නිවැරදි කරා. මේ දෙන්නා සහෝදරයෝ නෙවෙයි
Replyමම අනිවාර්යයෙන්ම කියන්නම් :)
Replyරාවයේ පාඨකයෙක් බ්ලොග් ලොකේදි මුන ගැසීමත් සතුටක්. ඔක්කොටම වඩා රාවය ගැන ඔබ දරන අදහස ගැන සතුටුයි.
Reply'ප්‍රියාගේ සිතුවිලි' එකේ නම් මේ පොස්ට් එක අප්ඩේට් වෙලා තිබුනා. නමුත් කැම්පස් සින්ඩියේ එහෙම නැහැ
Replyහොඳයි හොඳ රසට ලියාගෙන යන්නකො,අපි නොවැරදීම කියවන්න එන්නං.
Replyඅමතක නොවන අත්දැකීම්...කියවන්න හිතෙන විදියට ලියල තියෙනවා..අනිවාර්යයෙන්ම ආපහු එන්නම් අලුත් ලිපියක් කියවන්න...
Reply"හොඳ" මාධ්‍යවේදිනියක්වී දිගු ගමනක් යෑමට ඔබට ආසිරි!!!
Replyවික්ටර් අයිවන් මහත්තයාට රෝන්ග් සයිඩ් එකේ ඩ්‍රයිව් නොකර ඉන්න කියලා අපි ඉල්ලා සිටින බවත් කියන්න.
දිගු ගමනකට සුභ පැතුම් දිලිනි නගෝ.......!
Replyදිළිනි මුලින් ම බ්ෙලාග් ෙකරුවාවට සාදරෙයන් පිළිගන්නවා. එ් ගමන් ම කියන්න ඔ්ෙන් ඔබෙග් රචනාවන් හරිම පිළිෙවලයි. කියවන්න අාසයි.
Replyජනරංජන සහ රාවය ගැන මටත් පුද්ගලික ඉතිහාසයක් තිෙයනවා. එ් වෙග් ම වික්ටර් අයිවන් ගැනත්. ජනරංජන කියන්ෙන් නියම මහත්තෙයක්..... නමුත් රාවය අාරම්භකයා ෙවන වික්ටර් අයිවන් ගැන නම් එෙහම කියන්න බෑ. නමුත් ෙම් වන විට වික්ටර් අයිවන් සහ රාවය කියන්ෙන් ෙදකක් කියලා මං ෙහාදට දන්නවා. රාවය කියන්ෙන් ලංකාවට අවශ්‍ය යුගයක විශාල ෙමෙහවරක් කරපු පත්තරයක්. අද වන විට රාවය තිෙයන තැන ගැන විශාල ප්‍රශ්ණ ෙගාඩක් තිෙයනවා. එ්කට රාවය පිටු ගණන් සල්ලි වලට අරන් ඉන්න අායතනත් වග කියන්න ඔ්ෙන්. රාවය දුවන්ෙන් ෙමාන සල්ලි වලින් ද කියලා දැන් ඔබ දන්නවා අැති කියලා මං හිතනවා.
වික්ටර් අයිවන්ෙග් ෙද්ශපාලන ඉතිහාසය කතා කරත්දි ඔය වික්ෙර් අයිවන් විතරක් ෙනෙමයි 71 කැරැල්ෙල් හිටපු දැනට ලංකාෙව් ඉන්න බහුතරයක් ෙදනා ෙද්ශපාලනික ව නිශ්ක්‍රීය ෙවලා ඉන්ෙන්. ඔවුන් 89 ෙවත්දි ජවිෙප න් මරන්න ෙහායපු අය. ඊට පසු ඔවුන් බහුතරය පැරණි වම විකුණෙගන එන්ජීඔ් කරණයට ලක්වුණා. අද වන විට ඔවුන් හම්බකරන විදිහ බැලුෙවාත් එ්ක පැහැදිලි ව ෙපෙනයි. එ් අතින් බැලුවාම වික්ටර් අයිවන්ලා විතරක් ෙනෙමයි 71 කැරැල්ෙල් විත්තිකාරෙයා් බහුතරය (ලංකාෙව් ඉන්න සහ ෙනාඉන්න) 89 දී ජවිෙප විෙරා්ධීන් හැටියට සැලකීෙම් වරදක් නැති බවයි ෙපෙනන්ෙන්.........................
