හූ ෂීහ් 1891 දෙසැම්බර් 17 සහ 1962 පෙබරවාරි 24 කාලය තුළ චීනයේ වාසය කළ විද්වතෙකි. බටහිර සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත දාර්ශනික ලෝකය තුළ හූ ෂීහ් සැලකෙනුයේ පෙරදිග නැවුම් දැනුම ලෝක දාර්ශනික කේෂ්ත්‍රයන් තුළට සම්මිශ්‍රණය කළ විද්වතෙකු වශයෙනි. දාර්ශනික කේෂත්‍රය තුළ හූ ෂීහ්ගේ ඉගැන්වීම්වලට හිමිවන වැදගත්භාවය නිසාම ඔහු සහ ඔහුගේ ඉගැන්වීම් පිළිබඳ පුළුල් තොරතුරු සමූහයක් සම්පාදනයකිරීමට මා උත්සාහ දැරූවෙමි. මෙය මා පෙර ලිවූ ඇතැම් ලිපි මෙන් එක හුස්මට කියවාගෙන යා හැක්කක් නොව ශාස්ත්‍රීය කරුණු සහිත දීර්ඝ ලිපියකි. ජනමාධ්‍ය විෂය, විචාරවේදය සහ දර්ශනය වැනි විෂය කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නට ප්‍රයෝජනවත් විය හැකි නිසාවෙන් මෙම ලිපියට ඒ ඒ විෂයට අදාළවන ශාස්ත්‍රීය කරුණු ගණනාවක් ඇතුළත් කරන ලදි.
හූ ෂීහ් චීන ලිබරල්කරණයේත්, භෂා ප‍්‍රතිසංස්කරණයේත් මූලිකත්වය ගෙන කටයුතු කළහ. එසේම ඔහු චීන නව පුනරුදයේ සහ නව සංස්කෘතික ව්‍යාපාරයේ නායකත්ව භූමිකාවක් ඉටු කළ අයෙකි. 1919 මැයි 04 වනදා චීනයේ ශිෂ්‍ය උද්ඝෝෂණ හරහා පැන නැගි මැයි 04 ව්‍යාපාරය (May Fourth Movement) තුළ විද්වතෙකු හා ප‍්‍රතිසංස්කරණවාදියෙකු වශයෙන් ඔහුගේ බලපෑම ඉතා ඉහළ විය. විශේෂයෙන්ම සන්නද්ධ කණ්ඩායම් සහ ෂිචුආන්, ෂැන්ෂි, ක්වින්ග්හායි, නින්ග්ෂියා වැනි අභ්‍යන්තර චීන කලාප අතර යුධ ගැටුම් පැවති 1916 - 1928 චීන භීම සමය (Warlord Era) තුළ දේශපාලන සහ සමාජයීය ප‍්‍රතිසංස්කරණ ඇතිකිරීමෙහිලා හූ ෂීහ්ගේ කාර්යභාරය කැපී පෙනේ.
1938 - 1942 කාලය තුළ එක්සත් ජනපදය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපතිවරයා වශටෙයන් කටයුතු කළ හූ ෂීහ් ඉන් අනතුරුව වර්ෂ 1946 - 1948 කාලය තුළ ප‍්‍රධාන පෙළේ චීන විශ්වවිද්‍යාලයක් වන පීකිං විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය හෙබවීය. 1957 වර්ෂයේ දී චීන තායිපේ රාජ්‍යයේ ජාතික විශ්වවිද්‍යාලය වන ඇකඩමියා සිනීකා (Academia Sinica) හි සභාපති පදවියට පත්වූ හූ ෂීහ් 1962 වර්ෂයේ මරණයට පත්වන තෙක්ම එකී තනතුරේ කටයුතු කළහ.
1939 වර්ෂයේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා හූ ෂීහ් ද නිර්දේශ විය. සාහිත්‍ය, ඉතිහාසය, ග‍්‍රන්ථ විචාරය සහ ශික්ෂණ විද්‍යාව ආදී කේෂ්ත‍්‍ර ගණනාවක ප‍්‍රවීණයෙකු වූ හූ ෂීහ් Dream of the Red Chamber නම් ග‍්‍රන්ථය පිළිබඳ පුළුල්ව අධ්‍යනය කළ විද්වතෙකි. දේශපාලනය, සාහිත්‍යය සහ අධ්‍යාපනය යන කේෂ්ත‍්‍ර තුළ චීන පුනරුදයේ පියා වශයෙන් ද සැලකේ.
සම්පරීක්ෂණවාදය (Experimentalism) වශයෙන් ෂීහ් විසින්ම හඳුන්වන ලද උපයෝගීතාවාදී සංකල්ප (Pragmatism) සම්බන්ධයෙන් සප‍්‍රමාණික දැනුමකින් හා අවබෝධයකින් යුතු වූ චීන දාර්ශනිකයෙකු වශයෙන් මෙන්ම චීන ස්වභාෂාවන් පදනම් කරගනිමින් ලිඛිත චීන භාෂාවේ මානයන් වෙනස් කළ විද්වතෙකු වශයෙන්ද චීනය වෙනුවෙන් දේශපාලන ලෝකය තුළ පුරෝගාමී මෙහෙවරක් කරන ලද රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු වශයෙන්ද හූ ෂීහ් සැලකිය හැක.
හූ ෂීහ්ගේ දාර්ශනික ඉගැන්වීම් සහ ජනමාධ්‍ය
වෝල්ටර් බෙන්ජමින් සහ මාර්ෂල් මැක්ලූහාන් වැනි විද්වතුන්ගේ අධ්‍යයනයන් සහ ශාස්ත‍්‍රීය දර්ශනයන් හරහා 20 වන සියවසේ අවසාන භාගයේ පටන් මාධ්‍ය විෂය කේෂ්ත‍්‍රය දැවැන්ත වෙනසකට ලක්වනු දැකිය හැකිවිය. මාධ්‍ය කේෂ්ත‍්‍රය තුළ සිදුවූ වේගවත් වර්ධනයන් මෙන්ම විවිධාකාර තාක්ෂණික භාවිතාවන්හි සිදුවූ වෙනස්කම් නිසාවෙන් මාධ්‍යය සහ වෙනත් සන්නිවේදන මාර්ගයන්හි ඉතිහාසය, සන්දර්භය සහ බලපෑම යන කරුණු ප‍්‍රමාණවත් පරිදි අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය මතුවන අතර මේ අවශ්‍යතාවයන්ට න්‍යායික පිළිතුරක් සැපයීමේ උත්සාහය තුළ දාර්ශනික සංකල්ප භාවිත වීම හරහා මාධ්‍ය දර්ශනවාදය (Philosophy of Media) විෂයක් වශයෙන් වර්ධනය වේ.
ඒ අනුව හූ ෂීහ් විසින් විද්වත්භාවයන් දැරුවාවූ දාර්ශනික කේෂ්ත‍්‍ර සහ මාධ්‍ය දර්ශනවාදය අතර පුළුල් සම්බන්ධතාවයක් ඇත. හූ ෂීහ් විශේෂඥභාවය දැරුවාවූ උපයෝගීතාවදය සහ සම්පරීක්ෂණවාදය මෙන්ම ලිබරල්වාදයද නූතන ජනමාධ්‍ය භාවිතය විග‍්‍රහ කිරීමේදී සෘජුවම අදාළ කරගන්නා න්‍යායික සන්දර්භයන්ය.
හූ ෂීහ් පිළිබඳ ජීවන තොරතුරු
1891 දෙසැම්බර් මස 17 වනදා චීනයේ අන්හුයි ප‍්‍රාන්තයේ පිහිටි ජික්ෂි නම් කුඩා උප නගරයේදී හූ ෂීහ් උපත ලබා ඇත. ඔහුගේ පියා හූ චුආන් වශයෙනුත් මව ෆෙන්ග් ෂුන්ඩි වශයෙනුත් සඳහන් වේ. හූ ෂී කුඩා කලදීම ඔහුගේ පියා මියගිය බව ඔහුගේ ජීවන තොරතුරු හා සම්බන්ධ වාර්තාවල සඳහන් වේ. පියා අහිමිවීමෙන් පසු හූ ෂීහ්ගේ චරිතය හැඩගැස්සවීම සඳහා ඔහුගේ මව ප‍්‍රබල බලපෑමක් සිදු කර ඇත, හූ ෂීහ් තුළ සම්ප‍්‍රදායික චීන වටිනාකම් සහ අගයන් පිළිබඳ පක්ෂපාතීත්වයක් ඇතිවන පරිද්දෙන් කටයුතු කරන අතරම සිය පුතුට නවීන අධ්‍යාපනයක් ලබා දෙන්නටද ඇය කැපවී කටයුතු කළ බව චීන පුනරුදය හා සම්බන්ධ වාර්තාවල සඳහන් වේ. ජික්ෂි නගරයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ හූ ෂීහ් සිය මවගේ පෙළඹවීම මත චීනයේ ෂැංහයි නගරයට ගොස් එහිදී වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වේ.
ෂැංහයි නගරයේ සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන කාලය අතරතුර ඔහු සංශයවාදය (Skepticism) සම්බන්ධ පොත්පත් පරිශීලනය කරමින් ඒ සම්බන්ධවද අධ්‍යනයන්හි නිරතව ඇත. මෙහිලා ඔහු භාවිතා කර ඇති මූලිකම ඉගැන්වීම් වනුයේ චීනයේ සොන්ග් පරම්පරාවට අයත් විද්වතෙකු සහ ඉතිහාසඥයෙකු වන සිමා ගුඇන්ග් (කි‍්‍ර.ව. 1019 – 1086) විසින් කළ ශ‍්‍රාස්තී‍්‍රය ග‍්‍රන්ථ සහ අධ්‍යනයන්ය. එසේම ෂැංහයි නගරය තුළ ගතකල කාලය තුළ චීනයේ ක්වින්ග් රාජ යුගය සහ පූර්ව සමූහාණ්ඩු යුගයේ ජීවත්වූ දාර්ශනිකයෙකු, ප‍්‍රතිසංස්කරණවාදියෙකු සහ මාධ්‍යවේදියෙකු වන ලියෑන්ග් කිවුචාවෝ (Liang Quchao, කි‍්‍ර.ව. 1873 - 1929) සහ චීනයට ඩාවීනියානුවාදය සහ ස්වාභාවික වරණවාදය පිළිබඳ ඉගැන්වීම් හඳුන්වාදුන් විද්වතෙකු සහ භාෂා පරිවර්තකයෙකු වන යැන් ෆූ (Yan Fu, කි‍්‍ර.ව. 1854 - 1921) යන අයගේ සමාගමය ලබන්නට ද හූ ෂීහ් සමත්විය.
හූ ෂීහ් තුළ ගොඩනැගුණු පුනරුදවාදී අදහස් සහ බටහිර දාර්ශනික සංකල්පයන්හි ප‍්‍රභවය ලැබුණේ මෙම විද්වතුන් දෙදෙනාගෙන්ය යන්න පැහැදිලිය.
බටහිර දර්ශනයන් සහ ප‍්‍රතිසංස්කරණවාදී සංකල්පයන්ට තවදුරටත් විවෘතවීමට හූ ෂීහ් හට අවස්ථාව ලැබෙනුයේ ඉන් අනතුරුවය. ඒ චීන විද්‍යාර්ථීන් සඳහා එක්සත් ජනපදයේ අධ්‍යාපනය හැදෑරීමට මග පාදන Boxer Indemnity Scholarship Program නම් වැඩසටහන යටතේ පිරිනැමෙන ශිෂ්‍යත්වයක් හූ ෂීහ්ට හිමිවීම හරහායි. 1910 අගෝස්තු 16 වනදා හූ ෂීහ්ට ඉහත ශිෂ්‍යත්වය හිමිවනුයේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පිහිටි කොර්නේල් විශ්වවිද්‍යාලය තුළ කෘෂිකර්මය විෂය අධ්‍යනය කිරීම සඳහායි. කොර්නේල් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන හූ ෂීහ් 1912 වර්ෂයේදී කෘෂිකර්ම අධ්‍යයන විෂය ධාරාව අතහැර ඒ වෙනුවට දර්ශනය සහ සාහිත්‍ය විෂයන් තෝරා ගනුයේ දාර්ශනික සංකල්ප සම්බන්ධයෙන් ඔහු ආශක්තව ඇති තරම පැහැදිලි කරමිනි. දර්ශනය විෂය ධාරාවෙන් සිය ප‍්‍රථම උපාධිය සම්පූර්ණ කරන හූ ෂීහ් ඉන් අනතුරුව එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේම පිහිටි කොලොම්බියා සරසවිය වෙත යොමුවේ.
ලෝකයේ අධ්‍යාපන සහ සමාජමය ප‍්‍රතිසංස්කරණයන් සඳහා අදහස් අතින් සැලකිය යුතු දායකත්වයක් සැපයූවාවූ ඇමරිකානු දාර්ශනිකයෙකු, මනෝ විද්‍යාඥයෙකු, සහ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවාදියෙකු වන ජෝන් ඩේවි (John Dewey, කි‍්‍ර.ව. 1859 - 1952) මේ කාලය තුළ කොලොම්බියා සරසවියේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළහ. උපයොගීතාවාදයේ මූලික න්‍යායන් සම්බන්ධයෙන් මෙන්ම ප‍්‍රායෝගික මනෝවිද්‍යාව සම්බන්ධයෙන්ද ජෝන් ඬේවි කළ අධ්‍යනයන් සහ ඉගැන්වීම අදටද එකී කේෂ්ත‍්‍ර තුළ භාවිතා වේ.
එක්සත් ජනපදය තුළ සිය අධ්‍යන කටයුතු අවසන් කළ හූ ෂීහ් 1917 වර්ෂයේදී නැවත චීනයට පැමිණේ. චීනය තුළ ඔහු සිය රාජකාරි දිවිය ආරම්භ කරනුයේ පීකිං විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ආචාර්යවරයා වශයෙනි.