බොහොම ස්තූතියි :)
Replyබෙහොම ස්තූතියි. කිහිප දෙනෙක්ම හොද කියලා තිබුණ නිසා මට හරි සතුටුයි :)
Replyඔබටත් බොහොම ස්තූතියි. වික්ටර් අයිවන් මහත්මයාගේ වෙනස්කම් ගැන ගොඩක් අය නොසතුටින් නේද.
Replyබොහොම ස්තුතියි කෙන්ජි අයියේ :)
Replyබෙහොම ස්තූතියි ඔබේ කමෙන්ටුව මට ලොකු ධෛර්යයක් :)
Replyදිගු ගමනකට සුභ පැතුම්.. රාවය කියන්නේ අපේ තාත්තා නොවැරදීම ගන්න පත්තරයක්... ඒකට ලියලත් තියනවා.... කොහොමත් අපේ පත්තර අතර තියන වෙනස් පත්තරයක්...
Replyබොහොම ස්තූතියි තිසර. මගේ බ්ලොග් එකට නිතර එන්න :)
Replyරාවය ඔබේ මුල් කෙලිබිම වූවාට
Replyපන්හිඳ අතේ මිටිමොලවා ගත්තාට
මිනිසත් කමට සේවය කර ගියදාට
පැතිරෙයි රාවෙ දිලිනිගෙ නම සැමදාට
හෘදය සාක්ෂියට එකඟව පන්හිඳ නමැති අසිපත මිනිසත් බව ලැබූ මිනිසුන් වෙනුවෙන් මෙහෙය වන්න ධර්‍යය වඩන්න.
ඒ සඳහා යන ගමන සුදුවැලි ඇතිරූ එකක් නොවනු ඇත. එවිට රාවය පමණක් නොව ඕනෑම කෙලිබිමක් ඔබට ඔට්ටුය.
ඔබට ජය!
රාවය යුක්තිය (මර්ජ් සංවිධානය -දෙමළ එන්ජීඕ එකක් ) වගෙ ටැබ්ලොයිඩ් පත්තර විදේශීය එන්ජීඕ වලින් ගහපු කාලෙ කහ සිවුරක් දැක්කත් මූලධර්මවාදී කියල බනින ගතියක් තිබුන.සිංහල බෞද්ධ කියන වචනෙ දැක්ක හැටියෙ රාවයෙ බඩගැත්තරයො බනින ගතියක් තිබුන.පොලොන්නරුවෙදි ක්‍රිස්තියානි පල්ලියක් හාමුදුරුනමක් මැරුව.ඒ පැත්තෙ මිනිස්සු ඒකට විරුද්ධව පාරට බැස්ස.අද ඥානසාරට බනින අය ඒ කාලෙ තත්වය මතක නෑ.ඊට පස්සෙ රාවය පල්ලියෙ පැත්ත අරන් අර පාරට බැහැපු මිනිසුන්ට බැන්න.ඊට පස්සෙ පත්තර කඩවල තිබුන රාවය කඩමලු ටික එකතු කරල ගිනි තිබ්බ.ඊට පස්සෙනම් අඩියක් පස්සට අරන් ලිපියක් පළ කළා.දියවඩන්බ නිළමෙත් රාවය ගැන යමක් කීවම ඊට පස්සෙ කතුවැකියෙ විකට අයිවන් ශේප් න්‍යායෙ කතුවැකියක් ලිව්ව. අද තියෙන සිංහල බෞද්ධ ප්‍රබෝධයට හේතුවත් ඔය විකට අයිවන්ල වගෙ විශ්‍රාමික ත්‍රස්තවාදියො.උන්ගෙ හිරිහැර ඉවසන්න බැරිවයි ප්‍රතිවිරෝධයක් ආවෙ.