චීනයේ නව සංස්කෘතික ව්‍යාපාරයේ නායකයෙකු වශයෙන් හූ ෂීහ්ගේ කි‍්‍රයාකාරීත්වය ඇරඹෙනුයේ මින් අනතුරුව ඔහු New Youth නම් විකල්ප මතධාරී පුවත්පත හා සම්බන්ධව කටයුතු කරන ලදි. කි‍්‍ර.ව. 1910- 1920 කාලය තුළ චීන නව සංස්කෘතික ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමෙහිලා මෙන්ම මැයි 04 ව්‍යාපාරය පිළිබඳ අදහස චීනය තුළ පැතිරවිමෙහිලාත් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කළ මේ පුවත්පත හරහා නව සංස්කෘතික ව්‍යාපාරය තුළත් පසු කලෙක මැයි හතර ව්‍යාපාරය තුළත් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නට හූ ෂීහ් සමත්විය.
චීන සාහිත්‍යයට සහ අධ්‍යාපනයට හූ ෂීහ් අතින් සිදුවූ සුවිශාලම වැදගත් කාර්යය වනුයේ සම්ප‍්‍රදායික චීන අක්ෂර මාලාව වෙනුවට ස්වදේශීයව භාවිත වෙමින් පැවති චීන අක්ෂර ලේඛණ කාර්යය සඳහා භාවිතයට ගැනීමට ප‍්‍රචලිත කිරීමයි. මෙම කි‍්‍රයාවලිය තුළ හුදෙක් සම්භාව්‍ය චීන අක්ෂර කලාව දැනහැඳින සිටි උගත් චීන ජාතිකයන්ට පමණක් සීමාවී තිබූ චීන සාහිත්‍ය සාමාන්‍ය ප‍්‍රජාව වෙත ව්‍යාප්ත වීම ආරම්භ වූ අතර චීන නව සංස්කෘතික ව්‍යාපාරය තුළ සාහිත්‍ය ප‍්‍රචලිත වීමේ වේගයද වැඩිවිය.
චීන සංස්කෘතික පුනරුදය බටහිර සංකල්ප සහ පිළිගැනීම් මත පදනම්ව පවත්වාගෙන යනවා වෙනුවට සම්ප‍්‍රදායික චීන සංස්කෘතිය පදනම් කරගනිමින් නව සංස්කෘතික ප‍්‍රතිසංස්කරණයන් ගෙන ඒමට හූ ෂීහ් වෙහෙස විය. ඊට අමතරව සම්භාවනීය චීන සාහිත්‍ය ග‍්‍රන්ථයන් සම්බන්ධව සුවිශිෂ්ඨ විචාරයන් සපයන්නටද හූ ෂීහ් කටයුතු කළහ.
හූ ෂීහ් සම්බන්ධයෙන් කළ අධ්‍යනයන් තුළ ඔහු විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු කළාවූ සහ ඔහු විද්වත්භාවයක් දැරුවාවූ දාර්ශනිකමය සහ ශාස්ත‍්‍රීය කේෂ්ත‍්‍ර 04 ක් හඳුනාගත හැකිවිය.
01. ලිබරල්වාදය (Liberalism)
02. Dream of the Red Chamber කෘතිය පිළිබඳ විචාරවේදය (Redology)
03. උපයෝගීතාවාදය (Pragmatism)
04. සම්පරීක්ෂණවාදය (Experimentalism)
ලිබරල්වාදය (Liberalism) සහ හූ ෂීහ්ගේ ඉගැන්වීම්
නිදහස සහ සමානාත්මතාවය පිළිබඳ මූලික සංකල්ප මත පදනම්වූ දේශපාලන දර්ශනය/මතවාදය ලිබරල්වාදය වශයෙන් මූලිකව හඳුනා ගත හැක. ලිබරල්වාදය මූලික වශයෙන්ම පෝෂණය වූයේ අදහස් ප‍්‍රකාශ කිරීම සහ භාෂණයේ නිදහස සඳහා වන අයිතීන් දිනා ගැනීමට මානව ඉතිහාසය තුළ සිදුවූ නොයෙක් ආකාර අරගල හරහාය.
බි‍්‍රටැනිකා විශ්වකෝෂය තුළ ලිබරල්වාදය යන්න නිර්වචනයවී ඇත්තේ "දේශපාලනයේ අවධානය යොමුවන මධ්‍ය ලක්ෂය ලෙස පුද්ගල නිදහස ආරක්ෂා කිරීම සහ එය අභිවර්ධනය කිරීම අරමුණු කරගත් දේශපාලන න්‍යාය ලිබරල්වාදයයි" යනුවෙනි.
ඒ අනුව බාහිර තර්ජනවලින් පුද්ගලයා ආරක්ෂා කර ඔහුගේ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික දියුණුව සැලසීම, පුද්ගල නිදහස ආරක්ෂා වන පරිදි නීතියේ සමානාත්මතාවය පවත්වා ගැනීම සහ පාලනය විෂයෙහි පුද්ගල සහභාගීත්වය වර්ධනය කිරීම රාජ්‍යයේ කාර්යය යැයි ලිබර්ල්වාදීහූ විශ්වාස කරති.
හූ ෂීහ් තුළවූ ලිබරල්වාදී අදහස් වර්ධනය වීමට කොලොම්බියා සරසවිය තුළ ජෝන් ඬේවි යටතේ ගතකල කාල සීමාව පැහැදිලිව බලපාන්නට ඇත. 1919 - 1921 කාලය තුළ චීනය පුරා සංචාරයක කරමින් අධ්‍යාපනය සහ දේශපාලනය සම්බන්ධයෙන් චීන ජනතාවට දේශන මාලාවක්ම පවත්වන්නට ජෝන් ඬේවි කටයුතු කළහ. ජෝන් ඩේවිගේ මේ කාර්යය සඳහා චීන භාෂා පරිවර්තකයා ලෙස දායක වූයේ හූ ෂීහ්ය. ජෝන් ඩේවි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ දැක්වූ ලිබර්ල්වාදී අදහසක් චීන ජනතාවට හඳුන්වාදෙනු ලැබුවේද මෙම දේශන මාලාව තුළය, එයට අනුව පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කරගත හැක්කේ හුදෙක් ඡන්ද අයිතිය ව්‍යාප්ත කිරීමෙන් නොවේය. ඒ සඳහා බල ගැන්වුනු මහජන අදහස් යාන්ත‍්‍රණයක්ද අනිවාර්යයෙන් අවශ්‍ය වන අතර පුරවැසියන්, විවිධ කේෂ්ත‍්‍රවල ප‍්‍රවීණයන්, සහ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමෙහිලා වගකිවයුතුවන්නාවූ දේශපාලනඥයන් අතර සාර්ථක සන්නිවේදන ජාලයක්ද කි‍්‍රයාත්මක විය යුතුය.
දේශපාලනය පිළිබඳ ලිබරල්මය අදහසක් වන ජොන් ඬේවිගේ ඉහත සංකල්පය පැහැදිලිවම හූ ෂීහ්ගේද පිළිගැනීම වන්නට ඇත. හූ ෂීහ්ගේ මරණයෙන් ඉතාම කෙටි කලකට පසුව The China Quarterly සඟරාවට Hu Shih and the Chinese Renaissance: Liberalism in the Chinese Revolutionනමින් ලිපියක් සම්පාදනය කරන ජෙරෝම් බී. ගයිඩර් නම් ලේඛකයා හූ ෂීහ් තුළවූ ලිබර්ල්වාදී අදහස්වල ස්වභාවය පැහැදිලි කරමින් කියා සිටිනුයේ,
"සාමාජය තුළ ඇතිවිය යුතු වෙනස පිළිබඳ ඔහු අනුගමනය කළාවූ නවීන සහ විප්ලවීය ප‍්‍රවේශය, දේශපාලන සංසිද්ධියක් වශයෙන් නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක වීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ ඔහු තුළවූ විශ්වාසය, සමාජය තුළ පුද්ගලයාගේ කාර්යභාරය සහ පුද්ගලයා වෙනුවෙන් රාජ්‍යයට පැවරෙන වගකීම පිළිබඳ ඔහුගේ දැක්ම තුළ ඔහු පුළුල් අර්ථයකින් යුතුව දේශපාලන ලිබරල්වාදියෙකු වශයෙන් හැඳින්විය හැක.” යනුවෙනි.
ලිබරල්වාදය සහ මාධ්‍ය භාවිතය
අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස උදෙසා සිදුවූ අරගලවලින් පෝෂණය වූ නිසාවෙන්ම මුල් ලිබරල්වාදය තුළ මාධ්‍ය භාවිතා වූයේ පැරණි ආගමික, දේශපාලනික සහ ආර්ථික කඳවුරුවලට විරුද්ධව කරන නැගීසිටීමේ සන්නිවේදන සහකරුවෙක් වශයෙන් පමණි. ‘ජන මාධ්‍ය’ යන නමින් මාධ්‍යයේ භූමිකාව නවීකරණය වීම සිදුවනුයේද ලිබරල්වාදී ඉගැන්වීම් මූලික කරගත් ලිබරල් රාජ්‍යයන්ගේ බිහිවීමත් සමගය.
එහෙත් අද වනවිට ලිබරල්වාදය ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් වර්ධනයව ඇති සන්දර්භයක් තුළ ජනමාධ්‍ය හුදෙක් සන්නිවේදන කාර්යය ඉටු කරන ව්‍යූහයක තත්ත්වය ඉක්මවා ගොස් මිනිසාගේ පුද්ගලික සහ සමාජයීය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් සිදුකරන මට්ටමකට වර්ධනයවී ඇත. ජනමාධ්‍ය පිළිබඳ ලිබරල්වාදී අදහසට අනුව කිසියම් රටක කවරාකාර හෝ ජනමාධ්‍ය මර්දනයක් සිදුවන්නේ නම් එය පැහැදිලිවම නිදහස පිළිබඳ ලිබරල් අවශ්‍යතා ඉක්මවා යන ඒකාධිපති පාලනයකි. වඩා සුවිශේෂී කාරණයවී ඇත්තේ ලිබරල්වාදී සංකල්ප යටතේ හතරවන ආණ්ඩුවක මට්ටමට සිය බලය වර්ධනය කරගන්නට ජනමාධ්‍ය සමත්ව තිබීමයි.
ඒ අනුව අද වනවිට පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ අභිලාෂ මත ජනමධ්‍යයන්ට හැසිරීමට සිදුවීම, දේශපාලන පක්ෂපාතීත්වය, දැවැන්ත වාණිජ සමාගම්හි අවශ්‍යතාවයන් මත කටයුතු කිරීම, සමාජයීය සුබසාධනය වැනි ගැටළු කෙරෙහි අවධානය දක්වනවා වෙනුවට රාජ්‍යයේ හෝ දේශපාලන පක්ෂවල උවමනා එපාකම් මත කටයුතු කිරීම ආදී කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන වෙත චෝදනා එල්ලවන තත්ත්වයක් නිර්මාණයවී ඇත.
එහෙත් ජනමාධ්‍යයේ භූමිකාව සම්බන්ධයෙන් පක්ෂව කරුණු දක්වන්නන්ගේ මූලිකම අදහස වනුයේ අදටද පොදු ජන විඥාණය සකස් කිරීමෙහිලා මෙන්ම ජනතා මතය සහ ආකල්ප ගොඩනැගීමෙහිලාත් ජනමාධ්‍ය ප‍්‍රධාන පෙළේ භූමිකාවක් ඉටු කරන බවයි. ජනමාධ්‍යයේ භූමිකාව, එහි බලය සහ ජන විඥාණය සකස්කිරීමෙහිලා එයට ඇති හැකියාව පිළිබඳ ලිබරල්වාදී සංකල්පයේ න්‍යායික සහ ප‍්‍රායෝගික වැරදි ඉස්මතු කරමින් එය අභියෝගයට ලක් කරන මූලිකම මතවාද දෙකක් වශයෙන් ජනමාධ්‍ය භාවිතය පිළිබඳ මධ්‍යස්ථ මතවාදය සහ මාක්ස්වාදය හැඳින්විය හැක.
ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ලිබරල්මතවාදය අභියෝගයට ලක්කරන මධ්‍යස්ථ මතධාරීන් ජනමාධ්‍යයක අයිතිකරුගේ අභිලාෂයන්ට නතුව කි‍්‍රයාකාරන්නට මෙන්ම රාජ්‍යයට පක්ෂපාතීවන්නටද මාධ්‍යයට සිදුවන බව පිළිගනී. මධ්‍යස්ථ මතධාරීන් මතුකර පෙන්වන වැදගත්ම කාරණය නම් එවැනි පක්ෂපාතීත්වයක් දැක්වූවා වුවද ඡුන්දදායකයා තවමත් ජනමාධ්‍ය සිය තොරතුරු සහ සන්නිවේදන මූලාශ‍්‍රය වශයෙන් සලකන බව ආචාර්ය මික්හයිල් ස්ටෙවානෝව් සඳහන් කරයි.
අන්තර්ජාලය ඇතුළු නව මාධ්‍යයන්ගේත් විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාලාවන්හි වර්ධනය හමුවේ පෞද්ගලික අයිතිකරුවන් යටතේ හෝ රාජ්‍ය අයිතිය යටතේ පවතින මාධ්‍ය ජන විඥාණය කෙරෙහි දක්වන බලපෑම දුර්වල කෙරී තිබෙන බව මේ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වේ.
ජනමාධ්‍ය භාවිතාව පිළිබඳ ලිබරල් සහ මධ්‍යස්ථ මතය යන දෙකම විවේචනය කරන මාක්ස්වාදය මාධ්‍ය යනු මුළුමනින්ම ධනපති පංතියේ කි‍්‍රයාකාරකම් සාධාරණය කරන සහ නිර්ධන පංතියේ පිබිදීමක් ඇතිවීම වැලැක්වීම අරමුණු කරගනිමින් පවත්වාගෙන යන ව්‍යූහයක් වශයෙන් දකියි. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන යනවා යැයි එක්සත් ජනපදය විසින් කළ චෝදනා, එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම, ඉරානය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් වැරදි ප‍්‍රතිරූපයක් ඇති කරන්නට ගත් උත්සාහය ආදී බොහෝ සිදුවීම්වලදී ජනමාධ්‍යයේ කාර්යභාරය වූයේ ධනපති ආණඩුවට පක්ෂව ඒ සිදුවීම් සාධාරණීකරනය කිරීමට කටයුතු කිරීමයැයි මාධ්‍ය සම්බන්ධයෙන් පළ කෙරුණු නූතන මාක්ස්වාදී ශාස්ත‍්‍රීය ලිපි තුළ චෝදනා එල්ල විය. නිදහස් ජනමාධ්‍යයේ පැවැත්ම පිළිබඳ ලිබරල් අදහසට මුළුමනින්ම විරුද්ධව යන මාක්ස්වාදී න්‍යායන්ට අනුව නිදහස් මාධ්‍ය යනු අහෝසි කළ යුතු කි‍්‍රයාකාරීත්වයකි.