Replyජනරංජන කියන එකාගෙ මහ කැත විදියට කාටුන් අදින එකෙක්. පලෙයි ප්‍රදේශයෙ යුද්ධෙ අවස්ථාවක ඉදිරි ආරක්ෂක වලල්ල පස්සට ගන්න වුනා කොටි ප්‍රහාරයක් නිසා. එතනදි සෙබලුන් විශාල සංඛ්‍යාවක් මැරුන.ජනරංජන කාටුන් එක ඇන්දෙ හෙල උරුමෙ හාමුදුරුනමක්,විමල් වීරවංශ ,නලින් ද සිල්ව ල එහෙම හඩමින් මිනිය ගෙන යන හැටි.ඌ තව තැනක කාටුන් එකක් ඇන්ද කොටිය සිංහයෙක් හපාකාල සිංහය ලේ පෙරාගෙන.යුධ මෙහෙයුම් ජයගත් විට ලේ ගංගාවක් උඩ සෙබලෙක් ඉන්නව.මේව දකින සෙබලුන්ගෙ පවුල්වල අය මොන තරම් වේදනාවකට පත් වෙන්න ඇතිද?
මුන් සල්ලිවලට ලියන කුරුටු ගාන බඩගැත්තරයො.
මට පුද්ගලික කටයුත්තක් නිසා අන්තර්ජාලයට එන්න බැරි වෙලා තියෙනව. මෙතන හුරතල් වෙන හැටි මම දක්ක. විකට අයිවන් මෙහෙමයි ජනරංජන මෙහෙමයි කියල.සිංහල බෞද්ධයන්ට එරෙහිව කුලියට ලියපු මේ බඩගැත්තරයන් තෝරගත්තෙ විශ්‍රාමික ත්‍රස්තවාදීන්ගෙන්.උන් එක එක හීනමාන නිසා සමාජයට වෛර කළ උන්.කොටින්ට පක්ෂව ලියන්න කුරුටුගාන්න හොඳම එවුන් වුනේ උන්.
රාවය කියන්නෙ අද බල්ලෙක්වත් බලන්නෙ නැති කඩමල්ලක්නෙ.රාවය එදත් එහෙමයි.ඒත් එදා උන්ට විදේශගත දෙමළ සංවිධානවලින් ඔත්තු සේවා වලින් සල්ලි ලැබුන.අද ඒ සල්ලි නති නිසා නට්ටන් වෙලා.මට හිතෙනව රාවයට දැඩි ප්‍රතිවිරෝධයක් ඒ කාලෙ ආවෙ නෑ කියල.ඒක ජනතාවගෙ දුර්වලකමක් ලෙස මා දකිනව.
මගෙ බ්ලොග් එකේ රාවයෙ කාලකන්නිකම ගැන ලිපියක් පළ කරනව.
රාවයෙ කාලකන්නින්ට ප්‍රසිද්ධ හාමුදුරුවරු මරා දමන්න බැරි වුනා.සෝම වගෙ හාමුදුරුවරු නොමරා මරන එක රාවයෙ රාජකාරිය.චරිත ඝාතනය කළාම ඔවුන් ඇත්තටම මරන එක පල්ලියට ලේසි වෙනව.සෝම හාමුදුරුවන්ට රාවයෙන් මාසයක් මඩ ගහල ඇත්තටම මැරුව.සෙල්ලම දිගට ගෙනියන්න රාවය ඇතුළු මූලධර්මවාදීන්ට බැරි වුනා.කොටි වීරයො කරන්නත් රාවයෙ බල්ලන්ට බැරි වුනා.
Replyඇනෝ..
Replyපළමුවෙන්ම මම කැමතියි ඔබට මතක් කරලා දෙන්න ‘අමතක නොවන රාවයේ දවස‘ කියලා මම මෙතන ලිව්වේ මගේ වෘත්තීය ජීවිතයේ එක් කඩඉමකදී මම එකතු කරගත්ත අත්දැකීම් ටිකක් බව. වික්ටර් අයිවන් ජාතිවාදියෙක්ද නැද්ද ජනරංජන අදින්නේ මොන වගේ කාටූන්ද කියන එක මෙතනදි කතා කරන්න මම බලාපොරොත්තු වුනේ නැහැ. මට රාවය ගැන හැගුනු දැනුනු විදිය බෙදා ගන්නයි මේක ලිව්වේ. මගේ ලිපිය විවෘත මනසකින් අග ඉදන් මුලට කියවපු ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕන මෙතන හුරතල් වීමක් නැහැ කියලා.
රාවය, වික්ටර් අයිවන් සහ ජනරංජන ගැන ඔබට තිබෙන මතවාදය ඒ විදියටම දරන්න ඔබට අයිතිය තිබෙනවා. නමුත් ඔබේ ඒ අදහස මගේ බ්ලොග් එකේදි පළ කරද්දි නම් ගම් ඇතුව පළ කරානම් තමයි මේ කමෙන්ටුව දැම්මේ කොන්ද පන තියෙන මිනිහෙක් කියන එක මට දැනෙන්නේ. ඔබම හරි නිර්භීත විදියට කියලා තියෙන විදියට /ඇනෝ ආවාට ඔබත් බ්ලොග් එකක් තියෙන කෙනෙක් / නිසා ඊළග පාර කමෙන්ට් කරද්දි එහෙම එන්න. මොකද කියනවානම් මේ බ්ලොග් එක පටන් ගනිද්දිම මම හිතාගත්ත දෙයක් තමයි ඇනෝලගෙන් එන කමෙන්ට්වලට උත්තර බදින්නේ නැතුව ඉන්න. රාවය ගැනත් වික්ටර් අයිවන් සහ ජනරංජන ගැනත් මට තියෙන්නේ ගරුත්වයක්. ඒගොල්ලන්ගේ දේශපාලන භාවිතාව මොකක් වුනත් ඒවට එකඟ නැති අය කොයිතරම් හිටියත් මගේ පුද්ගලික අදහස ඔවුන් මේ සමාජයට යම් හොඳ දෙයක් කරපු අය කියන එකයි. රාවය ගැන මම ලියපු මේ ලිපියේ වගේම රාවයට කිසිම සම්බන්ධයක් නැති කුෂ්වන්ත් සිං ගැන මම ලියපු ලිපියටත් ඔබ එකම කමෙන්ටුව විකාරයෙන් වගේ ලියලා තියෙනවා. රාවය ගැන ඔබ දරන අදහස්වල තියෙන මේ අන්තගාමී ස්වභාවය නිසයි මම මෙහෙම පිළිතුරු දෙන්න හිතුවේ, නැවතත් ඔබ ඇනෝ කෙනෙක් විදියටම කමෙන්ට් කරොත් ඒවාට මම පිළිතුරු නොදෙන වගත් මීට පස්සේ මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරද්දි වැදගත් විදියට සහ සැලකිල්ලෙන් කමෙන්ට් කරන්නත් කියලා මම ඔබට මතක් කරනවා.
මිනිසත්කමට සැමදා මුල් තැන දුන්නු
Replyතෙලිදිය වාඩියට මිනිසුන් රොද බැන්දූ
අගයමි ඔබේ අදහස් සිත සතුටින්දූ
සැමදා ඔබට ආසිරි පතනෙමි සොයුරු
රාවය මම ඉතාම ආදරය කරන, ගරු කරන පත්තරයක්... ඒ වගේම එහි නිත්‍ය පාඨිකාවක්...
Replyරාවය සමඟ සුබ ගමනක් නංගි... මේ සටහනත් බොහොම හිත්ගත්තා.. හරියට දන්න අඳුනන අය ගැන කියනව වගේ දැණුනෙ... ඉදිරියෙදි ඔබේ නමත් නිතර දැකගන්න හැකිවේවි...
Post a Comment