Dream of the Red Chamber කෘතිය පිළිබඳ හූ ෂීහ්ගේ විචාරයන්
Redology නමින් හැඳින්වෙන මෙම අධ්‍යන කේෂ්ත‍්‍රය සම්පූර්ණයෙන්ම අරමුණු කරගනුයේ කි‍්‍ර.ව. 1715 - 1764 යුගය තුළ ජීවත්වූ චීනයේ ක්වින්ග් වංශයට අයත් සම්භාවනීය ලේඛකයෙකු වන කාවෝ ෂීකුයින් රචිත Dream of the Red Chamber නම් ග‍්‍රන්ථයේ සන්දර්භය, සාහිත්‍යයමය අගය, සාහිත්‍ය ක‍්‍රමවේදය ආදිය අධ්‍යනය කිරීමය.
Dream of the Red Chamber ග‍්‍රන්ථය චීනය තුළ බිහිවූ සුවිශිෂ්ඨතම සම්භාවනීය ග‍්‍රන්ථ 04 අතුරින් එකක් වශයෙන් සැලකේ. මේ ග‍්‍රන්ථය සම්බන්ධයෙන් අධ්‍යනයක කරන්නාවූ විචාරකයන් පොදුවේ කොටස් 04 කට බෙදා දැක්වේ. ඒවානම්, අර්ථකතා/අටුවා සපයන්නන් (Commentators), සුචි සකස්නන් (Indexers), සන්දර්භ විචාරකයන් (Textual critics) සහ සාහිත්‍ය විචාරකයන් (Literary critics) යනුවෙනි.
මෙයින් හූ ෂීහ් අදාළ වනුයේ එකී ග‍්‍රන්ථය පිළිබඳව සන්දර්භ විචාරකයන්ගේ ගණයටය. විශේෂයෙන්ම හූ ෂීහ් විසින් 1921 දී චීන භාෂාවෙන් ලියා පළ කළ Textual Research of the Dream of the Red Chamber යන අර්ථය දෙන ග‍්‍රන්ථය තුළින් එතෙක් මෙම කෘතිය පිළිබඳ පැවති විචාරවේදය නව මානයකට පත්වූ බවත් ඒ හරහා කෘති ය පිළිබඳ නව විචාරවේදය (New Redolog) බිහිවූ බවත් සැලකේ.
හූ ෂීහ් විසින් ග‍්‍රන්ථය පිළිබඳ සිදු කළ විචාරය ඒ පිළිබඳ වූ තවත් විචාර්ත්මක කණ්ඩායමක් වන නිහඬ අර්ථ පිළිබඳ ගුරුකුලයේ (්Hidden meaning school) අදහස් ප‍්‍රතික්ෂේප කරන ආකාරයේ එකක් විය. 1921 පමණ කාලයේදී පැන නැගුණු නිහඬ අර්ථ පිිළිබඳ ගුරුකුලයේ මූලිකම අදහස වූයේ Dream of the Red Chamber ග‍්‍රන්ථය මූලික වශයෙන්ම එහි ලේඛකයා විසින් ලබා දෙන්නට අදහස් කළ පණිවිඩය වඩාත් හොඳින් ලබාදෙනු වස් සංඥා, සංඛේත සහ සැඟවුණු අර්ථ ආදිය භාවිතා කර ඇති බවයි.
කායි යුනාපේයි (Cai Yunapei, කි‍්‍ර.ව. 1868 - 1940) වැනි විද්වතුන් විසින් ප‍්‍රචලිත කළ සංඥාර්ථවාදී පදනමකින් යුත් ඉහත කී නිහඬ අර්ථ පිළිබඳ ගුරුකුලයේ අදහස් ඉක්මවා ගිය හූ ෂීහ් මූලික වශයෙන්ම ග‍්‍රන්ථය කතුවරයාගේ ස්වයං චරිතාපදානයක්ය යන පදනමේ සිට සිය විචාරය සිදු කරන ලදි. එහිලා ඔහු එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන කාලයේදී හුරුවූ බටහිර සංකල්ප, දාර්ශනික න්‍යායන් මෙන්ම සාහිත්‍ය විචාර ක‍්‍රමවේදද භාවිතා කරමින් වඩාත් විද්‍යාත්මක සහ තාර්කික සාහිත්‍ය විචාරයක් Dream of the Red Chamber ග‍්‍රන්ථය සම්බන්ධයෙන් සිදුකරන්නට සමත්වූ බවත් ඒ හරහා එම ග‍්‍රන්ථය සම්බන්ධ විචාරවේදය නව මානයකට යොමුවූ බවත් සැලකේ.
උපයෝගීතාවාදය (Pragmatism) සහ හූ ෂීහ්ගේ ඉගැන්වීම්
1870 පමණ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ දාර්ශනික සංකල්පයක් වශයෙන් උපයෝගීතාවාදය හැඳින්විය හැක. ක්‍ගීග පියර්ස් සහ විලියම් ජේමිස් යන විද්වතුන්ගේ ඉගැන්වීම් මත පදනම්වූ මෙම දාර්ශනික සංකල්පය න්‍යායන් සහ විශ්වාසයන්හි ප‍්‍රායෝගික සාර්ථකත්වය දක්වා ගොස් ඒවා ඇගයුමට ලක් කරන ආකාරයේ ප‍්‍රවේශයක් වශයෙන් ඉතා සරලව වටහා ගත හැක. සිතුවිලිවල මූලික කාර්යය වනුයේ යමක් විස්තර කිරීම, ඉදිරිපත් කිරීම සහ සත්‍යය ප‍්‍රතිරූපනය කිරීම යන සම්ප‍්‍රදායික අදහස ප‍්‍රතික්ෂේප කරන උපයෝගීතාවාදය සිතුවිලි යනු පුරෝකථනය, කි‍්‍රයාව, සහ ගැටලු නිරාකරණය යන ප‍්‍රායෝගික අරමුණ සඳහා කි‍්‍රයාත්මකවන්නක් වශයෙන් දක්වයි. ඒ අනුව දේශපාලනය විෂයෙහි මහජන සහභාගීත්වය සහ මහජන අදහස් භාවිතා කිරීම දේශපාලනය තුළ උපයෝගීතාවාදය කි‍්‍රයාත්මක කිරීමක් වශයෙන් විග‍්‍රහ කළ හැක.
ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රිසි ශබ්දකෝෂය Pragmatism යන්න විස්තර කර ඇත්තේ, "යමක් පිළිබඳ න්‍යායත්මක අංග ලක්ෂණ ඉක්මවා ගොස් ඒවා සම්බන්ධ ප‍්‍රායෝගික ප‍්‍රවේශයකින් යුතුව සජීවීව සහ යථාර්ථවාදී ලෙස කටයුතු කිරීම" වශයෙනි.
Pragmatism යන වචනය ගොඩනැගෙන ඡුර්ටප්එසජ යන වදන 16 වන සියවසේදී පමණ ‘කරුණු හා සම්බන්ධ’ යන අර්ථය දෙන ඡුර්ටප්එසනදි යන ග‍්‍රීක වචනයෙන් බිඳී ඉංග‍්‍රීසි භාෂාවට එක්වූවකි.
හූ ෂීහ්ගේ දාර්ශනික භාවිතාවන් සහ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරීත්වය අලලා දර්ශන විෂය සඳහා සිය ආචාර්ය උපාධි නිබන්ධනය රචනා කළ, වර්තමානයේ ලුසියානාහි නිකොලස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ සහකාර මහාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ර්යා බටර්ෆීල්ඞ් හූ ෂීහ් හඳුන්වනුයේ "ඇමරිකානු උපයෝගීතාවාදය චීනයට ගෙන ආ තානාපතිවරයා" යනුවෙනි.
1920 පමණ කාලයේ සිට හූ ෂීහ් සහ ජෝන් ඩේවිගේ චීන අනුගාමිකයන් දේශපාලන වෙනසක් සඳහා සිය කි‍්‍රයාපිළිවෙල තුළට උපයෝගීතාවාදී සංකල්ප අන්තර්ගත කරන්නට උත්සාහ කළහ. China's Pragmatist Experiment in Democracy නම් ග‍්‍රන්ථය රචනා කරන සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු සහකාර මහාචාර්ය ටැන්-සෝර් හූන් මහත්මිය හූ ෂීහ් විසින් අනුගමනය කළ උපයෝගීතාවාදී ප‍්‍රවේශය පිළිබඳ සඳහන් කරමින් කියා සිටිනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කරගත හැකි ක‍්‍රමවේදය වනුයේ න්‍යායික පදනමකින් යුත් දේශපාලනයට වඩා ප‍්‍රායෝගික භාවිතයකින් යුතු අධ්‍යාපනය තුළින් යැයි හූ ෂීහ් විශ්වාස කළ බවයි.
චීනය තුළ එවකට පැවති දේශපාලන වියවුල්කාරීභාවය අවසන් කිරීමේ හූ ෂීහ්ගේ ප‍්‍රතිසංස්කරණ යෝජනා මුළුමනින්ම උපයෝගීතාවාදී පදනමකින් යුක්ත විය. ඔහුට අනුව දේශපාලනය විෂයෙහි මහජන සහභාගීත්වය වැඩි කිරීම ඕනෑම ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක මූලික අවශ්‍යතාවය වනු ඇති බවයි.
චීන සංස්කෘතික පුනරුදයෙහිලා හූ ෂීහ්ගේ ප‍්‍රධානම අභිලාෂය වූයේ පෙරදිග ඵිහිටි චීනය සහ බටහිර ලෝකය අතර සංස්කෘතිකමය සහ න්‍යායාත්මක පාලමක් ගොඩනැගීමයි. චීනයේ බුද්ධිමය සහ සංස්කෘතිකමය සම්ප‍්‍රදායන් බටහිර ලෝකයට විවෘත කිරීම සහ එයට සමාන්තරව උපයෝගීතාවාදී බටහිර සංකල්ප චීන දේශපාලනයට, සංවර්ධනයට සහ සංස්කෘතියට බද්ධ කිරීමට ඔහු උත්සාහ කළහ.
උපයෝගීතාවාදී න්‍යාය සහ ජනමාධ්‍යය
උපයෝගීතාවාදය සහ මාධ්‍ය අතර සහසම්බන්ධය මූලික වශයෙන්ම ගොඩනැගෙනුයේ මාධ්‍ය යනු කුමක්ද? යන ගැටලුවට පුළුල් පිළිතුරක් සෙවීමට කරන උත්සාහය තුළ යැයි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය වික්හයිල් ස්ටෙවනෝව් සඳහන් කරයි.
මාධ්‍ය පිළිබඳ මාර්ෂල් මැක්ලූහන් විසින් දක්වන අදහස්ද මාධ්‍ය අධ්‍යනයන න්‍යායික පදනම්වලින් ඔබ්බට ගොස් ප‍්‍රායෝගික භාවිතයක් දක්වා පැමිණිය යුතුයැයි යෝජනා කරන උපයෝගීතාවාදී අදහස් සමූහයකි. 1964 දී ඔහු විසින් රචනා කරන ලද Understanding Media: The Extensions of Man නම් ග‍්‍රන්ථයෙන් ඔහු සඳහන් කරනුයේ මාධ්‍ය පිළිබඳ කෙරෙන අධ්‍යනයන්හි මූලික අවධානය යොමුවිය යුත්තේ මාධ්‍ය වෙත මිස එහි සංදේශය වෙත නොවන බවයි. ඒ අනුව රූපවාහිනිය සහ ගුවන්විදුලිය එකම සංදේශය සන්නිවේදනය කළා වුවද ඒ දෙක සමාජය තුළ ඇති කරන බලපෑම දෙයාකාර වේයැයි මැක්ලූහන් විස්තර කරයි.
සමාජය කෙරෙහි බලපෑම් සහගත වීමට අන්තර්ගතයේ අදාලත්වයකින් තොරව මාධ්‍යයට හැකියාව ඇත යන්න මැක්ලූහන් විසින් පැහැදිලි කරනුයේ විදුලි බල්බයක උදාහරණය මතය. ඔහුට අනුව රූපවාහිනියක මෙන් ප‍්‍රවෘත්ති හෝ වෙනත් අන්තර්ගතයක් නොමැති මුත් විදුලි බල්බය අඳුර දුරු කර එළිය ලබා දීම හරහා බලපෑමක් ඇති කරයි. එලෙසම විකාශය කරන වැඩසටහන කවරක්වුවද පළ කරන සංදේශය කවරක් වුවද රූපවාහිනිය සහ පුවත්පත වෙන වෙනම සමාජ බලපෑමක් කළ හැකි මාධ්‍ය දෙකකි.
මයික් ස්ටෑන්ඩ්බෝත් වැනි විද්වතුන් මාධ්‍ය හා සම්බන්ධව උපයෝගීතාවාදී සංකල්ප භාවිත කරමින් ප‍්‍රකාශ කරනුයේ මාධ්‍යයේ අවශ්‍යතාවය සමාජයීයව සහ ඓතිහාසිකව ගොඩනගාගන්නා ලද්දක් බවයි. ඒ අනුව මානව අන්තර් කි‍්‍රයාකාරකම් හි සහසම්බන්ධය පවත්වාගෙන යන එකී අන්තර් කි‍්‍රයාකාරකම්හිම කොටසක් වන උපකරණයක් වශයෙනි ස්ටෑන්ඩ්බෝත් මාධ්‍ය යන්න විස්තර කරනුයේ.
මාධ්‍ය පිළිබඳ උපයෝගීතාවාදී අදහස් වඩාත් ක‍්‍රමානුකූල කිරීමට හූ ෂීහ්ගේ ගුරුවරයා වූ ජෝන් ඩේවිගේ අදහස් බොහෝ දුරට හේතු විය. ජෝන් ඩේවි විසින් ලියන ලද Experience and Nature සහ Art as Experience යන ග‍්‍රන්ථ දෙක ඒ සඳහා බොහෝ දුරට දායක වූවා යැයි ආචාර්ය ස්ටෙවනෝව් සඳහන් කරයි. ජෝන් ඩේවිගෙ අදහස් ද මූලික කරගනිමින් මාධ්‍ය පිළිබඳ උපයෝගීතාවාදී පැහැදිලි කිරීම්වල ප‍්‍රධාන කරුණු 04 ක් දැක්විය හැක.
01. මාධ්‍ය යනු හුදෙක් තාක්ෂණික උපකරණයන් නොවේය. ඒවා මනුෂ්‍යයා සමග සෘජු සබඳතාවයකින් යුක්ත කි‍්‍රයාකාරකම් සහ වෙනස්වීම්වලින් සමන්විත අඛණ්ඩ කි‍්‍රයාකාරකම් සමූහයක් වන අතර ‘මාධ්‍ය අත්දැකීම්’ වශයෙන් ඒවා හඳුනාගත හැක.
02. මිනිසාගේ සමාජ-ඓතිහාසික සන්දර්භය තුළ මාධ්‍ය ආරම්භවන අතර මාධ්‍යයේ වර්ධනයට මිනිසාගේ දේශපාලනික හැසිරීම සෘජුවම බලපානු ලැබේ.
03. මාධ්‍යය යනු වෙනස්කම්වලට සහ පරිවර්තනයන්ට විවෘත ව්‍යූහයකි. මාධ්‍යය මිනිස් පරිසරය සහ මිනිසා යන සාධක දෙක මත රඳා පවතී.
04. මාධ්‍ය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයනයන් සහ පර්යේෂනයන් පිළිගත් මතවාද මත පදනම්වූ ඒවාටම සීමාවූ අධ්‍යනයන් නොවිය යුතුය.
සම්පරීක්ෂණවාදය (Experimentalism) සහ හූ ෂීහ්ගේ ඉගැන්වීම්
සම්පරීක්ෂණවාදය (Experimentalism) යනු අනූභූතිකවාදය (Empiricism) මත පදනම්ව පැන නගින දාර්ශනික සංකල්පයකි. එය ඉන්ද්‍රීයගෝචර සහ ප‍්‍රායෝගික මූලධර්ම මත පදනම්වූ ගවේෂණාත්මක ක‍්‍රමවේද සහිත න්‍යායයක් හෙවත් ගවේෂණාත්මක ක‍්‍රමවේද හරහා නිරාවරණය කරගත් සාක්ෂිමය දත්තයන්හි අවශ්‍යතාවය අවධාරණය කරන්නාවූ න්‍යායක් වශයෙන් සම්පරීක්ෂනවාදය හඳුනාගත හැක.
සම්පර්ක්ෂණවාදය පිළිබඳ හූ ෂීහ්ගේ දැනුම ඔහුගේ ගුරුවරයා වන ජෝන් ඬේවි විසින් උපයෝගීතාවාදය පිළිබඳ කළ ඉගැන්වීම් මත පදනම් විය. ඩේවි සහ හූ ෂීහ් යන දෙදෙනාම සම්පර්ක්ෂණවාදය පිළිබඳ කළ විස්තර කිරීම්වලට ඩාවිනියානුවාදය සම්බන්ධ කරගත්හ. ඔවුන්ට අනුව පරිණාම කි‍්‍රයාවලිය තුළ එක් ජීව පුරුකක් ඔහු වෙසෙන පරිසරයේ වෙනස්කම්වලට අනුගතවීම හරහා ඔහුගේ ජෛව පද්ධතිය වෙනස්කම් වලට ලක්ව එයින් ඊළඟ ජීව විශේෂය බිහිවීම සිදුවේ. එලෙසම ඕනෑම කාරණයක් එයට අදාළ වන්නාවූ පරිසරයේ වෙනස්කම් මත වෙනසට ලක්වේ. උදාහරණයක් ලෙස මිනිසා සතුන් දඩයම් කරගෙන ජීවත් වූ ගෝති‍්‍රක යුගයේදී පිළිගත් සම්ප‍්‍රදායන් ශිෂ්ඨයැයි සම්මත වර්තමාන යුගය තුළ ප‍්‍රතික්ෂේප වේ. එයට හේතුව මිනිසා ජීවත්වන පරිසරය වෙනස්වීම තුළ මිනිස් මූලධර්මද වෙනස්ව තිබීමයි.
The routledge history of Chinese philosophy නම් ග‍්‍රන්ථයේ විස්තර කෙරෙන ආකාරයට සම්පරීක්ෂණවාදය පිළිබඳ හූ ෂීහ් පහත මූලික කරුණු 04 පෙන්වා දී ඇත.
01. එය නිශ්චිත කරුණු සහ සිද්ධීන් සඳහා අදාළ වේ.
02. සම්පරීක්ෂණවාදයට අනුව සියලුම න්‍යායන් සහ පිළිගැනීම් සත්‍යයන් නොවන අතර ඒවා විද්‍යාත්මකව තහවුරු කළ යුතු උපකල්පනයන් පමණක් වේ.
03. සම්පරීක්ෂණවාදයට අනුව සියලු න්‍යායන් සහ දැනුම ගවේෂණාත්මකව තහවුරුවිය යුතුය.
චීන පුනරුදය සහ ප‍්‍රතිසංස්කරණයන් සාධාරණීය කරන්නට හූ ෂීහ් විසින් මූලික වශයෙන්ම භාවිතා කළේ ඉහත කී න්‍යායන්ය. ඔහුට අනුව එවකට චීනය තුළ දේශපාලනික සහ සමාජ-ආර්ථික පරිසරය වෙනස් වෙමින් පැවති බැවින් චීන ජනතාව සම්ප‍්‍රදායික පරිසරයට ඔබින සම්ප‍්‍රදායික වටිනාකම් තවදුරටත් පවත්වාගෙන යාම නතර කළ යුතු බවයි. එසේම ඒ වෙනුවට නව නිෂ්පාදන සහ ප‍්‍රවේශයන් සකසා ගැනීම හරහා පැරණි වටිනාකම් සමකාලීන සමාජයට ඔබින පරිදි වෙනස් කරගැනීමට කටයුතු කළ යුතු බව හූ ෂීහ්ගේ අදහස විය.
සම්පරීක්ෂණවාදය සහ ජනමාධ්‍ය
නූතන මාධ්‍ය භාවිතය තුළ ඇති සීඝ‍්‍රයෙන් වෙනස්වන ස්වභාවය ඕනෑම දෙයක් එයට අදාළ පරිසරයේ ඇතිවන වෙනස්කම් මත වෙනස්වනු ඇතැයි යන ජොන් ඬේවිගේ අදහස තහවුරු කරන්නකි.
නූතන ජනමාධ්‍ය සම්පූර්ණයෙන්ම මිනිස් පරිසරයේ ඇතිවන වෙනස සමග ආකාර දෙකකින් සම්බන්ධව කටයුතු කරයි. ඉන් එක් මාර්ගයක් නම් මිනිස් පරිසරයේ ඇතිවන වෙනස්කම් ආරම්භ කිරීමට මාධ්‍ය දායක වීමයි. අනෙක් කාරණය නම් මිනිස් පරිසරයේ ඇතිවන ස්වභාවික වෙනස්කම් මත මාධ්‍ය භාවිතය වෙනස්වීමයි.
මාධ්‍යයේ මේ ස්වභාවය පැහැදිලි කරන මූලිකම සංසිද්ධියක් වශයෙන් CNN Effects යනුවෙන් මාධ්‍ය විශේෂඥයන්ගේ අවධානයට ලක්වන කාරණය දැක්විය හැක. එය දේශපාලන විද්‍යාව තුළ මෙන්ම මාධ්‍ය අධ්‍යනයන තුළද අවධානයට ලක්වන කරුණක් වන අතර රාජ්‍ය ප‍්‍රතිපත්ති සැකසීමෙහිලා රාජ්‍ය බලධාරීන් සහ මහජනතාව පෙළඹවීමට මාධ්‍ය ආයතනයට ඇති හැකියාව පිළිබඳ එයින් අදහස් වේ. කිසියම් සංසිද්ධියක් හෝ කරුණක් පිළිබඳ වාර්තාකිරීම හරහා ඒ කරුණට රාජ්‍ය බලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේද අවධානය යොමුවන තැනට කටයුතු කර රාජ්‍ය ප‍්‍රතිපත්ති හෝ දේශපාලනමය සංසිද්ධීන් කෘතිමව පැන නගින තැනට කටයුතු කිරීමට මාධ්‍යයකට හැකියාව ඇත.
නිදසුනක් වශයෙන් බැංකු කේෂ්ත‍්‍රයේ සේවකයන් විසින් සිදු කරන වැඩ වර්ජනයක් දිගින් දිගටම වාර්තා කිරීම හරහා බැංකු කේෂ්ත‍්‍රයේ කඩා වැටීමක් පිළිබඳ කියා සිටින්නටත් ඒ හරහා සිය තැන්පතු ආපසු ලබා ගන්නා තැනට ගනුදෙනුකරුවන් මෙහෙයවන්නටත් මාධ්‍යයකට හැකියාව ඇත, එයින් ආණ්ඩුවක් මූල්‍ය අර්බුදයකට යොමු කරන්නට හෝ ආණ්ඩුවේ බලධාරීන් බැංකු සේවක ප‍්‍රශ්න විසඳීමට වහාම මැදිහත් වීම වැනි ප‍්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කරන්නට මාධ්‍යයට හැකියාව ඇත.
සන්නිවේදනය තුළ විල්බර් ශ‍්‍රාම්, හැරල්ඞ් ඞී. ලැස්වෙල්, ඬේවිඞ් කේ. බර්ලෝ, බෲස් වෙස්ට්ලි සහ මැක්ලිනීන් වැනි විද්වතුන් විවිධ සන්නිවේදන ආකෘති ඉදරිපත් කර තිබේ. නමුත් ප‍්‍රායෝගික සන්නිවේදන කි‍්‍රයාකාරීත්වය තුළ එම ආකෘති කි‍්‍රයාත්මක කිරීම අපහසුය.
මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වනුයේ අන්තර්ජාලය ඇතුළු නව මාධ්‍යන්ගේ වර්ධනය හමුවේ සම්ප‍්‍රදායික මාධ්‍ය භාවිතයේ සීමාවන් තවදුරටත් වලංගු නොවීමයි. අරාබි වසන්තය වැනි ජනමත පිබිදීමකට පදනම ඇති කරමින් ඊජිප්තුවේ තහීර් චතුරස‍්‍රයෙන් පැන නැගි විප්ලවකාරී කි‍්‍රයාකාරකම්වලට පදනම වැටෙනුයේ ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවියක් හරහා වීම තුළ මේ තත්ත්වය මැනවින් පැහැදිලි වේ.
හූ ෂීහ් පෙන්වා දෙන පරිදි උපයෝගීතාවයට අනුව සංකල්පමය ආකෘති තුළ කි‍්‍රයාත්මක වීමට වඩා ප‍්‍රායෝගික සන්නිවේදනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පැහැදිලි වෙනස්කම් රාශියක් පවතී. වෙළඳ දැන්වීම්කරණය සහ මාධ්‍ය භාවිතය, මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය හිමිකාරීත්වය යනාදිය මගින් බොහෝ සංදේශ වාරණයට ලක්වීම ගැටලුවකි. රටකින් රටකට සන්නිවේදන ආචාරධර්මයන් වෙනස් ආකාරයට කි‍්‍රයාත්මක වීම තවත් ගැටලුවකි.
හූ ෂීහ්ගේ දාර්ශනික භාවිතයන් ලාංකීය සන්නිවේදන කි‍්‍රයාවලියට යොදාගැනීමේදී යම් සීමාවන්ට යටත් වීමට සිදුවේ. ඊට හේතුව වන්නේ සන්නිවේදනය යන්න ගතික කි‍්‍රයාවලියක් වීමයි.
රටක සාමාජයීය සහ සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික පදනම සහ ආකෘතිය මත සන්නිවේදනය පැහැදිලිවම වෙනස්වේ. හූ ෂීහ් බටහිර දර්ශනයන් සහ ප‍්‍රතිසංස්කරණාවදී සංකල්පයන් තුළ චීනය ගොඩනගන්නට න්‍යායික දැනුම සැපයූවෙකි. ඔහුගේ දර්ශනය එවකට චීන භීම සමය තුළ ගොඩනැගී තිබූ දේශපාලනික, ආර්ථික සහ සාමාජයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ බලාපොරොත්තු හරහා මතුවූවකි. නමුත් එකී මතවාදයන් ලාංකීය සමාජයීය, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික පදනමට සමීප කිරීම ප‍්‍රායෝගිකව ගැටලු සහගතය.
නිදසුනක් ලෙස වර්තමාන ශී‍්‍ර ලංකාව තුළ පූර්ණ ලිබරල්වාදී මාධ්‍ය භාවිතයක් කි‍්‍රයාත්මක කිරීම අපහසුවීම දැක්විය හැක. ඊට හේතුව මාධ්‍යය ආයතන දේශපාලනීකරණය වී තිබීමයි. එසේම වර්තමාන ලාංකීය ජනමාධ්‍ය තුළ උපයෝගීතාවාදී මාධ්‍ය භාවිතයක් දක්නට නොලැබේ. ඊට හේතුව සෑම මාධ්‍යක්ම තම හිමිකාරීත්වය සහ රටේ දේශපාලන බලය හිමි පාලන පංතියේ අභිලාෂයන්ට අනුව කි‍්‍රයාත්මක වීමයි.